2022 ජනවාරි 01 වන සෙනසුරාදා

ආයුබෝවන්! 2022

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 66

ගෙවී යන හැම මොහොතක්ම අතීතයක අයිතියක්. රස නීරස කටුක අමිහිරි වින්දනීය රසවත් සේම සුන්දර අසුන්දර මතක මහා සමුදායක් මැදින් 2022 අවුරුද්ද අපි  පිළිඅරගෙන. ඒ ගෙවුණු අවුරුද්දේ මේ මහා විශ්වයම වින්ඳ පොදු අත්දැකීමක් තිබුණා. රජ පවුල්වල කුමර කුමරියන් වගේම මහ මඟ දුප්පත් යාචකයන්ටත් එක සමානව විඳින්න ලැබුණු ඒ අත්දැකීම තමයි කොවිඩ්. කොවිඩ්  කියන්නේ  මහා භීතිකාවක් කියන ප්‍රතිරෑපය හරිම භයංකාර විදියට මැව්වාදෝ කියලා හිතෙන තරමට ඒ පිළිබඳ ලෝකයම කතා කරපු විදිය හිතද්දී හිතෙනවා. ඒ පිටුපස කවරාකාර අරමුණු තිබුණත් ජන හදගැස්මේ රිද්මය  සංවේදීව සහ මානුෂිකව ඔබට තේරුම් ගත හැකි නම් මේ මහා වසංගතය නිසා මේ ලෝකය කොයිතරම් විඳෙව්වද, කොයිතරම්  අවපාතයකට  අසුවුණාද කියන යථාර්ථය තේරුම් ගන්න ඇසි දිසි සාක්ෂි ඕන තරම් ලෝකෙ තියෙනවා. එනමුත් සපැමිණි නව වසරත් නිමා නොවුණු කොවිඩ් සමඟ අප යා යුතුයි නොනැවතී ඉදිරියටම.

අපි තේරුම් ගත යුතුයි අතීතයට එකතු වන, මඟහැරෙන එක් තත්ත්පරයක්වත් යළි නොඑන වග. එහෙයින් කටුක සේ දැනෙන දුක් කම්කටොලු වුවත් ඉවසිලිවන්ත හදවතකින් දරාගෙන යා යුතුයි අපි ජීවිතේ යන මේ ගමන.

ජීවත් වීම කියන්නේ ජීවිතේ කියන අවිනිශ්චිතය නිශ්චිතයන්ගෙන් පුරවන්න මනුෂ්‍ය වර්ගයා දරණ වෑයමක්. ඒ වෑයම හුදෙක් සොඳුරු  වෑයමක් පමණක්ම නොවේ. ඒත් මට  හිතෙන්නේ  ජීවත් වන වග දැනෙන්න නම් ජීවිතේ ඒ දුෂ්කරතා දැන හැඳින ගත යුතුයි අප. ජීවිතේ කියන කටු අත්ත මත මලක් පූදින තෙක් නොඉවසිල්ලෙන් බලා නොසිට ජීවිතේ කියන කටු අත්ත මලින් සැරසුණු මහ ගසක් බවට පරිවර්තනය කරන්නට වෙහෙසිය යුතුයි අප. මම හිතන්නේ ජීවත් වීම කියන්නෙ අන්න ඒකට. 

පසුගිය අවුරුද්දේ නොසිතූ අනපේක්ෂිත සමුගැනීම් අපිට විඳින්නට සිද්ධ වුණා. අපේ ජීවිතවල හිටපු ආදරණීයන්ගේ හුස්ම ටික කොවිඩ් ඇවිත් උදුරගෙන ගියා අපි නොහිතුව ඇතැම් මොහොතක. තව පැත්තකින් අපි අපේ ගෙවල් ඇතුළෙම පුදුමාකාර තනිකමක් විඳින හිරකාරයන් බවට පත් වුණා. හැම කෙනෙක්ම හැම කෙනෙක් දිහාම බැලුවෙ වෛරසයක් දිහා බලන විදියට. බිය සැක මිනිසුන්ගේ හිත්වල නැති මොහොතක් තිබුණෙ නැහැ. මතක  තියෙන අතීතයේ මේ තරම් නම් අඳුරු කාල පරිච්ඡේදයක් අපි පසු නොකළ වග මට හිතෙනවා. හෙට දවසේ කවුරුන් කාට අහිමි වේද යන වේදනාව නොවින්ඳ කිසිවෙකුත් මේ ලෝකයේ නොසිටි තරම්.

සොබාදහම මිනිසුන්ට ජීවිතය  ගැන බොහෝ දේ නිහඬවම කියා දෙමින් සිටියා. ආවොතින් යා යුතු වග අප දනිතත්  ඉහළට ගත් හුස්ම පහළට හෙළන තුරු ජීවිතය ගැන මේ තරම් අවිනිශ්චිත හැඟීමකින් ජීවත් වූ කාලයක් නම් කවදාවත් නොතිබෙන්න ඇති. ඒ සියල්ල මැද ලද ඇසිල්ලක ජීවිතය නොවින්ඳත් නොවෙයි අප.

 ඒ සියලු මතක පපුවට හිරකරගෙන සුභ පැතුම් ආශිර්වාද මැද මේ මහා ලෝකයම 2022 අවුරුද්ද පිළිඅරන්. කොවිඩ් අපි සමඟ මේ අවුරුද්දටත් ඇවිත්. එයා අපිව අත්හැර යන්නේ කවදාද කියන එක ගැන මේ ලෝකේ කිසිම කෙනෙක් දන්නෙ නෑ. එහෙත් ජීවිතයේ ගෙවෙන, මඟහැරෙන කිසිම තත්පරයක් යළි නොඑන වග දැන ජීවත් විය යුතු හෙයින් ජීවිතය ආදරෙන් සැලසුම් කරන්න, අෂ්ට ලෝක ධර්මය මානව ජීවිතය විෂයෙහි කොතරම් නම් යථාර්ථයක් දැයි අවබෝධ කරගන්නට හොඳම කාලයයි මේ. ඒ නිසා පරාජයන් විඳගෙන අහිමිවීම් දරාගෙන ඔබ ඉදිරියටම යන්න.

ජීවිතය කියන මහා ගසේ මල් පිපෙන තුරු නොසිට ඒ මහා ගසේ හැම අත්තකම බලාපොරොත්තුවේ පොහොට්ටුවකට පිපෙන්නට ඉඩ හරින්න. ඒ පොහොට්ටුව නොමැලවී මලක් සේ පිපෙන දවසක් එනතුරු ධෛර්යමත් සිතින් බලා සිටින්න.
ජීවිතය අත්හරින්න එක මොහොතයි ගතවෙන්නේ. එහෙත් ජීවත් වීම කියන්නේ ඊට වඩා මහා දුෂ්කර වෑයමක්. ජීවිතේ කියන්නේ වරෙක  ගලා යන මහ ගඟක් වගේ. ඒ ගඟේ ඉවුරු දෑල එක් පැත්තක ජීවිතය වෙනුවෙන් බලාපොරොත්තු. අනෙක් පැත්තේ ජීවිතේ මහ කන්ද නැඟ යද්දී අපි වින්ඳ අනේක අත්දැකීම්වල මතක. ඒ සියල්ල මැද මේ මහා ගංඟාව ගලාගෙන යනවා. මරණය කියන මුවදොර හමුවන තුරු සංසාරය කියන මහා සාගරයට මුහුවෙවී ඒ මහා ගංඟාව ගලාගෙන යනවා.

අහිමි වූ කිසි දෙයක් පිළිබඳව පසුතැවෙන්න එපා ඔබ. පසුතැවීමෙන් කලකිරීමත්, කලකිරීමෙන් වේදනාවත්, වේදනාවෙන් එපාවීමත් ඇතිවෙනවා. ජීවිතයේ සිදු වූ කිසිදු දෙයක් ගැන කිසිදු අහිමිවීමක් ගැන පසුතැවීමෙන් කිසිදු ඵලක් නැති වග ඔබ අවබෝධයෙන් තේරුම් ගන්න. මුළු ලෝකෙම, හැම බලාපොරොත්තුවක්ම ඔබේ දෙපා මුල විසිරී ගියත් ඊළඟ මොහොතේ සිට යළි ජීවිතයට අලුත් හුස්මක් දෙන්න. ජීවිතය බලාපොරොත්තුවලින් සරසන්න. හැම වෙහෙසක්ම සොඳුරු වෙහෙසක් ලෙස විඳගන්න.

කඳුළ දරාගන්න මිනිස්සුන්ට හිනාවෙන්නට දවසක් එනවාමයි නොවැරදීම. ඒ වග ඔබ හැමවිටම මෙනෙහි කරන්න. ගෙවෙන හැම මොහොතක්ම සතුටින් ගෙවන්න. ඒ මොහොතේ සතුටින් සැනසිල්ලෙන් ජීවත් වෙන්න. හුස්මක් වැටෙන මිනිසුන් නොවී හුස්මක් ගන්න මිනිසුන් ලෙස ජීවත් වෙන්න.

මේ ලෝකයේ තියෙන බලවත්ම අධිකරණය තමයි තමන්ගේ හෘද සාක්ෂිය. ඔබම විනිසුරුවරයකු වී ඔබ ඔබවම පසිඳින්න. මේ ලෝකය හමුවේ නොව ඔබේ හෘද සාක්ෂිය හමුවේ නිවැරදි මිනිසකු වී ජීවත් වෙන්න.

ලෝකයට ආදරය කරන ආදරණීය මිනිසෙකු වෙන්න. හැකි තරම් කාරුණික වෙන්න. පරිත්‍යාගශීලී වෙන්න. අල්පමාත්‍රයකින් හෝ තවත් කෙනෙකුට සැනසිලිදායක වචනයකින් හෝ මෙහෙයක් කළ හැකි තැනක දී එය කරන්න. ජීවිතේ සැබෑ සුවඳ කියන්නේ විලවුන් සුවඳකට නෙවෙයි. ආත්මීය වටිනාකම් මත හමා යන සුවඳකට. ඒ සුවඳ ජීවිතෙන් විහිදුවන මිනිසුන් තමයි විශ්වීය මිනිසුන් ලෙස අතීතයට එක් වෙන්නේ.

මේ මහා ලෝකයම එවන් සුවඳවත් තෝතැන්නක් කරනු පිණිස ඔබේ හදවත් යායේ හැම අහු මුල්ලකම සොඳුරු සුවඳවත් මලකට පිපෙන්නට ඉඩ හරින්න. ආවේ කොහි සිටද යන්නේ කොතැනකටද නොදන්න මේ අනන්ත සංසාර ගමන් මඟ සොඳුරු සුවිසැරියක යෙදෙන්න හදවත් පොත සොඳුරු මනුදම්වලින් පුරවාගන්න.

ඕනෑම මොහොතක ජීවිතේ වැරදීම් වෙන්න පුළුවන්. ඒත් ඒ හැම වැරදීමකින්ම ඔබ නිවැරදිම දේ ඉගෙන ගන්න. වැරදීම්වලට වටිනාකමක් දෙන්න පුළුවන්. ඔබ ඒත් නිවැරදිම දේ ඉගෙන ගන්නවා නම් විතරයි. වැරදීම්වලට සමාව දෙන්න. අන් අයගේ සතුට වෙනුවෙන් කැපකිරීම් කරන්න.

ආත්මාර්ථයෙන් තොර පරාර්ථයක් අර්හත්  සිතක් අස මිස පෘථුග්ජන හිත් අස නොරුඳුණත් හැමවිටම ඔබ ගැන වගේම අන් අය ගැන සිතන්න. සියල්ලන්ජී විතය හොයන මිනිසුන් වග ඔබ තේරුම් ගන්න.
දිනෙක ජීවිතය අත්හැර යන මොහොත පැමිණෙන තෙක් සොඳුරු ආදරණීය අභීත මිනිසෙකු ලෙස ජීවිතයට මුහුණ දෙන්න. 

ඔබට ජය! 

සුබ අලුත් අවුරුද්දක් වේවා! 

නොනැවතී ඉදිරියටම යන්නට අවැසි ධෛර්යය ශක්තිය ලැබේවා! 

ජීවිතේ ගැන නවමු වෙසකින් සිතන්නට

නවමු වෙසකින් ජීවිතේ දකින්නට

ඔබට නුවණැස ලැබේවා!

 

►සංජු