2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා

ආදර ආරාධනා ගොඩාක් ලැබුණා

 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 52

• කැපකිරීම

 යම්කිසි විෂයක් තෝරා ගන්නවා නම් ඒ වෙනුවෙන් අපි හැදෑරීමක් කළයුතු වෙනවා. ඒ හැදෑරීම වෙනුවෙන් අපිට යම් කාලයක් සහ පුහුණුවීම් අවශ්‍ය වෙනවා. මේ කාලය පුහුණුවීම හා අධ්‍යයනය කියන දේට කැපකිරීම වචනය මම පාවිච්චි කරනවා. ඇත්තටම ඒක කැපකිරීමටත් වඩා ඒක අත්‍යවශ්‍ය කාරණාවක්. ජීවිතය ඉදිරියට ගෙනයාමට යම් විනයක්, හැදෑරීමක් තිබිය යුතුමයි. මගේ ජීවිතේ මම කැපකිරීම කියන දේ පාවිච්චි කරන්නේ නැහැ. නමුත් මම ඒ හැමදේම කළයුතුම දේවල් විදිහටයි සලකන්නේ. පුංචි කාලේ ඉඳන් මම හිතපු දෙයක් තමයි උඹ රුපියල් දාහක් උපයනව නම් උඹ ඒ රුපියල් දාහ වෙනුනේ රුපියල් හාරදාහක වැඩ කරපං කියලයි. ඒක මට කියලා දුන්නේ මගේ අත්තායි.

• කඩා වැටීම

 මට මගේ ජීවිතේ කඩා වැටීම් කියන දේ දැනිලා නැහැ. මම හැමදේම මගේ ජීවිතයට අත්දැකීම් ලෙස සලකන කෙනෙක්. යමකට මට මුහුණ දෙන්න ලැබෙද්දී ඒක මගේ ජීවිත අත්දැකීමක් විදිහටයි මම හිතන්නේ. ඒ අත්දැකීම මට ධනාත්මකද, ඍණාත්මකද කියලයි මම හිතුවේ. ඒක යම් විදිහකින් ඍණාත්මකව බලපාලා තියෙනවා නම් ඊළඟ අඩියේදී ඊටත් වඩා ශක්තිමත්ව මම නැගිටලා තියෙනවා. මිනිසුන්ගේ ජීවිතවල එක එක විදිහේ කඩාවැටීම්වලට මුහුණ දෙන්න සිදුවෙනවා. ප්‍රේමයත්, ආර්ථික වශයෙන්, පවුල් බිඳවැටීම්, විභාග අසමත්වීම් වැනි කඩා වැටීම්වලට මිනිසුන්ට මුහුණ දෙන්න සිදුවෙනවා. සමහරුන්ට තමන්ගේ ජීවිත ගොඩනඟා ගන්නට තව කෙනෙකුගේ උපදේශය පවා ලබාගන්න සිදුවෙනවා. ඒක මගේ ජීවිත ඇතුළෙන්ම සිදුවන දෙයක්. මම නිතරම මාත් එක්කම කතා කරන කෙනෙක්. මගේ ජීවිතවලට බලපෑම් ඇතිවෙන කාරණා ආවොත් මම ඒ තප්පරයෙන්ම නැවත වතාවක් ඊට වඩා දහගුණයකින් ශක්තිමත් කෙනෙක් විදිහට නැගී සිටිනවා. ඒ නිසා ජීවිතේ කඩාවැටීමක් ගැන හිතන්න මට වෙලාවක් නැහැ.

• ප්‍රථම ප්‍රේමය

ප්‍රථම ප්‍රේමය කියන්නේ සුන්දර මතකයක්. මගේ ප්‍රථම ප්‍රේමය කියන්නේ මොන ප්‍රේමයටද කියලත් කල්පනා කළා. එක්තරා වයසකදී ප්‍රේමාරාධනා අතිශයින්ම මා වෙත ගලාගෙන ආවා. මගේ ඥාති පාර්ශ්වවලින්, හිතවතුන්ගේ පාර්ශ්වවලින්, අධ්‍යාපනය ලබද්දී ඒ මුණගැහෙන මිතුරන්ගෙන්ද ප්‍රේම ආරාධනා ලැබුණා. ඒ අසාමාන්‍ය විදිහට ආපු ප්‍රේම ආරාධනා තුළ මම බාරගත්තු ආරාධනාවකුත් තිබුණා. ඒ කාලයේ ප්‍රේමය අද වර්තමානයේ දකින ප්‍රේමයට වඩා ගොඩක් වෙනස්. හරි ලස්සන කවි, නිසැදැස්, කතන්දර, ලියුම් එක්ක හරි අපූරු සාහිත්‍ය ලෝකයක් එක්ක ඒ කාලේදී ඒ ප්‍රේමය ලැබුණා. අද මැසේජ් එකක් දාලා, හායි කියල පටන් අරගෙන I Love You කියල ගහල Shall we meet? කියල කොහේ හරි තැනකට ගිහින් මුණගැහිලා සියල්ල අවසානයේදී හැමදේම පළුදු කර ගන්නවනේ. ඒ කාලේදී හරි සුන්දරයි. ඒ කාලේ &දුටු සතුටු* නේ. කොහේ හරි ඈත කොනක, නෙත පිනවන දර්ශනය හරි අපූරුයිනේ. ඒ දැකීමත් පසුව හිරවන සුන්දර හැඟීමක්. ඒ ආදරය හරි අව්‍යාජයි. නැවුම්. මම ඒ සුන්දර ප්‍රේමය වින්දා. හැබැයි ඒවාට වැඩි ආයුෂ නැහැ. අපේ පවුල්වල එහෙම සම්බන්ධතා ඇතිකර ගැනීම තහනම්. ඒ නිසා බොහෝම හොරාට කරපු ආදරය අවුරුද්දක් විතර ගියාට පස්සේ අපේ අම්මම තිත තියලා තිබුණා.

• ඉරිසියාව

 පොඩි කාලේ මට යම් වේදනාවක් දැනිලා තියෙන තැන් තිබුණා. ඒක ඉරිසියාවක්ද කියල මම කියන්න දන්නේ නැහැ. මගේ යාළුවෝ හැමදාම පාසැලට ඇවිත් එයාලගේ තාත්තලා ගැන කතා කළා. එයාලගේ තාත්තලා &හරි ආදරෙයි. තාත්තා තමයි උදෙන්ම මාව ඇඳෙන් නැගිට්ටවලා මගේ කිරි වීදුරුව පෙව්වේ. තාත්තා තමයි මාව ඉස්කෝලෙ අරගෙන ආවේ*. කියලා තාත්තා ගැන මගේ යාළුවෝ වර්ණනා කරද්දී මට වේදනාවක් දැනිලා තිබුණා. තාත්තලාගේ ආදරය, සෙනෙහස කතා කරන තැන්වලදී මට එහෙම කතා කරන්න දෙයක් තිබුණේ නැහැ. පීතෘත්වය සම්බන්ධයෙන් මට කතා කරන්න කිසිම අත්දැකීමක් තිබුණේ නැහැ. මගේ යාළුවෙක් නිරන්තරයෙන් ඒක ගැන කියද්දී මට ලොකු වේදනාවක් දැනුණා. මට තාම මතකයි මම රබර් බෑන්ඩ් එකකට මකන කෑල්ලක් කියල දුන්නක් වගේ ඒ යාළුවට විද්දා.&තාත්තා* කියන විෂය ඇතුළේ මට කතා කරන්න දෙයක් නොමැතිකම නිසාම මට පොඩි ඉරිසියාවක් දැනෙන්න ඇති. ඒ මකන කෑල්ල ගිහින් ඒ යාළුවගේ ඇහේ වැදුනා. ඒක මම බලාපොරොත්තු නොවුණු සිදුවීමක්. ඇහැ ඇතුළේ කළු ඉංගිරියා දෙකක් හැදිලා යාළුවට ටික කාලයක්ම බෙහෙත් ගන්න පවා සිදුවුණා. ඒ මට දැනුණු නොරිස්සුම ඉරිසියාව වෙන්නත් ඇති. පහු කාලයේදී මට තව කෙනෙක් වෙනුවෙන් ඉරිසියා කරන්න කාලයක් නැහැ. මට ඉලක්කයක් තිබුණා. ඒ ඉලක්ක වෙනුවෙන් මට ගමනක් තිබුණා. ඒ ගමනේදී මට අවශ්‍ය කරන හැමදේම මම ළඟා කරගෙන තියෙනවා. ධනය, අධ්‍යාපනය, ගේදොර, ඉඩකඩම්, වාහන මේ හැමදේම ළඟා කරගෙන තියෙනවා. ඒ නිසා මට තවත් කෙනෙක් දිහා බලලා එයා එක්ක මාව සංසන්දනය කරන්න මට කාලය නැහැ. ඒ නිසා මා තුළ දැන් එහෙම ඉරිසියාව කියන හැඟීම පොඩ්ඩක්වත් නැහැ.


• ඉලක්ක

 ඉලක්කවලට මම ගමන් කරනවා. ඒක ඕනෑම මනුෂ්‍යයෙක්ට අත්‍යවශ්‍ය දෙයක්. ඉලක්ක සහ අරමුණු ගැන මට අවබෝධය ලැබුණේ කුඩා කාලයේදීමයි. මගේ අම්මාගේ අප්පච්චි ලෝකය පුරා ගමන් කළ මනුස්සයෙක්. යටත් විජිත කාලයේදී එංගලන්ත හමුදාවේ තමයි මගේ අත්තා සේවය කළේ. මහනුවර ධර්මරාජ විද්‍යාලයේ මුලින්ම ශිෂ්‍යත්වයක් ලැබිලා එංගලන්තයට මුලින්ම ගියේත් මගේ අත්තායි. ලෝකය පුරාම මහ විශාල දැනුම් සම්භාරයක් තිබුණ කෙනෙක්. අත්තාගේ ඇසුර මගේ කුඩා කාලයේදීම මට ලැබුණා. &උඹ ජීවිතය විඳින්න නම් ලෝකය දැකපං. ලෝකයට පලයං, රටවල්වල මිනිස්සු ඇසුරු කරපං, ඒ හැමදේම ජීවිත අත්දැකීම්වලට එකතු කරගනින්.* කියල විශාල දැනුමක් මට ලබලා දුන්නා. ඒ නිසා කුඩා කාලයේදී මේ සමාජය තුළ කැපී පෙනෙන නියෝජනය කරන, සමාජයේ මිනිස්සු එක්ක ගනුදෙනු කරන, චරිතයක් වෙන්න ඕන වුණා. ඒ නිසා මේ සමාජය තුළ වගකීම් සහිත කෙනෙක් වෙන ඉලක්කය මට තිබුණා. ඒ ඉලක්කය කලාකාරියක් විදිහට හොඳ ස්ථාවරත්වයක් ගොඩනඟාගෙන තියෙනවා කියලා හිතෙනවා.

• ආදරය

මට දැනෙන විදිහට අද සුජීව එක්ක ගතකරන ආදරය අතිශයින්ම සුන්දරයි. ඒක වගකීම් සහිතයි. ඒක හරියට &පමා වී ආ වසන්තය* වගෙයි. මීට වඩා හොඳ පුද්ගලයෙක් මට කොහේවත් නැහැ. ඒ කාලේ ප්‍රේම කරපු කෙනෙක් මම විවාහ වුණානම් මේ වෙද්දී මම දික්කසාද වෙලාද දන්නෙත් නැහැ. සුජීවයි මායි අතරේ තියෙන්නේ හරි සුන්දර සම්බන්ධතාවයක්. ඒ බැඳීම තුළ හරිම සරලයි. අපි දෙන්නම එකම ගමනක් යන අයයි. ඒ නිසා අපි දෙන්නාගේ කැමැති අකමැති වීම් හරි සමානයි. කිසිම බාධාවන්, තහංචි නැහැ. අපිට අපේ අදහස් ප්‍රකාශ කිරීම්වලට ලොකු ඉඩක් තිබෙනවා. ඒ අවබෝධය අපිට වැදගත්.


• මම කවුද?

මට මාව හඳුන්වන්න හරි අමාරු කාරණාවක්. එහෙම තමන් තමන්ව හඳුනාගත් කෙනෙක් තවම මේ ලෝකයේ නැතිව ඇති. අවට ඉන්න සමාජය අපිට එක එක චරිත සහතික දෙනවා. ඒ චරිත සහතික කියවල බැලුවොත් &මේ මමද?* කියලත් මට හිතේවි. දුලිකා මාරපන කියල නමක් මට ලැබිලා තියෙනවා. හැබැයි මට හිතෙන විදිහට මම තාම ශූන්‍යයි.