2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

රොනීගෙ කොණ්ඩෙ අවුල් වෙනවලු

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 97

මීට දින කීපයකට පෙර අප අතරින් සඳහටම සමුගත් අපේ හිතමිත්‍ර රොනී ලීච් කලා ශිල්පියාගේ මිහිරි මතකයන් රැසක් අපේ හදවත්වල සදාකල් රැඳී තිබෙණු නිසැකය.

කලා ලොවේ බොහෝ විට මතුවෙන පුහු ජෝකර්ලාට වඩා රොනී වැනි ශ්‍රේෂ්ඨ මිනිසෙකුගේ නික්ම යාම අපට තදින්ම දැනෙන්නේ ඔහු තුළ තිබූ නිහතමානීකම නිසාය. ඔහු උස්පහත් භේදයකින් තොරව සියලු දෙනා සමඟ ඉතා කුළුපඟව ඇසුරු කළේය.
අපේ ආයතනයට කුමන හෝ රාජකාරී කටයුත්තකට රොනී පැමිණි අවස්ථාවල ඔහු මුලින්ම යන්නේ අපේ ආරක්ෂක නිලධාරීන් සිටින දෙසටය. “අනේ මල්ලි මම මෙහෙට එනව. දැක්කම, කරුණාකරලා මේ ෆෑන් එක ඕෆ් කරන්න නැත්නම් මගේ කොණ්ඩෙ අවුල් වෙනවා... ඔහු ඔවුන්ට නිතරම කියනවලු. ඔහු ළඟට රසික රසිකාවියන්ටත් ඔහු කිසිදු තහංචියක් දමන්නේ නැත.

දවසක් සංගීත ප්‍රසංගයකට ගිය වෙලාවට තරුණ කෙල්ලො සෙට් එකක් ඇවිත් ඇහුවලු “අනේ රොනී අයියේ ඔයාගෙ තට්ටෙට අපි හරි ආසයි... පොඩ්ඩක් අතගෑවට කමක් නැද්ද...?කියලා
“අයියෝ මේ තට්ටෙ මගේ නෙවෙයි ඔයගොල්ලන්ගෙනෙ... අවුලක් නැහැ...

කෙල්ලො ටික තට්ටෙ අතගානවත් සමඟම නිවේදකයා වේදිකාවට කතා කරනවලු. රොනීත් ගීත දෙක තුනක් ගයා රසික රසිකාවියන් පිනවලා නැවත වේදිකාවෙන් බහිද්දි කවුදෝ ඇහුවලු රොනීගෙ ඔළුවෙ මොනවද තියෙන්නෙ කියලා.
අතගලා බලද්දී තමයි තේරිලා තියෙන්නෙ, අර කෙල්ලො ටික රොනීගෙ ඔළුවෙ ලොකු චුයින්ගම් ගුලියක් අලවලා කියලා. 

 

කෑල්ලක් ගන්න බැරිද?

පසුගිය දවසක පැවැති උත්සවයකදී රඟපාන්න ආසාවෙන් පෙළෙන තරුණයෙකුට එක්තරා අධ්‍යක්ෂවරයෙක් මුණගැසුණලු.
“මම ඩිරෙක්ටර් කෙනෙක්...

“ෂා මරුනෙ... මොකේද වැඩ කරන්නෙ?
“නිල් දිය සෙවණෙ...

“ආ... ඇත්තද... බැරිද අපටත් පොඩි කෑල්ලක් හොයලා දෙන්න...
“ඇයි බැරි... කළුතර පැත්තෙ අවුලක් නැද්ද?
“අවුලක් නැහැ මම නිවාඩු දාගන්න පුළුවන්.
“පර්චස් කීයක විතර කෑල්ලක්ද බලන්නෙ...?
“පර්චස් ද?

“ඇයි ඔයා ඉඩම් කෑල්ලක් නෙවෙයිද බලන්නෙ...?
“අයියො නැහැ... ඔයා නිල් දිය සෙවණ ටෙලි නාට්‍යයේ නෙවෙයිද වැඩ කරන්නෙ. මම රඟපාන්න තමයි කෑල්ලක් ඇහුවෙ...
“ඇත්තද සොරි... මම ලෑන්ඩ් සේල් එකේ ඩිරෙක්ටර් කෙනෙක්.

 

සුන්දර වැරදීම

පසුගිය දවස්වල ඇදහැලුණු වරුසාවක් එක්ක බොහෝ අයට තම දෛනික වැඩකටයුතු කරගැනීමට බාධා ඇති වුණා.
ඒත් කළයුතු වැඩ කල් දැමිය නොහැකි නිසා චිත්‍රපට තිරකතා රචකයෙක් මොරටුව පැත්තෙ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් හොයාගෙන ඔහුගේ නිවසට ගියා.

මුල්වරට අධ්‍යක්ෂකවරයාගේ නිවස සොයාගෙන යන නිසා අර තිරකතා රචකයා මඟ දිගටම ඔහුගේ නිවසේ දුරකතන ඇමතුම් දෙමින් මඟ අහගෙන ගියාලු.
ඔන්න දැන් ගේ ළඟටම ගියාම දුරකතනයට ප්‍රතිචාර දැකවූයේ අධ්‍යක්ෂකගෙ පුතාලු.
“මම ඉන්නෙ අර කියපු නිල්පාට ගේට්ටුව ළඟ..
“හරි හරි මමා එළියට එයි...

ඒත් එක්කම ඒ නිවස අසල තවත් කෙනෙක් ගේට්ටුව ඇරගෙන මේ තිරකතා රචකයාගේ කාර් එක ළඟට ඇවිත් කාර් එක රිවස් කරන්න කිව්වලු ඒ මිදුලට.
මෙයත් කාරෙක රිවස් කළාලු.
“කෝ අනිත් කට්ටිය ආවෙ නැද්ද?
තිරකතා රචකයාගෙන් අර මනුස්සයා ඇහුවලු.
“මම විතරයි ආවෙ. ඩිරෙක්ටර් මහත්තයා ඉන්නවද?

“ඩිරෙක්ටර්ද? මහත්තයා අපේ දුව මනමාලි බලන්න ආපු උදවිය නෙවෙයිද?
“මොන දුවෙක්ද? මේ අර ෆිල්ම් ඩිරෙක්ටර් ගෙදර නෙවෙයිද? එහෙනම් ඇයි වාහනේ මිදුලට රිවස් කරන්න කිව්වෙ...

 

විදෙස් චිත්‍රපට පෙන්නන්න උසාවි ගිහින්

විදෙස් චිත්‍රපට ගෙන්වීමේදී හා ඒවා බෙදාහැරීමේ ක්‍රියාවලියට අදාළ විෂමතා රැසක් ගැන කේෂ්ත්‍රයට සම්බන්ධ අර්බුද රැසක් තිබෙනවා. මේ හේතුවෙන් සිනමාශාලා හිමියන්ට වාගේ පොදුවේ චිත්‍රපට ක්ෂේත්‍රයට ද බලපාන සාධක රැසක් තිබෙනවලු.
ඇතැම් චිත්‍රපට ආනයනය කරන පුද්ගලයින්ගේ ආක්‍රමණශීලී ආකල්ප නිසා ඇතැම් ප්‍රධාන පෙළේ සිනමාශාලාවලට විදෙස් චිත්‍රපට ලැබෙන්නෙ නැහැලු.

මේ හේතුව නිසා පීඩාවට පත් සිනමාශාලා හිමියන් උසාවි ගොස් චිත්‍රපට ආනයනකරුවන්ගෙන් විදෙස් චිත්‍රපට ලබාගන්නට සිද්ධ වෙලා තියෙනවලු.

 

► Text - Mithra