2019 ජනවාරි 19 වන සෙනසුරාදා

කුණු කන්දට අරන් ගිය රුසියාවේ පියානෝව

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 143

කලාව, සංගීතය වගේම පියානෝව කියන්නෙත් සුන්දර වස්තූන්. හැබැයි මේ සුන්දර වස්තූන් අසුන්දර තැනකට ගෙනගොස් අසුන්දර කතාවක් ගැන ලොවටම ඇහෙන්න කියපු කෙනෙක් තමයි රුසියානු ජාතික පියානෝ වාදකයෙක් වන පවෙල් අන්ඩ්‍රීව්. 

රුසියාවේ පීටර්ස්බර්ග් නුවර තියෙන කුණු කන්දක් ළඟට ඔහු තමන්ගේ පියානෝව අරගෙන ආවම අවට හිටපු අය හිතුවේ පියානෝව කුණු ගොඩට දාන්න ගෙනැත් කියලයි. හැබැයි ඔහු තවත් කිහිපදෙනෙකුගේ උදව්වෙන් කුණු කන්ද මුදුනටම පියානෝව උස්සන් ගියා. එහෙම ගිහින් ටිකක් සමතලා තැනක් බලලා පියානෝව තියපු ඔහු ඒක වාදනය කරන්න පටන් ගත්තා. අවට හිටපු අය හැමෝම පුදුමවෙලා කට ඇරන් බලන් ඉද්දි පවෙල් පියානෝව වාදනය කළා. 
Breath of the Planet කියන නමින් ඔහු එදා ඒ වාදනය සිදුකළේ පරිසර දූෂණය ගැනත් ඊට මිනිසාගේ වගකිව යුතු බව නැවත මතක් කරලා දීමත් වෙනුවෙනුයි. 

පැය හයක් විතර කුණු ගොඩේ ඉඳන් පියානෝව වාදනය කරමින් ඔහු රූගත කිරීම සිදුකළේ කුණු අදින බැකෝ යන්ත්‍ර වගේම කුණු ගොඩේ කෑම හොයන ලිහිණියන්ගේ සද්ද මැද්දෙයි. කාලයකට ඉහතදී රුසියාවේ සුන්දර විලක් අද්දරට වෙලා පියානෝව වාදනය කරමින් සිටියදී තමයි පවෙල්ගේ හිතට මේ වගේ අදහසක් ඇවිත් තියෙන්නේ. සුන්දරත්වයට මැදිවෙලා සුන්දරත්වය වර්ණනා කරනවා වගේම අසුන්දර තැනකට ගිහින් සුන්දරත්වයේ අගය ගැන මතු කළ යුතුයි කියලා පවෙල්ට සිතුවිල්ලක් පහළ වෙලා. ඒකෙ ප්‍රතිඵලය තමා ‘Breath of the Planet. 

මට ඕන වුණේ පරිසරයේ සුන්දරත්වය ගැන වෙන විදිහකට කතාකරන්නයි. ඉතින් සුන්දරත්වයේ විරුද්ධාර්ථය දනවන තැනක් ඒකට සුදුසුයි කියලා මම කල්පනා කළා” පවෙල් මාධ්‍යයට එහෙම කියලා තිබුණා. 
ඒ වගේම කසල බලශක්ති ප්‍රභවයක් විදිහට පාවිච්චියට නොගෙන මේ විදිහට පරිසරය කැත කරමින් තැන තැන ගොඩ ගසා තිබීම ගැනත් බොහොම සංවේදීව ඔහු කතා කරලා තිබුණා.

 

ඔහු මේ වාදනයේ පිදුම සටහන් කරන්නේ දෙවියන් වහන්සේට වීමත් විශේෂත්වයක්. වීඩියෝව ආරම්භයේම To my friend, creator යනුවෙන් සඳහන් වෙනවා. ඒ වගේම වීඩියෝවේ අවසානයත් ඉතාම සංවේදී හිතන්නට යමක් ඉතුරු කරන විදිහේ අවසානයක්. ඒ පියානෝව වාදනය කරමින් සිටින පවෙලෝටත් පියානෝවටත් ඉහළින් දැවැන්ත බැකෝ යන්ත්‍රයක හස්තයක් මතුවෙමින් ඔවුන්වත් එම කුණු කන්දට ගිල ගන්න සූදානම් වන ආකාරය අපූරුවට නිරූපණය කරලා තියෙනවා. You tube ඔස්සේ ඔයාලටත් මේ සංවේදී සංගීත වීඩියෝව නරඹන්න පුළුවන්. 

 

► Text - Suranga