2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

ගේ මාරු ප්‍රශ්න close!

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 57

එලිනර් සහ ඇගේ සැමියා වන බෝන් කියන්නේ වයස අවුරුදු හතක සහ හතරක පුංචි පිරිමි දරුවන් දෙන්නෙක්ගේ මව්පියන්. මීට මාස කිහිපයකට කලින් දකුණු ලන්ඩනයේ ජීවත් වුණු මේ පවුල හදිසියේ රිච්මන්ඩ්වලට මාරු වුණේ ටිකක් වෙනස් හේතුවක් නිසාවෙන්. ඒ තමයි දරුවන් දෙදෙනාට තිබුණු විවිධ අසාත්මිකතාවන්. 

ඒ දෙන්නා ළදරු වයසේ ඉඳන්ම විවිධ ප්‍රශ්නවලට මුහුණ දුන්නා. හැ මදවසකම වගේ ඇඟේ බිබිලි මතුවීම, කුෂ්ට ඇතිවීම වගේ දේවල් සිද්ධ වුණා. ඒ නිසා එලිනර්ගෙයි බෝන්ගෙයි කාලයෙන් වැඩි පංගුවක් මිඩංගු වුණේ ඉස්පිරිතාල ගාණෙ යන්නයි. හැබැයි දරුවන්ට තියෙන මේ විවිධ අසාත්මිකතා ගැන හොයලා හොයලා අන්තිමට මේ අම්මයි තාත්තයි අපූරු තීරණයක් ගත්තා. ඒ තමයි දකුණු ලන්ඩනයේ තිබ්බ ගේ විකුණලා රිච්මන්ඩ්වල අලුත් ගෙයක් හදන එක. හැබැයි ඒ ගේ විශේෂ එකක් විය යුතුව තිබුණා. 


එයාලා දොස්තරලා එක්ක කතාකරද්දි කියවුණු දෙයක් තමයි ගේ ඇතුළෙ තියෙන විවිධ දේවල් හින්දා දරැවන්ට මේ විදිහේ අසාත්මිකතා ඇතිවෙනවා කියන එක. උදාහරණෙට බිත්තිවල ගාලා තියෙන තීන්ත හින්දා, පොළොවෙ අතුරලා තියෙන කාපට් එක හින්දා, එතකොට සෝෆා එකෙන් එන සුවඳ වගේ විවිධ හේතු හින්දා දරුවන්ට අසාත්මිකතාවනුත් ඇදුම වගේ රෝගත් හැදෙන බව දොස්තරවරු නිගමනය කරලා තිබුණා. ඒ ගැන අහපු මේ අම්මයි තාත්තයි දෙපාරක් හිතුවෙ නෑ, තමන්ගෙ ගේ විකුණන්න තීරණය කළා. 

ඊටපස්සෙ ඔවුන් කළේ ගේ විකුණපු සල්ලිවලින් රිච්මන්ඩ්වල අක්කර කාලක විතර ඉඩමක් අරන් අලුත් ගෙයක් හදන්න පටන් ගත්තා. එතැනදි ඔවුන් වාස්තු විද්‍යාඥයාට තමන්ගේ අවශ්‍යතාවය ගැනත් හොඳින් පැහැදිලි කළා. ටිකක් අසීරු වුණත් අභියෝගය භාරගත්තු වාස්තු විද්‍යාඥයාත් මාස නමයකට පස්සේ අපූරු ගෙයක් හදලා දුන්නා. හැබැයි ඒකට සෑහෙන වියදමකුත් ගිහින් තිබුණා. හරියටම කිව්වොත් පවුම් ලක්ෂ පහක්. ලංකාවෙ සල්ලිවලින් ගත්තොත් කෝටි දහයකටත් වැඩි ගාණක්. 

හැබැයි ගේ ලස්සනට හැදිලා තිබුණා. ඒ වගේම කලින් ගෙදර තිබුණු ප්‍රශ්න මේ ගෙදරදි පුළුවන් තරම් දුරට මඟහරවාගෙන තිබුණා. ඒ කියන්නේ අලුත් ගෙදර බිත්ති කොන්ක්‍රීට් සහ පැනල් යොදාගෙන හදලා තිබුණා. වූල් කාපට් වෙනුවට බම්බූ භාවිත කරලා තිබුණා. ඒ විතරක් නෙමේ, ගේ ඇතුළේ වාතය පිරිසිදු කරන්න පුළුවන් යුනිට් එකකුත් මේ ගෙදරට අඩංගු වුණා. ඒ යුනිට් එකෙන් විශේෂයෙන්ම කුස්සියේත්, නාන කාමරේත් තියෙන වාතය එළියට දාලා එළියෙන් නැවුම් වාතය පුරවන්න පුළුවන්. 

මාස හතරකට පස්සෙ ආපහු හැරිලා බලනකොට එලිනර්ටයි බෝන්ටයි දකින්න ලැබුණේ බොහොම සතුටුදායක ප්‍රතිඵලයක්. වෙනදා සතියකට දෙතුන් වතාවක් ඉස්පිරිතාලෙ ගාණෙ බඩගාන මේ දෙන්නාට අලුත් ගෙදරට ඇවිත් මාස හතරක් යනතුරැ ඉස්පිරිතාලෙකට යන්න සිද්ධ වුණේ නැහැ. දරුවෝ දෙන්නා පාසලට ගියාම, වෙනත් කටයුතුවලට එළිමහනට ගියාම පිටතට මිශ්‍ර වුණත් ගේ ඇතුළේදී ඔවුන්ට උපරිම ආරක්ෂාව තිබුණු නිසා ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ අතට හැරී තිබුණා. 

එලිනර් සහ බෝන් අලුත් ගේ නිසා එංගලන්තයේ සෑහෙන ජනප්‍රිය පවුලක් බවටත් දැන් පත්වෙලා. එංගලන්ත පත්තර වගේම ටීවී චැනලුත් මේ වෙද්දි එලිනර් සහ බෝන් ගැන කතාවෙනවා. ඇත්තටම ගෙවල් ඇතුළේ වායු දූෂණය කියන්නේ ලංකාවෙත් මතුවෙමින් තියෙන ප්‍රශ්නයක්. ඉතින් මේ දෙමවුපියන් දෙන්නගෙ කතාව ලංකාවෙ අම්මලා තාත්තලාටත් අලුතින් හිතන්න යමක් ලබාදේවි. 

 

► Text — Suranga