2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා

චිරිස් ගාලා මඩ විසිවෙද්දී හිත කෙනිත්තුව හැඟුම් මතකද?

 2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 64

වැහිඅඳුර උදෑසන ගිලගත් වනින්ය. රාත්‍රියේ ඇදහැලුණු මහා වරුසාවෙන් මහ පොළොව තෙතබරිතව ඇත. පොද වැස්ස තවම නිමා වී නැත. උදෑසන පත්තර කන්තෝරුවේ රාජකාරියට දුම්රියෙන් යන මා... බසයකට ගොඩවූයේ මේ වැසි පමාවෙනි. වැස්ස කුඩා කල පටන්ම මා මනස අමන්දානන්දයට පත්කළ සොබාදම් දියණියගේ තිළිණයකි. ඉතින් එනිසාම හුරුපුරුදු ලෙස වැස්ස ගැන ලියමි.

කුඩ අතින් ගෙන සිටියද, මේ සිරිපොද වැස්සේ පහස ලැබූ මගියෝ... කුඩ අකුලා බසයට ගොඩවෙති. පාසල් යන ළමෝද ඒ අතර වෙති. වැසි දියෙන් තෙත බරිත මහමඟට නෙත් යොමා... මම බසයේ කවුළුව අසල අසුනක රුඳෙමි. මහමඟ බොහෝ විදුලි පහන් තවමත් නිවා දමා නැත. වැහි අඳුරට ඒ නිසාම අපූරු හැඩයක් එක්ව තිබේ. දල්වාගෙන විදුලි පහන් අප පසුකර යන තවත් වාහන අපූරු චමත්කාර‍යක් ගාලුපාරට ගෙන එයි. කළුතරට ළංවෙන විට කාක්කන් කිහිපදෙනෙකු විදුලි රුහැන් මත වසා සිටින අයුරු නෙත ගැටුණි.

පොද වැස්ස තුනී වී යමින් ඇත. කළුතර නගරය පුරා හුරුපුරුදු කඩිමුඩියද නැත. කුඩ අතින් ගත් දනෝ ඒ මේ අත සැරිසරති. ඔරලෝසු කණුව යට කාකි පාට වැහි කබාය ඇඟ ලා ගත් පොලිස් නිලදරුවෙක් රථවාහන යතුරුපැදි හසුරුවයි. කළුතර බෝධිය ළඟ බසය මොහොතකට නතර වූයේ පඬුරු වෙනුවෙනි. බෝධිය පසුකර පාලම මතින් බසය ඉදිරියට ඇදෙන විට ඉහත්තාවට ඇදහැළුණු මහා වැසි නිසා කළු ගං දෑල චණ්ඩව ගලායනු දුටිමි. තුනී වූ පොද වැස්සේද බොහෝ දෙනා කුඩ ඇතැතිව තවමත් මඟතොටේ රැඳී සිටිති.

මගෙන් සිතුවිලි ගඟ අතීතය කරා ගලා යන්නට විය. මම සිතින් වැස්ස අමතමි.

වැස්ස දැන් වෙනස් වෙලාද? ඒ කාලේ වගේ නැද්ද? මම පුංචිකාලෙ ඔයා හරි වෙනස්. . අම්මේ අම්මේ මම වැස්සේ නාන්නද...? එපා පුතා අසනීප වෙනවා... අනේ අනේ කියලා හැමදාම, අම්ම දෙනවා හිටපු ගමන් ඉඩ හසරක්... අන්න ඒ දවස්වල වැස්ස, ඔයා නිසා මම පිස්සෙක් වගේ... මම මිදුල පුරා දුවනවා... අපිට තව කවුරු හරි යාළුවෙක් එකතු වුණොත් නම් එදාට පට්ට.... මඩ වළවල්වලට පනින්නේ එකපාරට. චිරිස් ගාලා මඩ වටේට විසිවෙන කොට දැනුණ හැඟීම... ආනේ ඒක මට මතක නෑ...  ඒත් ඒක පිස්සුවක්... මටයි ඔයාටයි නෙවෙයි, බලන් හිටපු අයට...

වැස්ස ඔයා ජනේලන් එහා පැත්ත හිටිය දවස්. මම ගේ ඇතුළේ හිටපු දවස් මතකද? කඩදාසි ඔරු හදලා මම මිදුලේ ගලපු මහා ගංඟාවල්වලට දැම්මා. ඔයා ඒවා තෙමලා දිය කරලා ගිල්ලා දැම්මා. මම ඒවා බලාගෙනම හිතෙන් කතන්දර හැදුවා... ගෙදර වහලේ තැනකින් දෙකකින් ඔයා ගේ තුළට ආවේ මාව බලන්නද? රෙදි කෑල්ලක් හරි බේසමක් හරි ඔයා ආපූ තැන්වලට අම්මා තිබ්බා... ඒත් ඒ ලොකු වහලෙන් ඔයා ආපූ චූටි තැන් මට කවදාවත් හොයාගන්න බැරි වුණා.... ඇත්තමයි.
ඔයා නිසා මම ගුටිකෑවා... හොරෙන් තෙමෙන්න ගිහින්. ඔයා පෙරලපු මගේ නැව් කෙලින් කරන්න එකපාරට මිදුලට පැනලා... අයියෝ මම ගුටි කෑවා. මම අසනීප වුණා... වැස්ස ඔයා තමා ඒක කරේ කියලා අම්මා කිව්වා... ඔයා හිතනවද මම තරහා වුණා කියලා... අපෝ නෑ... මම ආයේ වහිනකල් බලන් හිටියා... 

ඉස්කොලේ යනකොට... ඉස්කෝලේ ඉන්නකොට ඔයා මාව හම්බවෙන්න ආපු දවස් මතකද... එතකොට අපිට ගොඩක් යාළුවෝ හිටියා... අපේ ඩෙස් තෙමුණා, ඔයා නිසා... අපි දොස් කිව්වද, නෑ නේද...? අපේ ටීචර්ස්ලා නම් ඔයාට අනම් මනං කියන්න ඇති. මඩවළක් ළඟින් යාළුවෙක් යනකොට ගල්පාරක් ඉලක්කෙට ගැහුවා මඩවළට. අනේ මන්දා, එතකොට මොකක්ද අපිට දැනුණේ... ආ... පොඩි ඉස්කොලේ දෙල්ගහ යට මඩවළ... වේගෙන් වතුර ගලපු පංතිය ළඟ කාණු... ඒ කාණුවල ගියපු කඩදාසි බෝට්ටු... මඩපාට වුණ සුදු ඇඳුම... වැස්ස ඔයා මට එකතු කරේ පුදුම තරම් සුන්දර මතක් ගොඩක්.

ඒත් අද අපි කොච්චර දුරස් වෙලාද? උඹ වෙනස් වුණේ නෑ මමයි වෙනස් වුණේ... මම දන්නවා... මට සමාවෙයන්... ඇත්තමයි මම උඹට තාමත් ආදරෙයි.

නැවතුමක් නොමැති සිතුවිලි ගඟ ගලා යයි. පානදුරයද පසුවන තැන මේ මොරටු ගඟයි. පාලම පසුකරන විට බසය තුළ ගීයක් හඬ නැගුණි. දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා... අහා, දැන්නම්... මා මේ සටහනට විරාමය දිය යුතුය. ඊළඟ ගීයත් ගුණදාස කපුගේමය. ඉඳින් වැහි බර දිනයක කපුගේ රිද්මයට සවන් යොමා බසයක ගමන් කිරීම නම් අපූරුතම දැහැනකට සම වදිමි. අහෝ! අද නම් අරුම දවසකි....

නැවත නැවතත් කියමි. වැස්ස මා ආසම කවියයි. 

► නිසල්