2022 ජනවාරි 01 වන සෙනසුරාදා

වයලීනය උස්සාගෙන ශ්‍රීපාලියේ කන්ද නගිද්දී මට ඇඬුණා

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 50

ජීවිතය කියන්නෙ ගමනක්, නැවතෙමින්, යමින්, වැටෙමින්, නැගිටිමින් යන. අපි මේ ගමන යද්දී වෙලාවකට හරිම අපහසුවෙන් වේදනාවෙන් එහෙම නැත්නම් කලකිරීමෙන් හිටිගමන්ම නතර වෙන අවස්ථා, වේගය අඩාල වෙන අවස්ථා බොහෝයි. එවන් මොහොතක අපිට අවශ්‍ය වන්නේ හොඳ දිරිමත් කරන්නෙක්. ඔයාට පුළුවන්, ඉදිරියට යමු කියමින් අප සමඟ ඉදිරියට යන ගමන් සගයෙක්. ඇත්තටම ඔහු හමුවීම මගෙ වාසනාවක් කියලා ඇය කියන්නේ ඒකයි. ඒත් වසර 30කටත් වැඩි කාලයක් ඇයව දිරිමත් කරමින් ආ ඒ ගමන ඔහු හදිසියේම නිමා කළා. ජීවිතයේ අස්ථීර බව පසක් කරමින්. ඉතින් කොහොමද කියා අපිට ඇයගෙන් අසන්නට නොහැකි තරමේ වේදනාවකින් ඇය සිටියත් හදසර එක්ක ඇගේ කතාව කියන්නට වෙලාවක් වෙන් කිරීම ගැන ඇයට අපේ ගෞරවය පුදමු. ප්‍රවීණ කලාවේදිනියක් පමණක් නොව දහස් ගණන් සිසු දරුවන්ට ගුරු මවක් වූ ඇය ජයකොඩිගේ දෝන රත්නා ලාලනී. එසේත් නැත්නම් රත්නා ලාලනී ජයකොඩි.

මම හැමදාම හිතුවේ සම්පත්ට කලින් මම යන්න ඕන කියලා. ඒත් ඔහු අසනීප වූ දා ඉඳලා මම හිතුවේ මම ඔහුව රුකබලා ගන්න ඔහු ළඟ ඉන්න ඕනෑ කියලා. මම ඉතා ආදරයෙන් ඔහුව රුකබලා ගත්තා. උදේම රෝහලට ගියාම හවස් වෙනකල්ම ඔහු ළඟ ඉන්නවා. සැත්කමෙන් පසුව එයා සනීප වෙලා පෙර සිටි තත්ත්වයට එයි කියන විශ්වාසය මගේ හිතේ තිබුණා. සම්පත් හිතුවේත් එහෙම. ඒත් අපි නොහිතුව නොපැතුව විදියට අවුරුදු 32ක් එකට එක්ව ආ ගමන සම්පත් නිමා කළා. මහා හිස්කමක් තනිකමක් දැනෙනවා. ඔහු වෙනුවෙන් ඔහු ළඟ රුඳෙමින් මොහොතකටවත් ඔහු තනි නොකළ රත්නා ලාලනී වේදනාවෙන් පැවසුවාය.

රත්නා ලාලනී ජයකොඩි යනු පස් දෙනකුගෙන් යුත් පවුලක බාල දියණියයි. පුතෙකු මෙන් වූ ඇගේ හැසිරීම තරමක් දඟකාරය. කෙළිලොල්ය. සිද්ධාර්ථ මහා විද්‍යාලයට ඇය මුලින්ම යනවිට අක්කලාත් අයියලාත් එම පාසලේම සිටි බැවින් ඇය තවත් දඟකාරකම් කළාය. රණ්ඩුවකදීවත් පසු නොබැස ඉදිරියට ගියාය. ඉන්පසු ඇයව ඇතුළත් කරන ලද්දේ කොලොන්නාව බාලිකා විද්‍යාලයටය. සම වයසේ අනෙකුත් යෙහෙළියන් සමඟ ඈ පාසල් ගියේ ආවේ පයින්මය. &අපි ඒ දවස්වල ඒවා කටුකයි දුෂ්කරයි කියලා හිතුවේ නැහැ. මොකද යාළුවන්ගේ ගෙවල් මඟ දිගට. එයාලා එක්කෙනා දෙන්නා ගෙවල් ළඟදි වෙන් වෙනවා. දුරම හිටියේ මමයි මගේ තව යාළුවෙකුයි. ඒ ඇවිල්ලත් අපි අම්මට ගෙදර වැඩවලට උදව් වෙනවා. ඒවා අපිට හරි සාමාන්‍ය දේවල්. ඇය අතීතය සිහිකරමින් පවසයි.

මගේ තාත්තා වෛද්‍යාචාර්යවරයෙක්. එයා කවි, ගාථා, ශ්ලෝක කියනවා. ඉතින් ඒ ආභාෂය අපිටත් ලැබුණා. අනිත් අතට අපෙ අම්මා. ඇය තමයි අපේ මේ ගමනේ යෝධ ශක්තිය. අම්මා නිතරම අපිව විවිධ තරගවලට යොමු කළා. ගායන, රංගන, නර්තන තරගවලට අපිව ඉදිරිපත් කළා. ගීතා අක්කා ගුවන් විදුලියට යොමු වුණාම අයියලා අක්කලා එයාගේ තනියට ගියා. එයාලත් ඒවට යොමුවුණා. ඒ පාරෙම තමයි මාත් ආවේ. ළමා නාට්‍ය ශිලිපිනයක ලෙස තමයි ගුවන්විදුලිය ඔස්සේ කලා ලෝකයට අවතීර්ණ වූයේත්.*

ඇය තිරිවානා අතරින් මතු වූ මැණිකකි. යොවුන් නාට්‍ය උළෙලේ කුසලතා දිනූ තිරිවානා අතරින් යොවුන් නාට්‍යයේ අනිත් නරක ළමයින් සියලුදෙනා අතර හොඳම ළමයා වූ ශ්‍යාමලීගේ චරිතය ඇයගේ රංගන ජීවිතයේ ඇරඹුම විය. ඒ හා සමඟම බන්දුල විතානගේ අධ්‍යක්ෂණය කළ වැනීසියේ වෙළෙන්දා හි රංගනයටද ඇය එක් වූවාය. එමෙන්ම ඇගේ අම්මා යොමුකළ අයදුම්පතක් නිසා රත්තා නම් නාට්‍යයේ ඇය චරිත නිරෑපණය කළාය. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී සිටි සමයේ ඇය තම වේදිකා තරණය සිදුකළාය.

පාසල් යන අතර කලා ලොවට එක්වීම නිසා ඇයට පාසලේ අමිහිරි අත්දැකීම්වලටද මුහුණ දෙන්නට සිදුවිය. උපතින්ම දඟකාර දැරියක වූ ඇයව පාසලේදී පෑ දඟකාරකම් නිසා සමහර විට විවේචනයන්ටද ලක්වූවාය. ශිෂ්‍ය නායිකාවක ලෙස සිටි ඇයට බැජ් එක සිංහලෙන් ලබා නොදීම ආදිය ඇය අදටත් සිහි කරන්නේ වේදනාවකිනි. මේ කාලෙ නම් පාසල් ගුරුවරියක් විදියට මට අත්දැකිම් තියෙනවා. දඟකාර දරුවෝ විෂය බාහිර ක්‍රියාකාරකම්වලට යොමුකරලා ඔවුන්ව ඉහළටම ගන්න පුළුවන්. ඒ දඟකාරකම් තමයි ඔවුන්ගේ අනාගත සාර්ථකත්වයට හේතු වෙන්නේ. ඒත් ඒ දවස්වල ්මට බොහෝවිට පාසලේදී බැනුම් අහන්නයි වුණේ. බලමුකෝ ඔහොම දඟලලා විභාග කරගන්න විදිය කියලා කියපු ගුරුවර ගුරුවරියනුත් හිටියා. අනික පාසල් කාලෙදිම මම නාට්‍යවලට සම්මාන දිනුවා. ඒත් අද කාලේ වගේ පාසලේ ලොකු අගය කිරීමක් තිබුණේ නැහැ. ගුවන් විදුලියට යන රෑපවාහිනියට යන ළමයෙක් කියලා මට විශේෂ සැලකිල්ලක් තිබුණේ නැහැ. ඒත් මම ඒවා ගැන හිතමින් පසුතැවුණේ නැහැ. උසස් පෙළ සමත්ව සෞන්දර්ය විශ්වවිද්‍යාලයටද තේරුණාය. මගේ සංගීත මිස් විනීතා කරුණාරත්න මේ හැම දේකදීම මාව දිරිමත් කළාය.

පරාක්‍රම නිරිඇල්ලයන්ගේ ළාහිරු දහසක් හි කුඩා චරිතයක් ඔස්සේ ඇය ටෙලි රංගනයට එක්වූවාය. එකම මවකගේ දරුවෝ, යශෝරාවය ආදී නාට්‍යවලද ඇය රඟපෑවාය. &මම පොඩි චරිතයක්ද ලොකු චරිතයක් කියලා නෙවෙයි බැලුවේ. එම ක්ෂේත්‍රයට එනවිටම මගේම කියලා සීමා එක්කයි ආවේ.  හැමෝම එකට එක්ව නරඹන්න පුළුවන් රඟපෑම්වල විතරයි යෙදෙන්නෙ කියලා. මම කුඩා කාලේ ඉඳන් චාම් බව, සරලත්වය, ඉහළින්ම පුරුදු පුහුණු වුණ කෙනෙක්. කාලෙන් කාලෙට එන විවිධ විලාසිතා මම කළේම නැහැ. මගේ පෙනුමට ගැලපෙන බොහොම සංවර පිළිවෙළ ඇඳුම් විලාසිතා තමයි මම කවදත් කළේ. ඒක හුරුවුණාම ජිවිතයට හරි පහසුවක්. ඔසරිය, කුර්තාව මගේ කැමතිම විලාසිතා.

ඇගේ උසස් අධ්‍යාපන කටයුතු නිසා රංගනයේ ලද සුවිශේෂ චරිත පවා ඇයට මඟහැරුණි. එහෙත් ඇය සියල්ල සමබරව ගෙන යන්නට අපමණ උත්සාහ දැරුවාය. විශ්ව විද්‍යාලයේ එකේ දෙවැනි වසර විභාග කාලෙ මම මායාදේවි එකේ රඟපානවා. උදේ විභාගෙ කරලා හවස ජෝන් ද සිල්වා එකට යනවා. ඒවා ඉවරවෙලා මහ රූ ගෙදර යන්නෙ. තාත්තා එක්ක ටවුන් හෝල් එකට වෙලා 164 බස් එක එනකල් ඉඳලා පුදුම දුකක් විඳලා තමයි ඒවා කළේ. ඒ දවස්වල ශ්‍රීපාලියේ, ඉගෙන ගන්නවා. හොරණ බස් එකෙන් බැහැලා වයලීනයත් උස්සගෙන කන්ද නගිනවා. එහෙම යද්දී සමහර වෙලාවට මට ඇඬෙනවා. ඒත් දුෂ්කරයි කියලා මම ඒවා අතහැරියේ නැහැ. අනික මම නවකවදයටත් ගොඩක් ලක් වුණා. දවසක් හොරණ බස් එකේ නැගලා ඉද්දි බස් එකට ඇවිල්ලත් %රුග්^ කළා. එදා නම් මට හිතුණා නතර වෙන්න. ඒත් අපෙ අම්මා ජනක් අයියාට (ජනක් ප්‍රේමලාල්) කිව්වා ටිකක් බලන්න කියලා. ඉතින් හොරණ අවුරුදු දෙකක් ඉඳලා තමයි කොළඹට ආවේ. ඒ කාලෙදි සෞන්දර්ය ගුරු හිඟයක් තිබුණා. එනිසා විශ්වවිද්‍යාලයේ අවසන් වසරවල ඉගෙන ගන්න කාලෙම තමයි ගුරු පත්වීම ලැබුණේ. මට පොළොන්නරුවට තමා පළමු පත්වීම. එතකොට මම රෑපවාහිනී ප්‍රවෘත්තිත් කියනවා. විශ්වවිද්‍යාලයේ කාලෙමයි තිර පරීක්ෂණ සමත්වෙලා ඒ සඳහා අවස්ථාව ලැබුණේ. හැටදෙනෙක් අතරින් අවසාන හයදෙනාට තේරුණා. කොහොම හරි ප්‍රවෘත්ති නිවේදිකාවක් නිසාම මට දුෂ්කර නොගිහින් කොළඹම යෙදෙන්න හැකිවුණා. මගේ පළමු පත්වීම සංගීත ගුරුවරියක් විදියට කොළොන්නාව ටෙරන්ස් එන් ද සිල්වා විද්‍යාලයට. වසර අටකට පසු රාජකීය විද්‍යාලයට යනවා. නාට්‍ය හා රංග කලාව පශ්චාත් උපාධියට පස්සේ තමයි ඒ අවස්ථාව මට ලැබුණේ. එස්.එච්. කුමාරසිංහ විදුහල්පතිතුමා වගේම රේණුකා බාලසූරිය මම බොහොම ගෞවරයෙන් සිහිපත් කරනවා. වසර විසි එකක් එහි සේවය කළ මම තමයි රාජකීය විද්‍යාලයේ නාට්‍ය හා රංගකලාව ආරම්භ කළේ.

වේදිකාව තමා ජීවිතයට බොහෝ දේ ලබා දුන්න තැන. තුංමසංල සහ පරාජිකා යන නාට්‍යවල මම හොඳම නිළිය වුණා. ඊටපසුව රංජිත් ධර්මකීර්තිගේ අංගාරා ගඟ ගලා බසී ඩග්ලස් සිරිවර්ධනගේ සුබ සැන්දෑවක්, කේ.බී. හේරත්ගේ &මායදේවි* කපිල කුමාර කාලිංගගේ නෙළුම් පොකුණ, ජයලත් මනෝරත්නයන්ගේ &පුත්‍ර සමාගම*,  එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මහාසාර, මනමේ, පේමතී ජායතී සෝකෝ* ආදී නාට්‍ය ඇගේ ජීවිතයේ සුවිශේෂී කඩඉම්ය. 1982, 1983 වසරවලදී 1984 දී මායාදේවී වෙනුවෙන්ද 1996දී &රෝමය ගිනිගනී* වෙනුවෙන්ද ඇය හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූවාය. වේදිකාවේ කළ බොහෝ රංගනයන් වෙනුනේ ඇය හොඳම නිළිය ලෙස නිර්දේශ වූවාය. සුදු කළුවර, පුංචි සුරංගනාවී, සුනාමි, සරිගම, රන්දියදහර ආදී චිත්‍රපට පහළොවකට පමණ ඇය රංගනයෙන් එක්වූවාය.

ගුවන් විදුලියේ සරල ගී ගායිකාවක ලෙස ගායනයටද එක්වූ ඇය පසුකලෙක රූපවාහිනිය නිෂ්පාදනය කළ අවුරුදු වැඩසටහනක් වෙනුවෙන් ගැයූ එක වර වර නිදන්ට ගිතය අතිශයින්ම ජනප්‍රියත්වයට පත්විය. උපාධියට සංගීතය කළාට මම ගීත ගායනය පැත්තට වැඩිය ආවේ නැහැ. තුංමසංල නාට්‍යයේදී තමයි මට සම්පත්ව හමුවුණේ. පසුව සුබ සැන්දෑවක් ඔස්සේත් අපි මුණගැසුණා. ඒ අතරම අපි දෙන්නා පුත්‍ර සමාගම නාට්‍යයේ ප්‍රධාන චරිතවලට එක්වුණා. හයියෙන් කෑ ගගහා දඟලා දඟලා හිටිය මාව තරමක් හෝ පාලනය කළේ සම්පත්. අපි දෙන්නා අතරේ අවුරුදු පහක පරතරයක් තිබුණා. ඉතින් ගොඩක් වෙලාවට සම්පත් හැමතැනකදීම මාව ආරක්ෂා කළා. ඒක මට ලොකු හයියක් වුණා. ඒ වගේම ඒ කාලෙ වේදිකාවේ රඟපෑ සියලුම රංගන ශිල්පීන් සහෝදරියකට වගේ මට සැලකුවා. ඒ අදටත් එහෙමයි. ඒ අතින් මම වාසනාවන්තයි* ඇය අතීතය සිහිපත් කරන්නේ ආදරයෙන්ය.

►මොනිකා සේරසිංහ