2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා

අසන්නට කිසිත් නැත කියන්නට දෙයක් මිස

 2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 41

කාලයත් එක්ක අමතක නොවන මතක අපි හැමෝගෙම ජීවිතවල තියෙන්න පුළුවන්. කාලය හුඟක් දේවල් තමන් සන්තකයේ හංඟා ගන්නවා. එහෙත් මතක සේයාවන් හිත් ගැඹුරේ පැලපැදියම් වුණාම ඒ මතක උදුරාගන්න කාලයටවත් බැහැ. ඔයාගෙ ජීවිතේ ඔයාගේ අයිතියක්. ඒ අයිතිය ඔයා කැමති විදිහකට භුක්ති විඳින්න ඔයාට කවුදෝ  අයිතියක් දීලා තියෙනවා. ඒත් ඒ අයිතිය තව කෙනෙකුට නොරිදවෙන්න විඳින්න පුළුවන් හදවතක් ඔයාට තියෙනවානම් එයත් එක්ක ආදරෙන් ජීවිතේ බෙදාගන්න. නැත්නම් ඔයාගෙ ජීවිතෙත් එක්ක මොකක් හෝ ගනුදෙනුවක් කරන හැම කෙනෙකුටම ඔයාගෙ ආදරය කරුණාව ළෙන්ගතුකම මහා ආශිර්වාදයක් විදිහට දැනෙයි.

ප්‍රේමය මේ ලෝකෙ කාටවත් නිර්වචනය කරන්න බැරි අමුතුම හැඟීමක්. ප්‍රේමය ඇති වෙන්නේ කා එක්කද කියලා නිශ්චිත නිර්වචනයක් නියමයක් සම්මතයක් ලෝකයේ කොහේවත් නෑ. මේ ලෝකය කියන්නේ මහ පුදුමාකාර විදිහට බෙදිච්ච තැනක්. සමාජ පන්ති, ජාති, ආගම්, කුල, භේද.. මේ විදියට මනුෂ්‍ය කියන කුලකය ඇතුළේ උප බෙදීම් ගොඩක් මිනිස්සු නිර්මාණය කරගෙන තියෙනවා. ඒත් ඒ බෙදීම හරි හිරිහැරයක්.

වයසෙන් ලොකු වෙද්දි හිත් මෝරද්දි ඉසියුම් මනුස්ස හැඟීම්වල සුන්දරත්වය හුඟක් මිනිසුන්ගේ හිත්වලින් අහකට යනවද කියලා මට හිතෙනවා. එහෙව් මිනිස්සු අතරේ ආදරේ කියන දේ හරිම සුන්දර විදිහට මම කියවපු තැනක් තමයි ටී.බී. ඉලංගරත්නගේ අඹ යාළුවෝ නවකතාව. දුප්පත් නිමල් සහ පොහොසත් සුදු අප්පො අතර ලියලන මිත්‍රත්වය කිසිදු බෙදීමකින් කිළිටි නොවිච්ච හරිම සොඳුරු මිත්‍රත්වයක්. වරක්  සුදු ජාතිකයෙක් කළු සුදු වර්ගවාදය නිසා  කළු ජාතිකයන්ට සිදුවන හිරිහැර පිළිබඳව පර් යේෂණයක් කරන්න එන්නතක් විඳගෙන සම කළු පැහැයට හරවාගෙන ඔවුන් අතරට ගියා. Black life me යනුවෙන් ඔහු ප්‍රකාශයට පත් කළේ ඒ පර් යේෂණය. මිනිසුන්ගේ උත්පත්තිය තීරණය කරන්නේ මෙ ස්වභාධර්මය ද, නැත්නම් සංසාර චාරිකාවේ දී අපි සිදු කරන කුසල් අකුසල් ද, නැත්නම් කවුරුන් හෝ විශ්වාස කරන සර්වබලධාරී දේවත්වයක් මේ ලෝකයේ තියෙනවා නම් ඒ දේවත්වය විසින්ද කියලා මම දන්නේ නැහැ. ඒත් මම විශ්වාස කරන එකම දෙවියන් වහන්සේ මේ ස්වභාවධර්මයයි.ස්වභාවධර්මයේ නියමයට ස්වභාවධර්මයේ නියතයට හා රිද්මයට අවසඟව නොයන තාක් මනුෂ්‍යත්වය නිර්මල සුවඳවත් ප්‍රපංචයක් විදිහටයි මම දකින්නේ. එහෙත් ප්‍රකෘතියේ විකරණයක් විදිහට මිනිස්සු විසින්ම නිර්මාණය කරගත් සංස්කෘතිය, ශිෂ්ටාචාරය මිනිස්සු ස්වභාවධර්මයේ ස්වභාවික රිද්මයෙන් බොහෝ ඈතකට තල්ලු කරනවා කියලා මට හිතෙනවා. එහෙත් පුංචි දරුවන්ගෙ හිත් ඒ නිර්මාණාත්මක සංකල්පවලින් කිළිටි වෙන්න ඉස්සර උන්ගේ හිත්වල ආදරය, රුකවරණය, කරුණාව, ප්‍රේමය වැනි සංකල්ප විෂයෙහි ඇතිවන මුදු ළතෙත් හැඟීම්බර ස්වභාවය ඇත්තටම හරි සුන්දරයි.

නිමල් හා සුදු අප්පුගේ මිත්‍රත්වය අතර තියෙන්නෙත් සඳ එළිය වගේ නොකිළිටි මිත්‍රත්වයක්. එහෙම යාළුවෙක් ජීවිතයට ඉන්නවනම් ඒ යාළුකම ඇතුළේ දැනෙන විඳින දේවල් කොයිතරම් සුන්දරද කියලා ඔයාට හිතෙනවා ඇති. හිත එක එක  මනස්ගාතවලින් තෙම්පරාදු වෙන්න ඉස්සර  අපි ගෙවපු ඉස්කෝලේ ජීවිතේ එහෙම යාළුවෝ අපිට හමුවෙලා තියෙනවා කියලා මට හිතෙනවා. බෙදාහදා ගන්න හුඟක් දේවල් නොතිබිච්ච, මේ ලෝකෙ තියෙන බෙදීම් හිත් තදින් අල්ලා නොගත්ත, හැමවෙලේම හිනාවෙන්න ඉඩහසරක් හෙව්ව, ආදරේ දැනෙන තැනක මැරෙන්න වුණත් හිත සූදානම් වෙච්ච ඒ යාළුකම් ඇතුළෙ මහා සුන්දරත්වයක් වගේම පුදුමාකාර ගැඹුරකුත් තිබුණා.

එහෙත් දැන් පුංචි උන්ගේ වුණත් හිත් හොයන්නේ එහෙම යාළුකම් නෙමෙයි කියලා මට හිතෙනවා. උන්ගේ ලෝකෙම වෙන්වෙලා තියෙන්නේ අන්තර්ජාලය එක්ක. උන් ජීවත් වෙන්න හදන්නෙ පරිගණකය සහ අන්තර්ජාලය විසින් නිර්මාණය කරපු මහා කෘත්‍රිම ලෝකයක. ස්වභාවධර්මයත් එක්ක මුහුවෙන්න, විඳින්න, කුරුලු කූජනයක, නිල් අහසක, අළු පාට වලාකුළක, පාට පාට රේඛාවන්ගෙන් පාට වෙච්ච දේදුන්නක, ගලා යන ගංඟාවක ඇළක දොළක රිද්මය අසිරිය, විඳගන්න මලක මෙලෙක අතින් අල්ලලා බලන්න දැන් හුඟාක් පුංචි උන්ට ආසාවක් කැමැත්තක් නැහැ. උන් ජීවත් වෙන්නේ පරිගණකය සහ අන්තර්ජාලය විසින් නිර්මාණය කරපු මහා අමුතුම ෆැන්ටසියක. එහෙත් ඒ ෆැන්ටසියෙන් එහා ලෝකයේ යථාර්ථය හුඟාක් වෙනස් බව තේරුම් ගන්න උන්ට සමහරවිට කවදාවත් බැරි වෙයි. හුස්මක් වැටෙන මිනිස්සු විදිහට මරණය තෙක් ජීවත් වෙයි. ඒත් හුස්ම වැටෙන මිනිසුන් සහ හුස්මක් ගන්න මිනිසුන් අතර වෙනස උන්ට කවදාවත් තේරුම් ගන්න බැරි වෙයි. හීන අතර දුව පැන ඇවිදින ළමා විය ඒ ළමා වියට අයිති මිතුරුකම් කවුදෝ හොරු අරගෙන ගිහින්.

නිමල් සහ  සුදු අප්පෝ අතර තිබිච්ච ආදරය මිත්‍රත්වය ආයෙත් අකුරු ඇතුළෙ හරි හොයාගෙන යන්න හිතෙන්නේ එහෙව් ළෙන්ගතුකම් ළාවටවත් නොතැවරිච්ච ලෝකයක අහුමුලු ස්පර්ශ කරද්දි. ඒ හිස්තැන් හිස්තැන් විදිහට හිතට දැනෙද්දි... කෝ දැන් ඒ යාළුවෝ... අසන්නට කිසිත් නැත - කියන්නට දෙයක් මිස.. 

 සංජු