2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

චිත්‍රපට කියන්නේ මෙන්න මේවට

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 96

දක්ෂයන්ට අවස්ථාව නෑ කියන්නත් බෑ... මොකද දක්ෂයෙක් කියන්නෙම අවස්ථාවන් නිර්මාණය කරගන්න කෙනෙකුටනෙ... 

එහෙම කෙනෙක් මුණගැහෙන්න හිතාගෙන තමයි අද පාරට බැස්සේ... අපිටත් තිබ්බා සිතියමක් ඒ කෙනාව හොයාගන්න...  සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලියේ උන්නු සමනලයට වෙච්ච දේ නම් අපිට වුණේ නෑ... සිතියම ඇතුළේ අපි අතරමං වුණේ නෑ... අපි හරි කෙනාවම මුණගැහුණා...

දැන් එයා මගේ ඉස්සරහා... එයා පුදුම ගණන් කාරයෙක් තමයි... 
සුදු ඇඳගෙන කළු ඇවිදින් අයිතිකාරයා... එයා ගැන අපිට දැණුනු දේ පොඩ්ඩක් කියලාම ඉන්නද...  එහෙම හොඳයිනෙ...

අපේ කාලේ බිහිවුණ බරක් ඇති කෙනෙක් තමයි එයා... ඒකාකාරී රුල්ලක තිබුණු ලාංකික ටෙලිය මීට පෙර නොදැකපු පැත්තකට හරවපු වර්තමාන හැරවුම් ලක්ෂයක් කිව්වත් ඒකෙ ඇති වැරැද්දකුත් නෑ. මේ නිර්මාණ ශිල්පියා එහෙමත් නැත්නම් මේ සුන්දර මනුස්සයා ඉදිරියේ විශාල නිර්මාණ ප්‍රමාණයක් ගොඩ නොගැසුණත් එයා කරපු නිර්මාණ හත අටෙන් මිනිස්සුන්ට දැනෙන්න දෙයක් දුන්නා... මං හරි නේද? 

මිනිස්සු එක එක මාධ්‍යයෙන් තමන්ගේ ප්‍රකාශනය ඉදිරිපත් කරනවා... නමුත් මිනිස්සුන්ගේ හදවතට දැනෙන්න නිර්මාණයක් කරන එක, නැත්නම් තමන්ගේ ප්‍රකාශනය ඉදිරිපත් කරන එක ලේසි දෙයක් නෙමේ... ආයෙ ඒකෙ කතා දෙකක් නෑ... ඒ අමාරු වැඩේ මෙයා ටක්කෙටම කළා...   මං හරිනෙ... 

වෙන මොනවා කියන්නද සුනිල් කොස්තා ගැන... 

සුනිල්... කොහොමද ඉතින් වාසේ දේසේ එහෙම...?
ඔහු හිනාවක් දාගෙනම... කතාවට මුලපිරුවා...

හොඳින් සතුටින් ඉන්නවා... සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලිනාට්‍ය ඉවරවෙලා... මේ දවස්වල නිවාඩු පාඩුවේ ඉන්නවා කිව්වත් හරි... තාම මම සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලිනාට්‍යයෙ හිරවෙලා ඉන්නෙ... මොකද අවුරුදු එකහමාරක් දෙකක් දරුවෙක් හදනවා වගේ මේ ටෙලිනාට්‍යය හැදුවා... මේකෙ තියෙන රිදම්, වචන එකපාරටම මනසෙන් අතඇරෙන්නෙ නෑනෙ... ඒ මූඩ් එකෙන් ගැලවෙන්න මේ දවස්වල ට්‍රයි එකක් දෙනවා...   තව අලුත් නිර්මාණ කරන්න කියලා හැමපැත්තෙන්ම ආරාධනා එනවා... බලමු අපි ඉස්සරහට නේද?
සුනිල් කොස්තාගේ නිර්මාණ විඳීමේ පරාසය ගොඩක් පුළුල්... ඒක අපි දන්නවා... ඒ ගැන තර්කයක් නෑ... ඇස්දෙකෙන් දැකලා, හදවතින් ස්පර්ශ කරපු... ජීවිතේම පැයක දෙකක රෑපරාමු කිහිපයකට කැටි කරපු නිර්මාණයක් ගැන... කතාකරමුද...? ඒක තව කෙනෙකුට විඳින්න තරම් වටින එකක් නම් මරු.
හරි අපි කතාකරමු.. 

සුනිල්ගෙන් ලැබුණු කෙළින් උත්තරෙත් එකක් වැඩේ පටන් ගත්තා...
මම ඇඩිට් වුණ නිර්මාණ නම් ගොඩක් තියෙනවා... නමුත් හැමවෙලේම මගේ ඔළුවට එන නිර්මාණයක් තියෙනවා... ඒක ෆිල්ම් එකක්... අපි ඒ ෆිල්ම් එකක් ගැන කතා කරමු.  මගේ හිත නැවතුණේ රෝමන් පොලොන්ස්කි 2002 නිර්මාණය කරපු ද පියානිස්ට් (The Pianist) ෆිල්ම් එකට...

නිර්මාණ ශිල්පියෙක් කියන්නෙ හැමවෙලේම යාවත් කාලීන වෙන කෙනෙක්නෙ.. 2002 කියන්නේ සෑහෙන කාලයක්... එදාට වඩා ෆිල්ම් ඉන්ඩර්ස්ට්‍රියල් එක දැන් ගොඩක් දියුණුයි.. ඇයි සුනිල් වසර ගණනක් පරණ මේ චිත්‍රපටයට මෙච්චරම ඇළුම් කරන්නේ... විශේෂ හේතුවක් ඇතිනේ...?
රෝමන් පොලොන්ස්කි කියන්නේ ලෝකෙ ඉන්න විශිෂ්ඨ මෙන්ම ප්‍රකට අධ්‍යක්ෂකවරයෙක්... ඔහු නිර්මාණය කරපු ද පියානිස්ට් චිත්‍රපටයට සම්මාන රාශියක් ලැබුණා... කෑන්ස්වලින් සම්මානයක් ලැබුණා... ඇකඩමික් සම්මාන කීපයක්ම ලැබුණා..  විශේෂම දේ තමයි මම මේ චිත්‍රපටය බලනකොට මම දන්නෙ නෑ මේ චිත්‍රපටයට මෙහෙම සම්මාන ලැබිලා තිබුණු බව... මේ චිත්‍රපටයේ මූලික සරල කතාවක් තියෙන්නෙ... 1939 සැප්තැම්බර් මාසේ පෝලන්තේ යුදෙව් පියානෝ වාදකයෙක් ඉන්නවා වැඩිස්වා ස්පිල්මන් කියලා... හිට්ලර්ගේ නාසි හමුදාව පෝලන්තය ආක්‍රමණය කරනවා... මේ චිත්‍රපටය පටන් ගන්නෙ එතනින්... ඒ වෙනකොට වැඩිස්වා පෝලන්ත ගුවන්විදුලි නාලිකාවේ සජීවී පියානෝ වාදනයක් ඉදිරිපත් කරමින් ඉන්නෙ... එතකොට මෙයාට ඇහෙනවා බෝම්බ සද්දේ... මට තාම මතකයි ඒ රූපරාමු. ගුවන්විදුලි නාලිකාවේ ගොඩනැගිල්ලටත් බෝම්බයක් ඇවිත් වදිනවා.... මෙන්න මේ සිද්ධියෙන් පසුව දිගඇරෙන සංවේදී වගේම බරපතළ  කතාවක් තමයි මේ චිත්‍රපටයෙන් කියන්නෙ... යුද්ධය මොනතරම්ම අමිහිරිද කියන එක මේ චිත්‍රපටයේ තරම් මගේ හදවතටම දැනුණු වෙන චිත්‍රපටයක් මට තාම මුණගැහුණෙ නෑ.... ඒක කොච්චර අමිහිරිද කියනවනම් එක රූපරාමුවක් තියෙනවා මිනිස්සු දහස් ගණනක් බඩගින්නෙ ඉන්න... ඒ වෙනකොට ඒ මිනිස්සුන්ට නාසි හමුදාව කන්න දෙන්නෙ ඉතා සීමිත විදියට... පුංචි දරුවෙක් කැඳ බාල්දියක් අරගෙන යනවා... ඒ බාල්දියෙන් කැඳපොඩ්ඩක් බිමට වැටෙනවා.. මිනිස්සු සියගාණක් ඒ කැඳ ටික බොන්න පොරකනවා.. කැඳටික බිම වැටුණු තැන පස් පවා සූරගෙන කනවා... අපි මේ යුද්ධයට ආවඩන්න හදනවා... ඒ ගැන පුරසාරම් දොඩමින්... යුද්ධයේ ජයග්‍රාහකයෙක් නෑ... තුවක්කුවක් පාවිච්චි කරලා කිසිකෙනකුට දිනන්න බෑ... අපි තුවක්කුව අයින් කරපු ගමන් තව කෙනෙක් ඒ තුවක්කුව ගන්නවා... මිනිස්සුන්ගේ ආකල්පයි වෙනස් කරන්න ඕනෙ...  ඊටපස්සේ තමයි මම මේ චිත්‍රපටය ගැන හොයන්න පටන් ගත්තේ.. යුද්ධයේ නිස්සාරත්වය ගැන අතිශය සියුම්ව කතාකරන ඉතාම විශිෂ්ඨ නිර්මාණයක්.   

වැඩිස්වා ස්පිල්මන් කියන පියෝනෝ වාදකයා ඇතුළු ඔහුගේ පවුලේ අයට මේ යුද්ධය නිසා අත්විඳින්න වෙන ඛේදවාචකය තමයි කැමරා කාචය හසුකරගෙන තියෙන්නෙ. මේ චිත්‍රපටය බලද්දි මට කොයිම වෙලාවකවත් දැනුණේ නෑ මේක චිත්‍රපටයක් කියලා. ඒ තරමට කලා අධ්‍යක්ෂවරයා විශිෂ්ඨ ලෙස පසුතල නිර්මාණය කරලා තිබුණා. මේ චිත්‍රපටයේ පිටපත් රචකයා රොනල්ඩ් හාවුඩ්... ඔහු ගැනත් වචනයක් කියන්නම ඕනෙ... ඔහුගේ මේ ප්‍රබල තිර රචනයටත් සම්මාන උළෙලවල් කිහිපයකම විශේෂ සම්මාන හිමිවුණා... අනිත් කිවයුතුම කාරණාව තමයි අධ්‍යක්ෂවරයාගේ සිනමා භාවිතය... මේ චිත්‍රපටයට අනවශ්‍ය රෑපරාමුවක් ඇත්තෙම නෑ. මෙවැනි නිර්මාණයක් නැවත අපේ ලංකාවේ සිනමා ශාලාවල සබ්ටයිටල් කරලා පෙන්වන්න පුළුවන් නම් හරි වටිනවා.. ඇත්තටම මේවා තමයි චිත්‍රපට කියන්නෙ...

සුනිල්... මේ චිත්‍රපටයේ කැමතිම චරිතයකුත් ඇති නේද?
ඔව්... මගේ කැමැත්ත වැඩිස්වා ස්ස්පිල්මන් කියන පියානෝ වාදකයාගේ චරිතයට. ඒ චරිතයට පණ පොවන්නේ ඒඩ්‍රියන් බ්‍රොඩ්...  ඔහු හරි දක්ෂ ලෙස ඒ කාර්යය කරනවා.. තව කාරණාවක් තියෙනවා ඔහුට මගේ ආකර්ෂණය හිමිවෙන්න. ඒ තමයි ඔහුගේ හැඩරුව... එක මොකද පෝලන්ත ජාතිකයන්ට අනන්‍ය වුණ රූප ස්වභාවයක් තමයි ඔහුට තිබුණේ... මම කැමතියි ඔහුගේ සියුම් රංගනයට...

මේ නිර්මාණය ඉතා බරපතළ අර්බුදයක්... ඒ අර්බුදය ඔබේ හිතට තදින් දැනුණු තැනක් මතකද?
ඔව්... මම කලිනුත් කිව්වා... ඒ දර්ශනය... අර කැඳ අරගෙන යන දරුවා අතින් කැඳ ස්වල්පයක් හැලෙන තැන... 

මේ චිත්‍රපටය ඔබට  හම්බවෙන්න කොහොමද? කී වතාවක් බැලුවද මේක?
ඇත්තටම මට මේක හම්බවෙන්නෙ අහම්බෙන්... ඩීවීඩී සෙන්ටර් එකකදී තමයි මම මේක දකින්නෙ... දැනට දහවතාවක් විතර මම මේක බලලා තියෙනවා...

මේ නිර්මාණය තුළින් ඔබ ඔබේ ජීවිතයට එකතු කරගත්ත දේ ගැන පොඩ්ඩක් කියන්නකො?
මම නිර්මාණකරුවෙක් විදියට එකතුකරගත්ත දේ බොහෝමයි... හොඳ නිර්මාණයක් රසවින්දාම ඒ තුළින් ඇතිවෙන්න ඕනෙ සංවාදයක්... ඒක තමන් තුළින්ම ඇතිවෙන්න ඕන එකක්... තමන්ගේම සංවාදයක්.. මේ චිත්‍රපටය බලද්දි මුල ඉඳලා අගටම මට ඒක දැනෙන්න පටන්ගත්තා... මේ චිත්‍රපටය මගේ නිර්මාණ ජීවිතයට අත්පොතක්.. ප්‍රේක්ෂකයාට අපහසුවක් නොවෙන්න එකෙන් එක රූපරාමු අමුණන්නෙ කොහොමද කියලා ඉගෙන ගත්තෙ මේ චිත්‍රපටයෙන්... අපිට ඉගෙනගන්න වෙන තැනක් නෑනෙ.. හොඳ නිර්මාණ නරඹලා තමයි අපිට හැමදේම ඉගෙන ගන්න වෙලා තියෙන්නෙ...

සුනිල්ට මේ චිත්‍රපටයේ අවසානයේ පසක් වුණ හැඟීම වචනවලට පෙරළමුද?
මට ඇත්තටම හිතුණේ... මේක නේද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කියලා... නිර්මාණයක් අවසානයේ අපේ හිත් නිවන්න ඕනෙ.. ඒ දේ මේ චිත්‍රපටයෙන් මම අත්වින්දා....

 

► Text - Danushka Wijesiri   /   Pic - Internet