පවිත්‍රා උමයංගනී... අලුතින්ම සින්දුවක් කරන්න යනවා කියලා ආරංචියි ඇත්තද...?
ඔව්.. මේ වෙද්දී ඒ ගීතය කරලා ඉවරයි...
ඔබ ගායන ක්ෂේත්‍රයට ආවේ රියැලටි වේදිකාව හරහා. ඔබේම කියලා ඔබ කළ පළමු වැනි ගීතය ද මේ?
ඔව්... මගේම කියලා කරපු පළවෙනි ගීතය තමයි... මේ ගීතය රචනා කළේ මහාචාර්ය අජන්තා හපුආරච්චි මහත්මිය. ගීතයේ සංගීතවත් කළේ නන්දසේන කටුවාවල මහතා...
ගායනා කරන්න ගීතයක් තෝරා ගනිද්දී ඔබ ගායිකාවක් විදිහට සැලකිලිමත්වන විශේෂ දේවල් මොනවාද..?
මුලින්ම පද රචනය එහි වස්තු බීජය කුමක්ද කියලා බලනවා. ඒත් එක්කම තනුවත් විශේෂයි... ගායිකාවට හා ගායකයාට තමන්ගේ හදවතට මුලින්ම ගීතය දැනෙන්න ඕනි. අනිත් අයට දැනෙන්න දෙයක් කරන්න නම් අපි මුලින්ම අපිට දැනෙන්න ඒ දේ කරන්න ඕනෑ කියලා මම විශ්වාස කරනවා...
ඔබ මනෝවිද්‍යාව පිළිබඳව උපාධිධාරිනියක්... මනෝවිද්‍යාව කියන්නේ මිනිස්සු සහ සමාජය ගැන කතා කරන විෂයක්.. මේ විෂය දැනුමට සංගීත හැකියාවත් එකතු කරගෙන සමාජය වෙනුවෙන් ඵලදායි යමක් කරන්න අදහසක් නැද්ද...?
ඔව්... විශේෂයෙන්ම මතක් කරන්න ඕනෑ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දර්ශනය හා මනෝවිද්‍යා අධ්‍යන අංශයේ අංශාධිපතිතුමා, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඥානදාස පෙරේරා මහතාව. මම එතුමා එක්ක එකතු වෙලා සංගීතය සම්බන්ධ වැඩසටහන්වලට එකතු වෙනවා... ගීත ගායනා කරනවා... විශේෂයෙන්ම මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් වෙනුවෙන්, ශ්‍රී ලංකා පොලිසිය, නාවික හමුදාව වගේ ආයතන ඉන් අනතුරැව රෝහල්, පාසල්, විවිධ ආයතනවල සංගීත සම්බන්ධ වැඩසටහන්වලට මම සම්බන්ධ වෙනවා. ඒ වගේම තව අලුත් දේවල් තුළින් මිනිසුන්ගේ මනස සුවපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
සංගීතයට නැඹුරු වුණේ සංගීතයට තිබුණු කැමැත්ත නිසාමද? නැත්නම් පවුල් පසුබිම හේතු කරගෙනද?
එකක් තමයි පවුල් පසුබිම, මගේ සීයා ආරියදාස කන්නන්ගර මහතා සංගීත ගුරුවරයෙක්. ඒ වගේම මගේ අම්මාට, මාමාට ගීත ගායනා කිරීමේ හැකියාව තිබෙනවා. මගේ අම්මා සරෝජා කන්නන්ගර. ඇය සංගීත ගුරු උපදේශිකාවක්... මගේ තාත්තා කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ධර්ම කීර්ති ශ්‍රි රන්ජන්. තාත්තාටත් ගීත ගැයීමේ හැකියාවක් තියෙනවා.
ඔබේ පියා ගීත රචකයෙක්... ඇයි ඔහු ලියූ ගීයක් ඔබ ගයන්නේ නැත්තේ...?
දැනට නම් ගායනා කරලා නෑ. නමුත් ඉදිරියට ගායනා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් වගේම භාවනාවක් එහෙම කීවොත් ඔබ එකඟද?
ඔව්... ඇත්තටම... අපි දන්නවා සිංහල, ඉංග්‍රීසි, ජර්මන් මේ ආදී වශයෙන් භාෂාවන් විශාල සංඛ්‍යාවක් ලෝකයේ තියෙනවා. සංගීතය ගත්තම අපි වෙනත් භාෂාවකින් රචිත ගීතයක් බොහෝ විට ගායනා කරන්නේ, රස විඳින්නේ එහි අර්ථයක් නොදැන වෙන්න පුළුවන්. අපි ඒවාට ආස කරන්නේ ඒ ගීතවල තිබෙන සංගීතයට නැතිනම් තනුවට. ඒ කියන්නේ සංගීතය ලෝකයේ ඕනෑම මනුස්සයකුට රස විඳින්න පුළුවන් දෙයක්. මිනිස්සුට විතරක් නෙවෙයි සමහර සතුන්ට පවා සංගීතය දැනෙනවා. දරුවෙක් ලැබෙන්න ඉන්න මවක් වුණත් සංගීතය රස විඳිනවා නම් ඒ කුස තුළ ඉන්න දරුවටත් එය රස විඳීමේ හැකියාව ලැබෙනවා. ඒක පරීක්ෂණ මගින්ම ඔප්පු වෙලා තිබෙන දෙයක්.. මේ හැමදේම දිහා බලනකොට සංගීතය විශ්ව භාෂාවක් කියන දේ ඇත්ත... ඒ වගේම උසස් ගණයේ සංගීතයක් යනු මනස නිවාලන භාවනාවක්...
උමයංගනී අනාගතය දකින්නේ මනෝවිද්‍යා උපාධියත් එක්ක ද? නැත්නම් සංගීතයත් එක්කද?
ඉදිරියට මනෝවිද්‍යාව අංශයෙන්ම වැඩිදුර අධ්‍යාපනය සිදු කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒත් එක්කම සංගීත වැඩකටයුතු ඉදිරියට කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ දෙඅංශයෙන්ම මම ඈත් වෙන්නෙ නෑ.
► Text - Nirmani Gunarathne / Pic -Sumudu