2021 ජුලි 24 වන සෙනසුරාදා

දං කඩන්න කැලේට රිංගුවාම වෙලාව යනවා තේරුණේ නැහැ

 2021 ජුලි 24 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 284

- චන්දිමා කරුණාදාස

 

 

ඩාලින් අක්කාගේ කට ඔච්චර සැර ඇයි?
ඩාලින් අක්කා කියන්නේ මම රඟපාන චරිතයක්. එහෙම නැතිව සාමාන්‍ය ජීවිතයේදී මගේ කට එහෙම සැර නැහැ. හැබැයි ඩාලිං අක්කගේ චරිත ස්වභාවය ඒකයි.  පාරදිගේ නාට්‍යයේදි හමුවෙන ඩාලිං අක්කා මුහුදුබඩ ප්‍රදේශයේ ජීවත්වෙන විවාහක කාන්තාවක්. ටිකක් මුදල්වලට ලොල් චරිතයක් විදිහට තමයි ඩාලිං අක්කාගේ චරිතය දිග හැරෙන්නේ. කටකාර, බයනැති කාන්තාවක් විදිහට හැඳින්වුවත් හරි.

• චන්දිමා... ඩාලිං අක්කට වගේම අග්නි පියාපත්හි සරෝජිනීටත් බොහෝ දෙනා ආදරය කළා. ලැබුණ ප්‍රතිචාර කොහොමද?
ඩාලිං අක්කට වගේම සරෝජිනීටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ අග්නි පියාපත් කියන්නේ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතාගේ නිර්මාණයකට මම දායකවුණු පළමු අවස්ථාවයි. සරෝජිනීගේ චරිතය ඩාලිං අක්කාගේ චරිතයට වඩා ගොඩක් වෙනස් චරිතයක්. ඒකත් විවාහක කාන්තාවක්. හැබැයි තමන්ගේ බීමත් සැමියාගේ සියලු කරදර ඉවසගෙන ඉන්නා චරිතයක්. එයාට කේන්ති ගිය අවස්ථා තිබුණා. නමුත් ඒ හැමදේම දරාගෙන තමන්ගේ පවුල් ජීවිතය ආරක්ෂා කරගන්න ලොකු කැපකිරීමක් කළා. සරෝජිනීට වගේම ඩාලිං අක්කටත් වෙනස්ම විදිහේ ප්‍රතිචාර මේ වෙද්දී ලැබෙනවා.

• විශ්වවිද්‍යාලයට ආ ගමනෙන් චන්දිමාව නිළියක් කරනවා. ඒ මතකය ආයෙත් අලුත් කළොත්?
කැලණි විශ්වවිද්‍යාලයට ආ ගමන මාව නිළියක් කළා. කැලණි විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංගකලාව ශාස්ත්‍රවේදී හා ශාස්ත්‍රපති උපාධි මම මේ වෙද්දී හදාරලා තියෙනවා. මගේ කලාවේ මුල්ම අඩුතාලම වේදිකාවයි. සරසවි ජීවිතේ ඒ අවුරුදු හතර වේදිකාවත් එක්ක ඉඳලා මම කලාවට සම්බන්ධ වුණා. ඊළඟට වෙළඳ දැන්වීම්කරණයටත් පුංචි තිරයටත් අවතීර්ණ වුණා.

• සරසවි වේදිකාවට පෙර, පාසැල් වේදිකාවට ගොඩවැදිලා නැද්ද?
මම මැදවච්චිය මෛත්‍රීපාල සේනානායක ජාතික පාසැලෙන් ඉගෙනුම ලැබුවා. මගේ ගම පූනෑව. ඒක අනුරාධපුර දිස්ත්‍රික්කයට අයිති පුංචි ගමක්. හරි සුන්දර පළාතක්. පාසැල් වේදිකාවට මම දායක වෙලා නැහැ. පාසැල් ජීවිතේ හරි සුන්දරයි. මම පාසැල් වේදිකාවේ තිබුණ නාට්‍ය බලලා තියෙනවා. අපේ ඉස්කෝලෙත් නාට්‍ය පෙන්නුවා. නමුත් මම ඒවාට සහභාගි වුණේ නැහැ. විෂයක් විදිහට ඉගෙන ගත්තත් මම ඒවාට ප්‍රායෝගිකව සම්බන්ධ වුණේ නැහැ. ඒ හැමදේම වෙනස් කළේ විශ්වවිද්‍යාල ජීවිතයයි.

• පූනෑවේ ගෙවුණ ඒ ළමා කාලය අදටත් මතක ඇති?
අම්මෝ ඔව්.... හොඳට මතකයි. මගේ පවුලේ අක්කලා තුන්දෙනයි මමයි ඉන්නේ. මම තමයි පවුලේ බාලයා. ඒ තුන්දෙනාත් දැන් විවාහකයි. තාත්තා රජයේ රැකියාවක් කළා. දැන් විශ්‍රාමිකයි. අම්මා රුකියාවක් කළේ නැහැ. අපේ පවුලේ හැමදෙනාම ඉන්නේ ගමේ. මට හරිම සුන්දර ළමා කාලයක් තිබුණා. දැන් ළමයින්ට නැති ළමා කාලයක් අපිට තිබුණා. මම ගමේ හරිම නිදහසේ හැදුණු ළමයෙක්. කිසිම දේකට අපේ අම්මා තාත්තා තහංචි දාලා තිබුණේ නැහැ. වෙල් එළියේ, වැව්වල අපි සෙල්ලම් කළා. කොළඹ ජීවත්වෙද්දී හැම පළතුරක්ම කඩෙන් අරන් කෑවත් ගමේදී ඇති තරම් කන්න පළතුරු තිබුණා. ගස් උඩ නැගගෙන පළතුරු කෑවා. පොලුවලින් ගහලා පළතුරු කඩාගෙන කෑවා. පැය ගණන් වැව්වල නෑවා. කකුල් ලෙලි යනතුරු ලේ එනතුරු වැටි වැටී ඇති පදමට දාඩිය පෙරාගෙන සෙල්ලම් කළා. ඒ කාලේ හරි සුන්දරයි. වැව්වල තරගයට පීනුවා. ඉස්කෝලේ ඇරිලා දං කඩන්න කැලේට ගියාට පස්සේ වෙලාව යනව තේරෙන්නෙම නෑ. ඒක පුදුමාකාර සුන්දර කාලයක්. මට හිතෙන විදිහට මගේ ජීවිතේ සුන්දරම කාලය ඒ කාලයයි.

• ඒ ළමා කාලයේදී ආස කළේ කවුරු වෙන්නද?
මට එහෙම විශේෂ කෙනෙක් වෙන, විශේෂ රස්සාවක් ගැන ලොකුවට හීනයක් තිබුණේ නැහැ. හැබැයි මගේ එකම ආසාව වුණේ විශ්වවිද්‍යාලයකට තේරීමයි. ගම් පළාතක ජීවත්වෙද්දී ඉගෙන ගත්තොත් තමයි අපිට රුකියාවක් කරන්න, හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්නේ කියලා අපි විශ්වාස කළා. ඒ විශ්වාසය මටත් තිබුණා. ඒ නිසා හොඳට ඉගෙන ගෙන කොහොම හරි සරසවියට තේරෙන හීනය මට තිබුණා. ඒ විදිහටම මම පළමු පාරම උසස් පෙළ සමත්වෙලා කැලණි විශ්වවිද්‍යාලයට තේරුණා. ඒක තමයි මගේ ලොකුම හීනය වුණේ. මේ වනවිට මම රැකියාවක් කරන ගමන් කලා ක්ෂේත්‍රයටත් සම්බන්ධ වෙලා වැඩකරගෙන යනවා.

• අනුරාධපුරේ පූනෑව සිට කැලණි විශ්වවිද්‍යාලයට ආ ගමනේදී ඒ ජීවිතේ කොහොමද?
විශ්ව විද්‍යාලයට ආවට පස්සේ අපිට හොස්ටල් ලැබුණා. කැම්පස් එකට ආපු මුල් දවස් කිහිපයේදී මට පොඩි නුහුරු ගතියක් දැනුණා. ආයෙත් ගෙදර යන්න තියෙනවා නම්* කියලා හිතුණ වෙලාවල් තිබුණා. තාත්තා මාව විශ්ව විද්‍යාලයට ඇරලවලා ගියාට පස්සේ මම අඬපු දවස් තිබුණා. පාරවල් හුරු නැති නිසා බයක් දැනුණ තැන් තිබුණා... ගම්බද පළාත්වලට වඩා මෙහේ මිනිස්සු හරි වෙනස්. ඒකට මම හෙමි හෙමිහිට හුරු වුණා. සරසවි ජීවිතේ හරි සුන්දරයි. බොහෝ දැනුමක් ලැබුණා. මගේ ජීවිතේ යම් දෙයක් මට ලැබුණා නම් ඒකට සරසවියත් මූලික වෙනවා.

• මුලින්ම චන්දිමා දායක වුණු නිර්මාණය මොකක්ද?
ඒක වේදිකා නාට්‍යයක්. කැලණි විශ්වවිද්‍යාලයට ආවට පස්සේ පළමු වසරේදී නිර්මාණයක් කරන්න තිබුනා. ඒකෙදි වහ කියන නාට්‍යයට මම සම්බන්ධ වුණා. ඒක තමයි මගේ මුල්ම වේදිකා නාට්‍යය වුණේ. පුංචි තිරයේදී ජනක චමින්ද අත්තනායක මහතා අධ්‍යක්ෂණය කළ භවහරණ නාට්‍යයේ මම මුලින්ම රඟපෑවා. ඒක බෙලිහුල්ඔය තමයි රෑගත කිරීම් කෙරුණේ. සිනමා ජීවිතයේ මුල්ම අවස්ථාව වුණේ කුමාර තිරිමාදුර මහතා සහ සරත් කොතලාවල මහතා අධ්‍යක්ෂණය කළ The Newspaper චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාව ලැබුණු එක.

• චන්දිමා රංගනයට අමතරව රුකියාවකුත් කරනවා..?
ඔව්... මම රජයේ රුකියාවක් කරනවා. මම මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ සේවය කරනවා. ඒක අධ්‍යාපන අමාත්‍යංශයට අනුබද්ධ රාජ්‍ය ආයතනයක්. වැඩකටයුතු කරන ගමන් රුකියාවට බාධාවක් නොවන පරිදි කලා කටයුතුවලට දායක වෙනවා.

• සැමියා ගැනත් අපි කතාකරමු?
ඔව්... එයා තරිඳු ගංගානාත්. අපි විවාහවෙලා අවුරුදු දෙකක් වෙනවා. එයාව මට මුණගැහුණෙත් විශ්වවිද්‍යාලයේදීමයි. එයා මගේ වසරේම මාත් එක්කම උපාධිය හදාරපු කෙනෙක්. එයාගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. මාත් එක්කම එයත් විෂය හදාරලා තියෙන නිසා එයාට ඒ විෂය ගැන තේරෙනවා. මම නාට්‍යයක් කළත් ඒකේ හොඳ නරක, අඩුපාඩු මට කියල දෙන්න එයාට තේරෙනවා. විවාහ වුණාට පස්සේ කාන්තාවක් විදිහට අපිට ලොකු වගකීම් තියෙනවා. නමුත් ඒ වගකීමහ්වල මාව කොටු කරගන්නේ නැතිව නිදහසේ නිර්මාණවලට මාව යොමුකරන්න ඔහුගෙන් ලොකු සහයෝගයක් මට ලබලා දීලා තියෙනවා. තරිඳු ගොඩක් හොඳ කෙනෙක්. එවැනි සැමියෙක් ලබපු මම හරි වාසනාවන්තයි.

• තියෙන බලාපොරොත්තු මොනවාද?
එහෙම ලොකු බලාපොරොත්තු නැහැ. නිදහසේ කාටවත් කරදරයක් නැතිව මේ ගෙවන සතුට ජීවිතයේ ඉදිරියටත් මම බලාපොරොත්තු වෙනවා.

 

                    සේයාරූ - සුමුදු හේවාපතිරණ

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:01
 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00