2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා

අවසන් ගීතයෙන් රටක් අමතන සොඳුරු විප්ලවවාදියා - චමින්ද සමරනායක

 2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 61

අරගලයේ රණ ගීය සටන් පෙරමුණේ සෙබළාට අවියකි. එසේම එම ගීය ඔද්දල් වූ සමාජයක් සුවපත් කරන්නට ඔසුවකි. අප සවන් වැකි ගී පද අතර ඒ හැඟුම හද තුළ ජනිත විය. ඔහු නමින් චමින්ද සමරනායකය. කලක සංගීතඥයකු ලෙස ප්‍රකටව සිටි චමින්ද, අවසන් ගීය ගයන්නට පටන්ගෙන ඇත. ළය පුපුරා යන ස්වරයෙන් ඔහු අරගලයේ ගීය ගයයි.

නුඹ පින් කළ නිසා ඉපදුණේ සිරිලකය 
රට පව් කළ නිසා නුඹ ඉපදුණේ මෙහිය
මව් විකුණමින් නුඹ සැප විඳිනා පුතුය
පව් කරගන්නේ මතු තිරිසන් භවයටද? 

චමින්දගේ සංගීතය ඔහුගේම ගී පද සමඟ මුසුව ඇසෙනා මේ හඬ සුවිසල් සමාජ දේශපාලන කතිකාවකට නිමිති සපයයි. නූතන ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ ඔහු ප්‍රශ්න කරනුයේ පාලකයන්ගෙන් නොවේ. ඔහු ප්‍රශ්න කරනුයේ අපෙනි. මව් විකුණමින් සැප විදිනා පුතු නුඹය. 

චමින්ද හා අපි සම්මුඛ වීමු. සයිබර් අවකාශය මත ගීතයෙන් රුවල් බැඳ උඩුගම් බලා යාත්‍රා කරන අපේ අරුම තරුණයා ගී කිහිපයක් මේ වන විටත් සයිබර් ලෝකයට මුදා හැර හමාරය. ඒවාට ආශක්ත වූ විප්ලවීය අදහස් දරන රසික සමූහයක් ද වෙති. 
කොවිඩ් වසංගත සමයේ ලැබුණු නිදහසත් එක්ක පහළ වුණු සංකල්පනාවක් තමා මේ විදිහට ජනගත වුණේ. රට තුළ තිබෙන සමාජ දේශපාලන ආර්ථික ප්‍රශ්න පිළිබඳ පුරවැසියා මුහුණ දෙන ජීවන අරගලය පිළිබඳ කල්පනා කළා. ඇත්තටම අපිට කොහේ හරි වැරදිලා තියෙනවා. අවුරුදු හැත්තෑවක් තිස්සේ අපිට වැරදිලා. අපි වගේම රටවලට අපි ණය වෙලා. මිනිස්සුන්ට දරාගන්න බැරි තැනකට මේක ඇවිල්ලා තියෙන්නේ. ජාතික සම්පත් විකුණනවා. පරිපාලනය බිඳවැටිලා. රටට ආදරය මිනිස්සු පාලනයේ නෑ. ඔන්න ඔතැනදී තමා අවසන් ගීතය කියන නිර්මාණය බිහිවෙන්නේ.

කලාව උපදින්නේ මහ පොළොවෙනි. ඒ පොළොවේ ස්වභාවය කලාවේ හැඩය තීරණය කරයි. චමින්දගේ ගීයේ හැඩය මේ අප මව් පොළොවේ නූතන හැඩයයි. ඔහුගේ නිර්මාණය රතු මල් පොකුරු පූදින මල් ගස් හා සම යැයි අපට සිතේ. ඔහු පවසන පරිදි ඔහු සංගීතඥයකු මිස ගායන ශිල්පියෙකු නොවන මුත් මේ පද ඔහුම ගයන්නට එක්තරා සුවිශේෂී හේතුවක් තිබේ. ඇරඹුමේ දී මේ පද ගයන්නට චමින්ද ප්‍රවීන්ට ඇරයුම් කර තිබේ. එහෙත් මෙවැනි පදවලට ළය දීමට ඕනෑම අයෙක් දෙවරක් සිතනු ඇත.

හැරපන් සියුර රකිනට බැරි නම් සීලේ 
නොකරන් නිගා චීවරයට බුදු සසුනේ
වැඳපන් සමා ඉල්ලා නායක හිමිගේ
බැහැපන් පන්සලෙන් එළියට - දනන් නිදන අමාවක

මේ චමින්ද සමරනායක ගයන තවත් ගීයක පද කිහිපයකි. මේ මොහොතේ ගොලුව මුනිවත රකින මිනිසුන් රුසකට ඔහු සිය හඬ පුදා ඇත. මෙය වූ කලී ඇතැම් භික්ෂූන්ගේ හැසිරීම් දුටු විට දහසකුත් මිනිසුගේ සිත් තුළ මැරි මැරී ඉපදෙන සිතුවිල්ලකි. චමින්ද අප සමඟ සම්මුඛ වූ විට මේ ගීය පිළිබඳ ඔහුගෙන් විමසීමු. සමස්ත භික්ෂූ සමාජය කෙරෙහි නොව දූෂීත දේශපාලන ආර්ථික භික්ෂූන් කෙරෙහි ඇති පොදු සමාජ ආකල්පයට තමා පණ ලබා දීමට උත්සාහ කළ බව ඔහු පවසයි.

චමින්දගේ ගී පද අතර සරන විට ගුණදාස කපුගේ, නන්දා මාලනී වැනි කලාකරුවන්ගේ විප්ලවීය ගී ආභාසය ඔහු සතුවන බව හැඟේ. සැබවින්ම මිනිසුන් යුක්තිය උදෙසා අවදි කළ හැක්කේ කලාවෙනි. චමින්ද සමරනායක නම් තරුණයාගේ පැතුම රුහිරු වගුරවන විප්ලවයක් නොවේ. ඔහු අපේක්ෂා කරනුයේ මව් පොළොව මත සිදුවන සැබෑ සමාජ පරිවර්තනයකි. ළය පුපුරා යන ස්වරයෙන් ඔහු ගයන ගීයෙන් අපට එය ප්‍රත්‍යක්ෂ වේ.

මිනිසුන්ගේ හදවතට කතා කිරීම ඔස්සේ අපිට පුළුවන් යම්කිසි වෙනසක් ඇති කරන්න. පරිසරය පිළිබඳ සතා සීපාවා පිළිබඳ වගේම අනික් මිනිස්සු ගැන සමාජයක් තුළ යම් සංවේදී බවක් ඇති කරන්න පුළුවන් කලාවෙන් තමයි. කලාවෙන් තමයි රටවල් හදන්න පුළුවන්. කලාවෙන් දේශපාලනඥයෙක් බිහිවෙන්නේ නෑ. නමුත් රටට ආදරය කරන වැදගත් මනුෂ්‍යයෙක් හදන්න පුළුවන් කලාවෙන්.

නීතිගරුක පුරවැසියකු බිහිකිරීමට පවා කලාව ඉවහල් වන බව චමින්දගේ විශ්වාසයයි.  කලාව සහ නූතන කලාකරුවාගේ ඉරණම පිළිබඳ වන නිර්මාණයක් ද චමින්ද සමරනායකගේ නිර්මාණ ගොන්න අතර හමුවේ. සමාජ දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් කලාකරුවා භාවිත කිරීම පිළිබඳ,

කලාකරුවා යහන් ගත කොට - මධුවිතෙන් සනසාපන්

යන ගීතය ඔස්සේ ඔහු නවමු සංවාදයකට මඟ නිර්මාණය කර ඇත.

හිතාමතා මඟහැර දැමූ තේමාවන් මෙන්ම නොදැනුවත්ම මඟහැරුණු තේමාවන් ද සිය නිර්මාණය කෙරෙහි ප්‍රස්තුත කර ගැනීමට මෙම කලාකරුවා ප්‍රතිභා සම්පන්නය. චමින්දගේ පබැඳුම් සේම ඒ මත ඔහු තවරාලන සංගීතය ද රසිකයා සහෘදයකු බවට පරිවර්තන කර ගැනීමට මහෝපකාරී වේ.

&කේමදාස මාස්ටර්ට, ගුණදාස කපුගේ මහත්මාට, නන්දා මාලනී මහත්මියට මම බොහොම කැමතියි. ආභාසයක් ගත්තා නම් ඒ ආභාසය ලබාගන්න ඇත්තේ එතැනින්ම තමයි. ඒ කාලේ, කම්පන, පවන, වගේ විකල්ප ගී ධාරාවෙන් ජනතාව සෑහෙන්න දැනුවත් වුණා. ඊට පස්සේ අවුරුදු පහළොවක් විස්සක් යන කල් කිසි කෙනෙක් මේ දේ කළේ නෑ. මම ඒක දැක්කා. කොහෙන් හරි කෙනෙක් පටන්න ඕනෑ කියලා හිතුණු නිසා තමයි අවසන් ගීතය කියන නිර්මාණය මම සමාජගත කරන්නේ. ඒ නිර්මාණයට ඉතාම ඉහළ ප්‍රතිචාරයක් ලැබුණා. ඒකත් එක්කම මම තේරුම් ගත්තා මේක හැරවුම් ලක්ෂ්‍යයක් කියලා. දැන් මම සරල භාෂාවෙන් රටේ තත්ත්වය ගැන සහ විය යුතු දේ පිළිබඳ ජනතාවට කියනවා.

හුස්ම ගන්න ගස් කපපල්ලා 
නාඩි වැටෙන වැව් සිඳපල්ලා 
කැලේ සත්තු මරපල්ලා 
සොබාදහම නසපල්ලා 
වනයට ගිනි තියපල්ලා 
හෙණ වදීවි යකුනේ 
බොලව් කරන මේ පව් කඳවා 

ඒ ගී පද ඉතා සරලය. අදහස ඉතා පැහැදිලිය. නමුත් ඔහුගේ ස්වරය හදවත ප්‍රකම්පනය කරයි. පරිසරය පිළිබඳ තීරණාත්මක සංවාදයකට සමාජය අවතීර්ණ වන විට චමින්ද මෙම නිර්මාණය එළිදක්වා තිබේ. මෙම ඍජු ආමන්ත්‍රණය කන හරහා මොළයට රුගෙන යන පණිවුඩයට ඇත්තේ සර්වකාලීන වටිනාකමකි. තත්කාලීන සමාජ සංදර්භයන් විෂය කොටගෙන නිර්මාණය වුවද මෙම ගීත ඔස්සේ සාකච්ඡා කරන්නේ සර්වකාලීන සමාජ අර්බුදයක් පිළිබඳ යන්න අපට හැඟී යයි.

චමින්ද සමරනායක ඔහු පිළිබඳ නොව සිය නිර්මාණය පිළිබඳ කතාබහ කිරීමට ප්‍රිය බව ඔහු හා සම්මුඛ වීමේදී අප හට අවබෝධ විය. එසේ නමුත් චමින්ද සමරනායක යනු ආධුනිකයෙක් නොවන බව සිහි කිරීම වැදගත් වේ. ඔහු අනූව දශකයේ අග සිට ක්ෂේත්‍රය තුළ වැඩ කරමින් සිටි නිර්මාණකරුවෙකි. ජනාදරයට පාත්‍ර වූ ගායක ගායිකාවන් වෙනුවෙන් චමින්ද සංගීතය නිර්මාණ රුසක් සිදුකර තිබේ. ප්‍රකට සංගීත ලේබල් කිහිපයක් සමඟ ද ඔහු වැඩ කටයුතු කර ඇත. චමින්ද සමරනායක මෙතෙක් සපැමිණි ගමන් මගේ නැවත අවධිවීමක් ලෙස අවසන් ගීතය හැඳින්විය හැකිය. මේ වන විට චමින්දගේ සංගීත කටයුතු වෙනුවෙන් අපූරු සහයිකාවක් ද සිටියි. 

පිය උරුමයෙන් ලද ස්පත ස්වරයේ ආභාෂය ගුරු කරගනිමින් චමින්දට සහාය වන්නේ ඔහුගේම දියණියයි. ඈ නමින් වර්ෂා විහඟි සමරනායකයි.

දරුවෝ කියන්නේ රටේම දරුවෝ. මිනිස්සු කියන්නේ රටේම මිනිස්සු. මමයි මගේ දරුවයි බිරිඳයි විතරක් නෙවෙයි සමාජයක් කියන්නේ. අපි කරගත්තා දෙයක්. දැන් අපි යමක් සමාජයට කරන්න ඕනෑ කියන තැන තමයි මම ඉන්නේ. මට දේශපාලන සහයෝගයක් හෝ වෙනත් කිසිවක් අවශ්‍ය නෑ. අවශ්‍ය වෙන්නේ මේ පණිවිඩය සමාජගත කරලා සමාජය දැනුවත් කරන්න. රටේ ප්‍රශ්නයක් තියෙනවා කියලා ජනතාව දැනුවත් වෙන්න ඕනෑ. නැත්නම් පාන් ගෙඩියටයි අරක්කු බාගෙටයි ටකරං කෑල්ලටයි ඡන්දේ දීලා හැමදාම මිනිස්සු දුක් විඳිනවා. ඒ ඔහුගේ හඬයි

රුසියානු විප්ලවයට පදනම ගොඩනැගුවේ රුසියානු සාහිත්‍යයි. ලියෝ තෝල්ස්තෝයි යනු රුසියානු විප්ලවයේ කැඩපතයැයි වී.අයි. ලෙනින් වරක් ප්‍රකාශ කළේය. සැබැවින්ම කලාව යනු මුවහත් සොඳුරු විප්ලවීය අවියකි. හදවතින් හදවතට ආමන්ත්‍රණය කළ හැකි ළයෙන් ළය යා කරන සහකම්පන ගුණ ඇති සංධ්වනියකි. ළය ලෙයට දැනෙන්නට අමතන්නට කලාවට හැකිවන්නේ එහෙයිනි. සොඳුරු විප්ලවවාදීන්  බිහිකරන බිහි දොරක් සේම තෝතැන්නක් බවටද කලාව අත්‍යන්තයෙන්ම පත්වන්නේද ඒ නිසාමය.

► චමිදු නිසල්