හැමදාමත් රෑ කළුවර ඉහිරෙන වෙලාවට බොරැල්ල කනත්ත ළඟින් යද්දී මම ඒ සුසානය දිහා බලාගෙන ඉන්නවා... ඒ පාළුව මගේ හිතට හරි ළඟයි... එක දවසක් අපි රෑ දොළහේ ඉඳන් රාත්‍රිය පහන් වෙන තෙක් ඒ සුසානය පුරා ඇවිද්දා. සොහොන් කොත් පාමුල ඉඳගෙන හිටියා. ඒ දවසට මම ආසයි. ඒ රාත්‍රිය ඒ ගුප්ත සෞන්දර්ය මගේ හිතට හරිම ළඟයි... මගේ හිත නවතින එක තැනක ජීවිතේ හුඟක් ආදරය කළ කෙනෙක් කවදාවත් නොඇහැරෙන නින්දක... එයා සංසාරයේ කොතැනක හරි ඇහැරිලා ඇති වෙන කයක් වෙන හදවතක් වෙන ශරීරයක් එක්ක. ඒ එයාමත් තමයි ඒ එයාමත් නෙවෙයි. ඉතින් ආය කවදාවත් අපි අපි විදිහටම හමුවෙන්නේ කොහොමද? කන්‍යාරාමයේ පල්ලියේ සොහොන් බිමට මාත් ගියා එදා එයාව ඇරලවන්න.
ආවොතින් යා යුතුය.... නොගොසින් යළි එන්නට බැරිය.... ලොව ඇත්තේ යාම් ඊම් පමණි....
ඒත් ජීවිතයම කරගෙන ආදරය කරපු හිත් ආය කවදාවත් මුණනොගැසෙන කොහේ හරි තැනකට යද්දී අවසානයේ ඉතුරු වෙන්නේ දීලා ගිය මතක විතරයි. මට හිතෙන්නේ මරණය කියන්නේ කළු පැහැ චිත්‍රයක්. මම ඒ චිත්‍රයේ අතීත මතක රේඛා දිගේ පාළුවත් එක්ක ඇවිදිනවා. ඉහළටම ගන්න හුස්මක් දිගේ ඔයා ඇවිත් යනවා. මට ඔයත් එක්ක කතා කරන්න ඕනෑ.
මට වඩා කල් ජීවත්වෙන්න. මට බලාගෙන ඉන්න බැරිවෙයි නුඹේ පියවෙච්ච ඇස් දිහා... මම මටත් වඩා ඔයාට ආදරෙයි.... අපිට කෙනෙක්ට එහෙම කියන්න පුළුවන්නම් මට හිතෙන්නෙ ඒ ජීවිතේටම එක්කෙනෙකුටම විතරයි... ප්‍රේමයේ අධ්‍යාත්මික බන්ධනය අනන්තයක් තරම් වෙන්න ඕනෑ ඒ විදිහට කියන්න කෙනෙකුට.... ඉතින් ඔයා මගේ ප්‍රේමයට නිර්වචන ඉල්ලන්න එපා... මගේ ඇස් පියවෙනකම් එයාට ජීවත්වෙන්න ඉඩදෙන්න...
ඒ තමා මගේ අයැදුම... මම දෙවියන්ගෙන් කරන එකම ඉල්ලීම....
මගේ සුවය ඔබ ගන්න... ඔබේ වේදනාවන් හිත් රිදීම්, ලෙඩ දුක් හැමදෙයක්ම මගේ සිරුරට සහ හදවතට දෙන්න.... මම හැමදාමත් දෙවියන්ගෙන් ඉල්ලනවා.
ඔයා ඇරලවන්න සොහොන් බිමට ආව දවසේ මම දෙවියන්ගෙන් ඉල්ලුවා. ආය කවදාවත් මගේ ජීවිතයම කරගෙන මම ආදරය කරන කෙනෙක් ඇරලවන්න මට යන්න ලැබෙන්න එපා කියලා.
ඉරණම කියන්නේ මොකක්ද කියලා මම දන්නේ නැහැ. ඒත් මට හිතෙනවා දෙවියන්වහන්සේ කියන්නේ ස්වභාවධර්මය කියලා. මහා බ්‍රහ්මයා කියලා කීවේ සොබාදහමට කියලා මට හිතෙනවා. ලෝකය මැව්වේ දෙවියන් වහන්සේ කියලා කීවේ ලෝකය මැව්වේ සොබා දහම කියන එක තේරුම් ගන්න බැරිකමට කියලා මට හිතෙනවා. සොබා දහම කියන්නේ දෙවියන්. ඔයා ඊට එකඟද? මගේ හදවත ඊට එකඟයි. ඔව් සොබාදහම කියන්නේ දෙවියන්වහන්සේ. ඒත් මට හිතෙන්නේ අපි කවුරුත් ඒ දෙවියන් වහන්සේව තවම හරියට තෙරුම් අරගෙන නෑ. ඒ දෙවියන් වහන්සේ කියවලා නෑ. ඒ දෙවියන් වහන්සේට ළං වෙලත් නෑ. අපි යන්නේ ඒ දෙවියන් වහන්සේ යන ගමනට වඩා හුඟක් වෙනස් ගමනක් දුරස් ගමනක්. වෙනස් ගමනක්. ඒ දෙවියන් වහන්සේ
කවදාවත් අපට සමාව නොෙදන ගමනක්
ඔබ ඒ දෙවියන් වහන්සේට ආදරය කරන්න
ඔබ ඒ දෙවියන් වහන්සේ තේරුම් ගන්න
ඒ දෙවියන් වහන්සේට ළංවෙන්න
සතුට ඔයාව හොයාගෙන එයි