2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

ඔබෙ සුසුමේ සුව දැනුණේ  හිමි සඳුනේ මට විතරද 

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:31 603

මුදු මුහුණේ සුව දැනුණේ
පිය ළඳුනේ මට විතරද
ඔබෙ සුසුමේ සුව දැනුණේ
හිමි සඳුනේ මට විතරද 

 

පුළුලුකුලේ සුව යහනේ
නිදි වැරුවේ මං විතරද
උරතලයේ හිස රන්දා
සුව වින්දේ මං විතරද 

 

ඉඟ නෙරියේ රැලි බින්දේ
පිය ළඳුනේ මං විතරද
ඉඟ නෙරියේ රැලි සැදුවේ
හිමි සඳුනේ මගෙ විතරද 

 

පද රචනය - මහින්ද දිසානායක 
සංගීතය     - ගුණදාස කපුගේ 
ගායනය  -    කරුණාරත්න දිවුල්ගනේ සහ 
        දීපිකා ප්‍රියදර්ශනී පීරිස් 
 

හිමි නිරිඳු පතන 
අවසර කල් රහස් තැන 
මිස නොලැබෙන බැවින 
ගැහැනු කවුරුද වරදෙ නොබැඳෙන

 
කාව්‍යශේඛරය ලියූ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ සමස්ත ගැහැනුන් උදෙසා එවන් අර්ථකථනයක් දුන්හ.

බ්‍රාහ්මණ චින්තනය ගැහැනියට දුන් එක් නිර්වචනයකි මේ. ඇය පතිවත රක්ෂා කළ නොහැකි ඉඩක් ලද ඕනෑම තැනකදී පුරැෂ සේවනය ප්‍රිය කරන සීල ගුණ විරහිත පාප සිත් ඇත්තියකි ඒ බ්‍රාහ්මණ චින්තකයන්ට අනුව.... මට ඒ බ්‍රාහ්මණ චින්තකයන්ගෙන් මෙසේ අසන්නටම උවමනාය... ගැහැනුන් වරදේ බැඳෙන්නේ කා සමඟද? ගැහැනුන් වරදේ බැඳෙන්නේ පුරුෂයන් සමඟ නොවේනම් පුරුෂයන් පතිනි දම් සුරක්ෂිත කරන සීලය රකින ශුද්ධවන්තයන්ය. එහෙත් ගැහැනුන් රති සුවයේ වෙළෙන්නේ පිරිමින් සමඟය. ගැහැනුන් වෙසඟනන්, වරදේ බැඳෙන්නියන් ලෙස වෛශ්‍යා වෘත්තියේ යෙදෙන්නේ පිරිමින් සමඟය. එනයින් ගැහැනියක් වෙසඟනක්, වරදේ බැඳෙන්නියක් යන සාධකය සම්පූර්ණ වීමටනම් පිරිමියෙකු යන සාධකය අත්‍යවශ්‍ය විය යුතුය. ඒ න්‍යාය අනුව ඉඩක් ලැබෙන තැන වරදේ බැඳෙන්නේ ගැහැනුන් පමණක් වන්නේ කෙසේද? ගැහැනුන් පමණක් වෙසඟනන් වන්නේ කෙසේද? ගැහැනුන් එසේ වී පිරිමින් ශුද්ධවන්ත බ්‍රාහ්මණයන් වන්නේ කෙසේද?

එදා ගතානුගතික පුරුෂ මූලික සමාජය විසින් ප්‍රශ්න නොකළ බොහෝ දෑ නූතන සමාජයේ විවිධ සිතුවිලි ප්‍රවාහයන් විසින් ප්‍රශ්න කරන්නට පටන් ගෙන තිබේ. නව සමාජ ආකල්ප, නිර්දේශ නිර්මාණවලට ප්‍රස්තුත සපයා තිබේ. සම්මත විවාහයෙන් පිට ගැහැනියක හෝ පිරිමියකු විසින් පවත්වාගෙන යන අධ්‍යාත්මික හා කායික බැඳීම් සම්ප්‍රදායික සංස්කෘතිය හා කුහක සුචරිතවාදය විසින් දැඩිව ප්‍රතික්ෂේප කරනු ලැබේ. ඉවක් බවක් නැති සල්ලාලකම්වලට දඩ්බ්බරකම්වලට සමාවක් නොදීම යම්හෙයකින් සාධාරණ වුවත් මානුෂීය පදනම් මත, සංවේදී ඇලීම් මත පොදු සමාජ ව්‍යවහාරයන් අතික්‍රමණය කිරීම වරදක්දැයි නිදහස් සංකල්ප ධාරාවක සිට ගැඹුරු විචක්ෂණයෙන් විමසනු මැනවි. ඔබ අසම්මතය පිළිගන්නේනම් එයින් කියවෙන්නේ ඔබ සම්මතයට එකඟ බව නොවේද? අසම්මතය යනුවෙන් නිර්ණායකයක් පවතින්නේ සම්මතයට වටිනාකමක් දුන් පසුබිමකය. මිනිසා සමාජගත වීමේදී, ශිෂ්ටාචාර ගතවීමේදී මිනිසා විසින් ආයාසයෙන් තම ප්‍රකෘතිය යටපත් කරගෙන ගොඩනගාගත් විකෘතිය සම්මතයයි. (සම්මුතියට හෝ විසම්මුතියට ඔබට ඇති සාධාරණ අයිතිය මම පිළිගනිමි.) ඒ සම්මතයේ එක රේඛා මාත්‍රයක් හෝ අභිබවා ගියවිට එහෙම වුණේ ඇයිදැයි නොවිමසමින් සියල්ල වැරැද්ද්දක් ලෙසින් පමණක් දකිමින් ඒ වරදට ගල් ගසන්නට එක පෙළට සැදී පැහැදුණු සමාජයේ කුහකත්වයට කදිම පහරක් එල්ල කළ නිර්මාණාත්මක වෑයමක් ලෙස මම මේ ගීතය දකිමි.

මුදු මුහුණේ සුව දැනුණේ 
පිය ළඳුනේ මට විතරද 

ඔව් හෝ නෑ යන උත්තරය හෝ ඊටත් වඩා දිගු උත්තරයක් වෙනුවට ලැබෙන්නේ තවත් ප්‍රශ්නයකි. 

ඔබෙ සුසුමේ සුව දැනුණේ 
හිමි සඳුනේ මට විතරද 

තුන් හිතම ගිනි අවුළුවන ප්‍රශ්නයක් වුවත් ආවේගයට වෛරයට යටත් නොකර ඉවසිලිවන්ත අවබෝධාත්මක සංවාදයක් බවට පත්කර ගත හැකිනම්... තමන් ප්‍රේම කරන ගැහැනිය හෝ පිරිමියා තමන් කෙරේම බැඳී සිටිනු දැකීම ඒ බැඳීමට අධ්‍යාත්මිකව හා භෞතිකව වටිනාකමක් දෙන හැම ගැහැනියකගේම පිරිමියෙකුගේම ප්‍රාර්ථනයයි. එසේ නොවූ සඳ, ප්‍රේමය තුළින් උත්තරීතර වටිනාකම් අපේක්ෂා නොකරන සඳ කෙනකුට ප්‍රේමය හුදෙක් කායික හා වාණිජමය වටිනාකම් සහිත ගනුදෙනුවක් පමණි. අප දෛනිකව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ දකින ප්‍රවණතාවක් වන්නේ අසම්මත ප්‍රේම සම්බන්ධතා නිසා සිදුවන අපරාධය. මිනීමැරුම්ය. නානා විධ පළිගැනීම්ය. තම දරුවන් පවා එවැනි සම්බන්ධතා නිසා මරා දමන තනි කර දමන මව්පියවරුය. ෆේස් බුක් වැනි සමාජ මාධ්‍ය අනවබෝධයෙන් ඉවක් බවක් නැතුව හැසිරවීම නිසා විවිධ සබඳතා ඇති කරගෙන අවුල් කරගන්නා පවුල් සබඳතා අද එමටය. දික්කසාදවීම් එමටය. එවන් මාධ්‍ය මඟින් හඳුනාගන්නා පුද්ගලයන්ට රැවටී තමන්ගේ මිල මුදල් පමණක් නොව පුද්ගල වටිනාකම් පවා නැති කරගෙන වැනසී යන සියදිවි නිසා ගන්නා තත්ත්වයට පත්වන්නන් නූතන සමාජයේදී අපට හමුවේ.

මම උඹව කීතු කීතු කරලා මරනවා.. උඹෙන් පලිගන්න පුළුවන් හැමවිදිහෙන්ම පලිගන්නවා.... ආදරය කළ හිතක් කැඩී බිඳුණු දිනෙක එය ආත්ම වෛරයක් බවට පත් කරනොගෙන ඇයි එහෙම වුණේ.. ඔයාගේ පැත්තෙන් ඔයා මට සාධාරණ හේතුවක් කියන්න.. ඔයාගේ සතුට එතනනම් ඔයාව මම බලහත්කාරයෙන් මගේ ජීවිතේ අස්සේ තියාගෙන ඉඳලා වැඩක් නෑ.. ඒත් පරිස්සමින් තීරණ ගන්න.. ඔයාට වැරදීමක් වෙන්නෙ නැත්නම් ඔයාගේ හෘද සාක්ෂියට ඔයා ගත්ත තීරණය එකඟනම් මම මගේ වේදනාව ඔයාට දොසක් නොකියා දරාගන්නම් ඔයා යන්න.... එසේ කිව හැකිනම් ඒ කිවහැක්කේ බෝධිසත්ත්ව ගුණෝපිත ප්‍රේමවන්තයකුට හෝ ප්‍රේමවන්තියකට පමණි.

මට වරෙක සිතෙන්නේ මේ ගීතය උනුන් ජීවිතය ගැන නිදහසේ ගැඹුරින් කතා කරන විට දෙදෙනකු අතර ඇතිවන සොඳුරැ සංවාදයක් ලෙසය. නැතිනම් තමන් පෙම් කරන බිරිය වෙනතක නතර වී ඇතැයි සැකයෙන් ඒ සැකය ඇත්තක්දයි දැනගන්නට ඈ විමසන සැමියෙකුත් ඒ විමසන සැමියාගෙන් මා එසේ වී නම් එසේ වී ඇත්තේ මා පමණද යන ප්‍රශ්නාර්ථයෙන් සැමියා විමසන බිරිඳකගේත් සිතුවිලි දිගහැරුමක් ලෙසය. තවත් වෙසකින් මට හැඟෙන්නේ මධු සමයක සුව විඳින්නට ගිය සැමියාට ඇය පිරිමියකුගේ පහස නුහුරු නැති ලෙස හැසිරෙද්දී, පිරිමියකුගේ ළය මඬලක උරතලයක සුව නුපුරුදු නැති ලෙස හැසිරෙද්දී මේ සුව ඔබ විඳින්නේ පළමු වතාවට නොවේදැයි හිතේ දලුලන ඉසියුම්  ප්‍රේම ඊර්ෂ්‍යාවක් නිසා නගන විමසීමක් හැටියටය.

මුදු මුහුණේ සුව දැනුණේ 
පිය ළඳුනේ මට විතරද 

මේ විමසීම කරන්නේ පිය ළඳුනේ යන ආමන්ත්‍රණයෙනි. කියන් සොඳුර වැනි හැඟීමක් ඉන් ප්‍රකාශිතය. පිළිතුරක් දෙන්නට ඉක්මන් නොවෙන ඇය විමසන්නේ මෙවන් දෙයකි.

මගෙන් එසේ විමසන්නට ඔබට සාධාරණ අයිතියක් තිබේද? එහෙත් ඇය ඒ අයිතිය ගැන විමසන්නේ කැත්තට පොල්ල න්‍යායෙන් නොව ගෞරවයෙනි. ඒ ගෞරවය දී ඇත්තේ හිමි සඳුනේ යන ආමන්ත්‍රණයෙනි.


ඔබේ සුසුමේ සුව දැනුණේ 
හිමි සඳුනේ මට විතරද 

සුසුමක සුව දුරින් සිට විඳිනු කෙලෙසද? ඇය විමසන පැනය කුමක්දැයි ඉඳින් ඔබට නොවැටහෙන්නට හැටියක් නැත.

පුළුලුකුලේ සුව යහනේ 
නිදි වැරුවේ මං විතරද 

අනුරාග උණුසුමේ ගෙවාලන රාත්‍රීන් කොහොමත් සුන්දරය. උණුසුම සමඟ ප්‍රේමයත් සිතේ අහුමුලු කොනිත්තයිනම්.... ගැහැනියකගේ සුමට පුළුල් උකුල් තල පිරිමියකුට සුව යහනකි. ඒ සුව යහනේ නිදිවරන ඔහු සිතේ ඉපදෙන්නේ ඒ සුව ඇගෙන් වින්දේ මා පමණද යන පැනයයි. ඔහු ඉවසිල්ලෙන් එය විමසයි.

උරතලයේ හිස රන්දා 
සුව වින්දේ මං විතරද 

ප්‍රශ්නයක් මිස පිළිතුරක් නැත. ඇය නෑ කියන්නෙත් නැත. එක් අතකින් ඇය උපක්‍රමශීලීය. ඔව් කීවොත් මෙයා ඒක කොහොම තේරැම් ගනීද? මගෙන් එහෙම අහන ඔයා කවදාවත් වෙනත් ගැහැනියක් සමඟ ඔයාගේ ජීවිතය බෙදාගෙන නැද්ද? මගේ සිරුර බෙදා ගත්තාදැයි අසන ඔබ ඔබේ සිරුර තවත් ගැහැනියක සමඟ බෙදාගෙන නැද්ද? ඇයි පිරිමියෙක් තමන්ගේ අතීතය අකුරෙන් අකුර දිග නොහැර ගැහැනියකගේ අතීතය පමණක් කොම්බුවක් ගාණේ කියවන්න හදන්නේ.. ඈ විප්ලවීය චින්තනයක් සහිත එහෙත් සුමට ගැහැනියකයැයි මට සිතේ.

ඉඟ නෙරියේ රැලි බින්දේ 
පිය ළඳුනේ මං විතරද 

මගෙන් එහෙම අහන ඔයා මට මේක කියලා ඉන්නකෝ.. ඇය පවසන්නේ එවැන්නකි.

ඉඟ නෙරියේ රැලි සැදුවේ 
හිමි සඳුනේ මගෙ විතරද 

ඔයාට මගේ ගැන එහෙම අහන්න අයිතියක් තියෙන්නේ ඔයා සුව සොයපු එකම ගැහනිය මම විතරක්මනම් විතරයි නේද.. අයිතියේ කුහකත්වය ළඟ පහළවන ලෝබ සිතුවිලිවල කෙළවරක් කොහේද? ඇය නොවිමසා කියන්නට යත්න දරන්නේ එයම නොවේද?

සියලු ප්‍රශ්න කිරීම් මෙවන් සොඳුරු ජීවන සංවාද බවට පත්කරගත හැකිනම්... එහෙත් එවන් නිදහස් සිතුවිලි සිරස දරන ගැහැනුන් මිනිසුන් අපට මුණගැසෙන්නේ මේ ජීවන සුවිසැරියේදී ඉතාමත් කලාතුරකින්යැයි මට සිතේ. 

 

► දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර