2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා

ඉල් මහේ නික්ම ගිය නිහඬ රසවතා! ලක්ෂ්මන් විජේසේකර

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 21

ලේ නහර ඇට මිඳුළු විනිවිද දැනෙන හැඟුමක් වෙත්නම් ඒ ආදරය බව මම විශ්වාස කරමි. ඔව්.. ළය ලෙය අක් මුල් විනිවිද දැනෙන හැඟුමක් වෙත්නම් ඒ ආදරය බව මම විශ්වාස කරමි. කොන්දේසි විරහිතව ආදරය දැනෙන තැන ආදරය රුඳෙන තැන ලෞකිකත්වය තුළ නිර්වාණ සුව දැනෙන වග මම විශ්වාස කරමි. එය එතරම්ම මනෝරම්‍ය සිතුවිල්ලකි.

ඔව්.. ඒ ආදරය නම් ප්‍රස්තුතය මේ මහා විශ්වයම සුවපත් කරන සෞන්දර්යාත්මක සංධ්වනියකට මුසු කළ අසිරිමත් නිමැවුම් අතර ගීතයත් අපූර්ව නිමැවුමක් ලෙස අරුත් පසිඳින්නට මම කැමැත්තෙමි. එහෙයින්ම මම ගීතය විඳිමි. ගීතයට පෙම් බඳිමි. 

හුදෙකලාව නිදිවරණ රාත්‍රීන් අපමණක මා ඇසූ සහසක් ගී අතර මේ ගී පද ද විය. ඒ ගී පද වියමනට සේම මා ළය නොරිදෙන්නට පිරිමැදි ඒ හඬටත් මම ආදරය කළෙමි. ඒ හඬ එතරම්ම සුගැඹුරුය. ඉසියුම්ය.

සඳ කිනිති නැමී 

විල් දියට එබී

සොයයි සේයාව සඳේ

ඔබ නෙතට එබී

මගෙ නෙතද සදා

සොයයි සේයාව මගේ...

මගෙන් මා නොව ඔබෙන් මා සෙවූ දවස් යනු ඕනෑම ආදර කතාවක මිහිරිතම පරිච්ඡේදයකි. යථාර්ථයට අවසඟව නොයන තාක් සෙල්ලිපියක සෙල් අක්ෂරයක් සේ ළය මත ලෙයින් සනිටුහන් කළ එවන් ආදරයකට සොබාදහම දුන්නේ එක් සංනිදර්ශනයක් පමණි. ඒ සඳ එළියයි. අල්පමාත්‍රයකින්වත් කිලිටක් නොවූ ඒ නිර්මල සඳ එළිය ආදරය සේ වෙතැයි ඔහු ගැයූ අයුරු මට මතකය. ඔහුට ගයන්නට යමුනා මාලිනී පෙරේරා එසේ ලියූ වගත් මට මතකය.

සසල නොවී විල තිබෙන තුරා

දිලෙයි සඳ දියට යටින්

සසල වෙලා දිය කැළඹුණු දා

බිඳෙයි සඳ කැබලි පිටින්

සසල නොවී ඔබ හිඳින තුරා

පෙනෙයි මා ඔබේ නෙතින්

සසර පුරා සැරිසරන තුරා

බලමි ලොව ඔබේ නෙතින්

ඔහු ගැයූ ගී අතර මගේ ආදරණීයම ගීතය එයයි. එහෙත් ඒ ගී හඬ පමණක් අප අතර ඉතිරි කර මේ ඉරිදා වෙද්දි ඔහු නික්ම ගොසිණි. ආ දුර කොතෙක්ද තව යා යුතු දුර කොතෙක්ද නොදන්න අනන්ත සංසාර ගමනේ තවත් එක් ජීවන නැවතුම්පොළක් සොයා ඔහු නික්ම ගොසිණි.

මට මතකය... සඳ කිනිති නැමී ගීතයේ අවසන් පදය මම නැවත නැවතත් අසන තරමට ඒ පදයටත් ඒ හඬටත් මම ආශක්ත වුණෙමි.

සසර පුරා සැරිසරන තුරා

බලමි ලොව ඔබේ නෙතින්

ආදරය යනු කෙතරම් මනරම්‍ය මනෝභාවයක්දැයි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හඳුනාගත් පිරිමියෙකුට හෝ ගැහැනියකට ආදරය යනු ජීවිතයේ එක් මොහොතක් හෝ සිද්ධාන්තයක් පමණක් නොවේ. එය එසේ වූ සඳ ආදරය යනු මුළු ජීවිතයම බව මම විශ්වාස කරමි.

එහෙයින් ඒ ගී පද මම නැවත නැවතත් ඇසූ දවස් මට මතකය. අපමණ සෝ ලතැවුල් හිත කොනිත්තන මොහොතක් වෙත්නම් එවන් මොහොතක ළය පිරිමදිනු වස් සොබාදහමේ අසිරිමත් අසිරියට හිස වාරු කර මුහුදු වෙරළක රාත්‍රියක ජීවිතයම දිය කළ හැකි ආදරණීය හිතක් එක්ක ඔහේ තනිවුණු දවස්, තනිවෙන දවස් ඔබේ ජීවිතයෙත් නොතිබෙන්නට හැටියක් නැත. එදවස ගීතයක මනරම් බව නොවිඳි මොහොතක් ඔබටත් නොතිබෙන්නට හැටියක් නැත. එවන් ඇසිල්ලක මා ඇසූ ගී සමුච්චය තුළ ලක්ෂ්මන් විජේසේකර ආදරණීය ගායකයාගේ ගීයක් නම් නැතිවුණේම නැත. සඳ කිනිති නැමී විල් දියට එබී.. ඔබ මට තරුවකි ගණඳුරු රැයකදි පායන සඳ සේ ගුවන අරා, මා ඇසූ ගී අතර ඒ ගී නැති දවසක් තිබුණේම නැත.

හදවතේ ඉසියුම් ඉසව්වන් හොඳින් දැන හැඳින ආමන්ත්‍රණය කළ හැකි භාවාත්මක කටහඬක් ඔහු සතු විය. ඒ හඬට ගැලපෙන ගී පද ද ඔහුට ගයන්නට ලැබුණු වග අරුමයක් සේය.

කුමාරදාස සපුතන්ත්‍රී වරක් ලක්ෂ්මන්ට ගයන්නට මෙසේ ලීවේය.

ඔබ මට තරුවකි ගණදුරු රැයකදි

දිදුලන සඳ ලෙස ගුවන අරා

ළා හිරු මඬලයි මා අබියස ඔබ

බැස යන්නේ නැති සසර පුරා

අසන වාරයක් පාසා ඒ ගීයේ අවසන අස නෙත කඳුළින් නොදිලිසුණු දවසක් නැත. ඒ තරමට නැවත නැවතත් අසන තරමට ඒ ගීය මගේ හදවතේ කොහේදෝ තැනක් කෙනිත්තුවේය.

සෙනෙහස ගඟුලක් ඔබට පුදන්නෙමි

බිඳුවක් ඔබගෙන් ලබන නියා

සෙනෙහස උතුරන මහ සයුරක් වෙමි

වෙරළක් වී ඔබ දකින නියා

පෑනත් සමඟ සරණ මේ චාරිකාවේදී මහා සාගරයක් සේ ආදරය දන් දී බිඳුවක් තරම්වත් ආදරය නොලබන ගැහැනුන් පිරිමින් මට ජීවිතයේ නොයෙක් තැන්හිදී හමුවී තිබේ. ආදරය දානයක් සේ දන් දී ආදරය වෙනුවෙන් ආදරය ආපිට නොඉල්ලූ.. ඔව් කිසිවක්ම නැවත නොඉල්ලූ කොන්දේසි විරහිත උන්ගේ හදගැස්ම මම නැවතිල්ලේ අසා ඇත්තෙමි. 

ඒ යථාර්ථය පසිඳින ගී පදයක් අස වුව අතිශය සංවේදීත්වයක් අදටත් හදවතට දැනෙන්නේ එහෙයිනි. ලක්ෂ්මන් විජේසේකරට ගයන්නට කුමාරදාස සපුතන්ත්‍රී අපේ ආදරණීය ගී පද රචකයාට මෙසේත් ලියන්නට සිත් වුණි.

සිනා පිපෙනා මේ වසන්තය

නෙලා දෝතින් මලක් සේ

මගේ ලොව වෙත 

ඔබයි ගෙන ආවේ.. 

ආදරයට මලක් සේ පිපෙන්නට ඉඩ හරින්න. ඕෂෝ කීවේ එහෙමය. පීනන්න එපා පාවෙන්න.. එහෙම කීවේත් ඕෂෝය. ඒ දර්ශනයන් හා මේ ගී පද ප්‍රමුදිත වූ අයුරු මටත් හරි පුදුමය.

නිසල සිතුවිලි සසල තුරුලිය

අතර තනිවෙමි ඔබ නිසා සතුටින්

අහස සමුදුර වැළඳ සැනහෙන

තැනක සඟවමි හද සෙනේ සුසුමින්

ආදරය වැක්කෙරෙන්නට ආදරය ගැන ලියූ ගී පද ඔහු ගයන්නට දුන්නේද ආදරය වැක්කෙරෙන සේ ගයන්නට හැකි හඬක අයිතිකාරයෙකුටය. එහෙයින් ඒ ගී යුග යුග පසුකර අදටත් හදවත්හි ඉඩ හසරක් වෙන් කරගෙන ඇත.

සංගීතය, ගීතය තරම් සිත සුවපත් කරන, නලවන ඕවිල්ලක් නැති තරම්ය. මේ අහස පොළොව අතර එය විශ්වීය දායාදයක් ලෙස හැඟෙන්නේද එහෙයින්මය. මන බඳිනා ළයාන්විත හඬටම සරිලන නෙත් බැල්මක් හා සුන්දර අව්‍යාජ සිනාවක් ලක්ෂ්මන් විජේසේකරට තිබුණි.

ඒ සිනාව සැබැවින්ම මහ අමුතුම ආකර්ෂණයක් රැඳි සිනාවකි. දසන් විදහා සිනාසෙන සිනාවක් නොව හදවතින් සිනාසෙන සිනාවක් නිති ඔහුගේ මුවඟ මත විය. එහෙයින්ම ලක්ෂ්මන් විජේසේකරට කලාවෙහි රස දන්නෝ සේම ළෙන්ගතු මිතුරු හිත්වල සුවඳ අඳුරන්නෝ ද ආදරය කළහ.

මඟතොට දුටුවත් දුටු - නුදුටු ලෙසින් නොගොසින් ඔහු තම සහෘදයන් ඔහු හා හිනාවෙන කතා කරන මොහොතක නැවතී කතා කළේය. සිනාසුණේය.

මවාගත් ලොකුකම් ආඩම්බරකම් ඔහු සන්තකයේ තිබුණේ නැත. ආවොතින් යා යුතුය න්‍යාය මනා සේ දැන ජීවත් වූ මිනිසෙකිය; ඔහු.

නළුවෙක් සංගීතඥයෙක් සේම ගායකයෙක් ද වූ ලක්ෂ්මන් විජේසේකර ජීවන සුවසැරිය තුළ ආදරණීය ස්වාමියෙක්, තාත්තා කෙනෙක් යන භූමිකාවන්ටද සාධාරණ ආදරයක් ප්‍රදානය කළේය. සැබැවින්ම මේ මහා විශ්වයේම ඇත්තේ යාම් ඊම් පමණක්ම නොවේද? මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ලීවා සේ නොගොසින් යළි එන්නට බැරි නිසා ආවොතින් යා යුතුමය. මේ සසර සක්මන යනු මහා චක්‍රයකි. 

ආ දුර කොතෙක්ද තවත් යා යුතු දුර කොතෙක්ද නොදන්න මේ අනන්ත සංසාර මාවතේ අපි නවාතැන්පොළින් නවාතැන්පොළට ඇවිද යන්නෙමු. ජීවිතය යනු ඒ සසර මඟ තොටේ එක් නැවතුම්පොළක් පමණි. පැමිණෙමින් නික්මෙමින් අපි සසර සක්මන සරන්නෙමු. ඒ යථාර්ථය දන්නා මුත් මරණය සහ සමුගැන්ම යනු හදවතට අදටත් එක්තරා අඳුරු ප්‍රකම්පනයකි. එහෙත් යථාර්ථයට අවසඟව යා හැකිකමක් නැත. එහෙයින් සමුගත් වේදනාව රිදුම දරාගෙන අපි ඔබට සමු දෙන්නෙමු. එහෙත් ඔබ ඉතිරි කළ මතක ගී හඬ අද සේම හෙටත් ජීවමාන වනු ඇත.

සැබැවින්ම ඒ ආදරණීය මනුෂ්‍යත්වයට ආදරය කළ උන් අතර මමත් එක් සහෘදයෙකි. එහෙයින්ම මරණය නියත දහමක් වග දන්නා මුත් ඔහු නික්ම ගිය මළවුන්ගේ මාසයේ 12 වැනි සිකුරාදාවේ මා නෙත කඳුළක් දිලිසුණි. තවත් ආදරණීයකුගේ නික්ම යාම හදවතට දැනවූයේ ප්‍රකම්පනයකි. හැත්තෑ තුන් වසරක් කියවූ ජීවන පුස්තකයේ අවසන් පරිච්ඡේදය හමාර වගට සටහනක් නොතබාම නික්ම ගිය ලක්ෂ්මන් වෙනුවෙන් අදත් අප මතක බණවර සටහන් තබන්නේ එහෙයිනි. 

දැල්වූ පහන් දැල්වී තිබේවා.. යළි එසේ ගයන්නට ඔහු නේන බව සැබෑය. එහෙයින් සමුගනු මැනව. එනමුත් සහෘදයාණෙනි.. 

තරු එළියෙන් රැදු

රාත්‍රී කාලයේ

දැඩි සිතකින් දුරු

ගමන යම් ඉතින්

කිසිදින අප හමු

නොවන බව දනිම්

සිහිනය මිය යා

යුතුය ඒ ලෙසින්...

එසේ කීවත්

නෑවිත් නොසිට ගොසින් එනු මැනව.

එතෙක් දැල්වූ පහන් දැල්වී තිබේවා!

 සංජු