2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

කෑමට බීමට කංසා

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 36

නීතියෙන් තහනම් වුණත් ගමේ ගොඩේ විතරක් නෙමේ, අගනගරයේ පවා කංසා එක්ක ගැටගැහිච්ච අමුතුම සංස්කෘතියක් අපේ රටේ මේ වෙද්දි බිහිවෙලා. කංසා කියන්නේ ලංකාවට විතරක් සීමාවෙච්ච දේකුත් නෙමෙයි. විශේෂයෙන්ම බටහිර රටවල් බොහෝමයක දැන් දැන් මත්පැන්වලට දුම්වැටිවලට වඩා කංසාවලට ලොකු ඉල්ලුමක් නිර්මාණය වෙලා. ඒ හින්දම තමයි අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්වල කංසා අවන්හලකුත් පහුගියදා විවෘත වුණේ. 

ගඩොල් බිත්තිවලින් නිර්මාණ වෙච්චි, තද නියෝන් ආලෝක ධාරාවලින් පිරිච්ච, ඒ වගේම ගස්වැල් පිරුණු මැද මිදුලක්ද සහිත මේ අපූරු අවන්හලට එන්නේ පොඩි මත් ගතියක් විඳින්නත් සංවාද කරන්නත් කැමති උදවියයි. ඒකට ගැහැනු පිරිමි කියලා වෙනසකුත් නැහැ. 

අමෙරිකාවේ ප්‍රාන්ත බොහෝමයක මේ වෙද්දි කංසා භාවිතයත් කංසා අලෙවියත් නීතිගත කරලා තියෙනවා. හැබැයි මීට දවස් කිහිපයකට කලින් විවෘත වුණු Lowell Herb අවන්හලේ විශේෂත්වය තමයි නිකම්ම කංසා අලෙවි කරනවා වෙනුවට කංසා මෙනුවක් පිළියෙළ කිරීම. ඒ කියන්නේ සාමාන්‍ය අවන්හලකට ගොඩවෙලා මෙනු එක දිහා බලලා කෑමබීම ඇණවුම් කරනවා වගේ මෙනු එක දිහා බලලා තමන්ට කැමැති විදිහට කංසා ඕඩර් කරන්න පුළුවන්

තවත් සරලව කිව්වොත් කංසා මල් විදිහට, කෑමට ගත හැකි විදිහට වගේම ජොයින්ට් විදිහට රෝල් කරලාත් මෙතැනදී පිළිගන්වනවා. ඒ විතරක් නෙමේ කංසාවලින් හදපු බීම ජාති සහ තෙල් වර්ගත් මෙතැනදී අත්හදා බලන්න පුළුවන්. කොටින්ම බර්ගර් එකටත් මෙයාලා කංසා යොදාගෙන තියෙනවා. බැදපු අල පෙති රස ගන්වලා තියෙන්නෙත් හීනියට කපා ගත්තු කංසා කොළ වලිනුයි.

ඒ වගේම කංසා සම්බන්ධයෙන් මුල ඉඳන් අගටම දැනගන්නත් විශේෂයෙන්ම ඒවායෙන් හිමිවන ගුණ ගැන ඉගෙන ගන්නත් මෙතැනදී අවස්ථාව ලැබෙනවා. 

මේ අවන්හල විවෘත කරලා තියෙන්නේ කංසා වගාවේ නියුතු අමෙරිකානු සමාගමක් වන Lowell Herb විසිනුයි. එතැන ප්‍රධාන විධායක නිලධාරියා වගේම මේ අපූරු අවන්හල ඉදිරිපත් කරපු ඩේවිඩ් එලායිස් කියන විදිහට කංසා භාවිත කරන පිරිසට සුහදශීලී වටපිටාවක් ගොඩනැංවීම තමයි මේ අවන්හල ආරම්භ කිරීමේ බලාපොරොත්තුව වෙලා තියෙන්නෙ. 

“අපේ අවසාන ඉලක්කය තමා මධුවිත සප්පායම් වෙන්න පුළුවන් පබ් සංකල්පය වගේ කංසාවලටත් එහෙම එකතුවෙලා සමාජීය ජීවිතයක් උදාකර දීම” ඩේවිඩ් එහෙම කියනවා. 

I Fortune.com ඇසුරෙනි

►Text - Suranga   /   Pic -  Internet