2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

කුමරියක පා සලඹ සැලුණා... 

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 1462

කුමරියක පා සලඹ සැලුණා 
වසා සිටි නෙතු පියන් ඇරුණා 
කුමර බඹසර අසපුවේ මා 
සමවැදී උන් දැහැන් බිඳුණා 

උකුල ළැමහස මලවි කරළිය 
මුවා කළ ඇගෙ දුහුල් සළුතිර 
විවර කෙරුවා මනස් සලෙලුන් 
උමතු වූ දෙනුවන් රැහැන් ඇද 
මා අබියස මැවෙන තුසිතය 
සුරන් නැලවූ සුයාමය 

නිසල ජීවන තපෝ වන මැද 
හැඟුම් ගජසෙන් යදම් බිඳ වැද 
තලා සිත කම්පනය කරවයි 
ළපලු තුරුවැල් කැකුළු මල් පෙති 
මා හඬවයි බිඳුණු තුසිතය 
සුරන් නැලවූ සුයාමය 


පද රචනය - කේ. ඩී. කේ. ධර්මවර්ධන 
සංගීතය     - වික්ටර් රත්නායක 
ගායනය     - ඩබ්ලිව්. ඩී. අමරදේව

මා අබියස මැවෙන තුසිතය 
සුරන් නැලවූ සුයාමය 

මා හඬවයි බිඳුණු තුසිතය 
සුරන් නැලවූ සුයාමය 

සම්ප්‍රයෝග විප්‍රයෝග ධර්මතාවය සතුටත් ඉනික්බිති දුකත් ඉතිරි කරයි. බෞද්ධ දර්ශනයේ එක් හරයක් උදෙසා මේ ගී දෙපදය  නිදර්ශනයක්යැයි මට සිතේ. සිත නලවන සුයාමයන්ම වරෙක සිත හඬවයි. සිතට සතුට රුගෙන එන සම්ප්‍රයෝගයන්ම වරෙක විප්‍රයෝගයන් බවට පත්වේ. ආශාවන්ගෙන් දිවි මඟ බැඳෙන්නට බැඳෙන්නට සංසාරය දිගු නොනවතින ගමනක් බවට පත්වෙයි. අහිමිවීම් හමුවේ දැනෙන වේදනාවන් හිමිවීම් හමුවේ දැනෙන සතුටට වඩා වැඩිය. ඔව් සිය දහස් ගුණයකින් වැඩිය. විප්‍රලම්භ ශෘංගාරය දනවන රස කැටිවූ මේ ගීය බොහෝ දෙනා දකින්නේ හුදෙක් ගැහැනියකගේ සිරුරේ කෝමල රස රේඛා භාව, රාග, උන්මාද, නෑඹුල්,  තුරුණු පිරිමි සිතකින් කරන විවරණයක් හැටියට පමණක් වුවත් ඉන් එහා ගැඹුර පළමු කොට ස්පර්ශ කරන්නට මට සිත් විය.

මා අබියස මැවෙන තුසිතය 
සුරන් නැලවූ සුයාමය 

මා හඬවයි බිඳුණු තුසිතය 
සුරන් නැලවූ සුයාමය..... 

ඒ ගී දෙපදය ළඟ සිත මගේ නැවතෙන්නට හේතුව එයය.
ලෝකයේ යාන්ත්‍රණය නිර්මාණය වී තිබෙන්නෙත් මිනිසාගේ ජීවත්වීමේ මූලික අරමුණ වන්නේත් ධනය බලය හා ලිංගිකත්වය කෙරේ දක්වන අසීමිත ආශාව බව දේශපාලන විද්‍යාඥයකු පැවසුවේය. මෙකී ජීවන පරමාර්ථ බිදී ගිය විට මිනිස් මනස තුළ නිසඟයෙන්ම ජනනය වන්නේ ශෝකී පරාජිත මනෝභාවයන්ය. ක්‍රිස්තු පූර්ව 400 - 200 යුගයේ වාත්ස්‍යාන විසින් රචිත කාම සූත්‍රය වූ කලී මිනිසුන්ගේ අරුම පුදුම ලිංගික චර්යාවන් පිළබඳ අපූරැ විවරණයකි. ලිංගිකත්වය කෙරේ අතීත මානවයාගේ පටන් නූතන මානවයා දක්වා මිනිස් සංහතිය දක්වන කෙළවරක් නැති ලෝලීත්වය කදිමට විවරණය කරන්නකි. කාම සම්භෝගය කෙරේ මිනිසා දක්වන ඇල්ම එක් අතකින් වර්ගයා බෝ කිරීමට සොබා දහම යෙදූ අපූරු උපක්‍රමයකි. රාගයෙන් තොරව ප්‍රේමය පවතින ප්‍රේමයේ ගැඹුරු සුමට තැන් ප්‍රේමය භුක්ති විඳිද්දී හමුවුවත් ප්‍රේමයේ සමස්තය කිසිඳු විටක රාග කොන්දේසියෙන් වියුක්ත නොවේ.
දෑතින් තුරුලු කරගෙන පපුවට ළං කරගෙන හුස්මක් වැටෙන දුරකින් තබාගෙන විඳින්නට ඉඩක් නැතිමුත් හදවතට තුරුලු කරගෙන විඳින දෑ නැතුවාම නොවේදැයි ඔබෙන් අසන්නට මට සිත්වෙයි.

කුමරියක පා සලඹ සැලුණා 
වසා සිටි නෙතු පියන් ඇරුණා 
කුමරි බඹසර අසපුවේ මා 
සමවැදී උන් දැහැන බිඳුණා 

වසා සිටි නෙතු පියන් ඇරුණා... මෙතුවක් නොපිබිඳුණු, නොපිපුණු  රාග සිතුවිලි නැමැති පුෂ්පය එක මොහොතකින් පෙති ඇහැරී සුපිෂ්පිත වූ වගද මේ කියන්නේ?
ඒ රාග කුසුමට පිපෙන්නට හුස්මක් දුන්නේ කුමරියකගේ දෙපයේ ලූ පා සලඹක කිංකිණි ගෙජ්ජි සරය. කුමරියක පා සළඹ සැලුණා යන්නෙන් අදහස් කරන්නේ මෙතුවක් ගැහැනියකගේ ස්පර්ශයෙන් බන්ධනයෙන් වියුක්තව පැවති ඔහුගේ ලෝකයට ගැහැනියක සපැමිණි බවය. මාර්ටින් වික්‍රමසිංහයන් වරෙක ස්ත්‍රී රුව කෙරේ තමා තුළ වූ සංකල්පනාවක් වචන බවට පෙරළා තිබුණේ මෙලෙසින්ය.
ගෑනුන්ගේ ලස්සන මට හරියටම විඳින්න පුළුවන් ගෑනු ඉස්සරහ හැරිලා ඉද්දී නෙවෙයි. ගෑනු පිටුපස හරවලා ඉද්දී. පිටුපස හැරී ගමන් කරද්දී ගෑනු හරි ලස්සනයි. ගෑනුන්ගේ සිරුරේ ලස්සනම අංගය තමා විලුඹ. පිරුණු ළා රෝස පැහැ විලිඹු සමහර ගෑනුන්ට තියෙනවා. ඒ විලිඹු වහලා සපත්තු දාන්න හොඳ නෑ. ඒ විලිඹු පේද්දී කොච්චර ලස්සනද?*

ඒ විලුඹු තලාවට උඩින් පා වළලුකර රිදී පාටින් නැත්නම් ළා රත්තරන් පාටින් පා සලඹක් රැඳුණු විට කොතෙක් සුන්දරදැයි අසමින් හෙළයේ මහා ගත්කරුගේ ස්ත්‍රී වර්ණනාවට ඌන පූරණයක් එක් කරන්නට මට සිත්වෙයි. වාත්ස්‍යානගේ කාම සූත්‍රය සේම ඉන්දියාවේ කාජුරාහෝ ප්‍රාන්තයේ ගලින් නෙලූ ස්ත්‍රී පුරුෂ කාම ගනුදෙනු නිරූපිත කැටයම් ළඟ මොහොතකට මගේ සිත නතර වෙයි. තාක්ෂණය දල්ලක් සෙයින්වත් නොවැඩුණු යුගයක ඒ කාම සූත්‍රයත් කාජුරාහෝ කැටයම් කලාවත් වූ කලී ඒ ඈත යුගයේ නිල් චිත්‍රපටයැයි මට සිතේ. එහෙත් අද නිල් චිත්‍රපටයකින් වෑහෙන ජුගුප්සාජනක හිරිකිත කාමය වෙනුවට ඒ අතීත නිර්මාණ ඉවසිලිවන්ත හා සුන්දරත්වයකින් ඇලළුණු රාග රේඛා ධ්වනිත කළ අයුරකි මට හැඟෙන්නේ.

කුමර බඹසර අසපුවේ මා 
සමවැදී උන් දැහැන බිඳුණා 

කුමර බඹසර යනු යොවුන් වියේ සම්භෝග සුවයෙන් වැළකී සිටීමේ ගුණයයි. අසපුවක තවුස් දම් රකිමින් මෙතුවක් රක්ෂා කළ සීලය ගැහැනියකගේ පැමිණීමෙන් බිඳී යයි. සීලයේ දැහැන බිඳෙන් බිඳ සුනු විසුණු වී යයි. හිමාලයේ තවුස් වඩන සිල්වත් තවුසන්ගේ දැහැන ස්ත්‍රී රුවේ අසිරිය දරන ලියතඹරා මල බිඳ දමන බව කීවේ සාහිත්‍යවේදීන්ය. නුරාවෙන් නොකැළතුණු කුමර බඹසර බිඳින්නේ කවුරැන්ද?

උකුල ළැම හස මලවි කරළිය 

පුළුල් උකුල් යහන, හංසයන් සේ පිබිදුණු හසුන් - පියයුරු යුග්මය, අනංගයාගේ රති සිතුවිලි පොබ කරන සොඳ කරන කරළියක්ම මිස අන් කවරක්ද?

මුවා කළ ඇගෙ දුහුල් සළුතිර 
විවර කෙරුවා මනස් සලෙලුන් 
උමතු වූ දෙනුවන් රැහැන් ඇද 

මනස රාග සිතුවිලි ඇවිලුණු සඳ සල්ලාලයෙකි. ඒ සල්ලාල මනස් තරුණයා නාරි දේහයේ දුහුල් සළු පිළියෙන් මුවා කළ ගැහැනු අඟ පසඟ නිමේෂයකින් උනා දමයි. දැන් ඈ ඔහු මනස් කැඩපත හමුවේ නිරුවත්ය. ඒ නිරුවත් ගැහැනු සිරුරේ උස්පහත් වූ නිම්න තැනිතලා හැඩතල ඔහු මනස් දෙනෙතින් දකියි.

මා අබියස මැවෙන තුසිතය 
සුරන් නැලවූ සුයාමය 

අනග කරළිය මනස් යහන අබිමුවේ මවන්නේ දිව්‍ය ලෝකයකි. ඒ දිව්‍ය සැපත කොතෙක්දැයි ගී රචකයා කියන්නේ මෙලෙසිනි.

සුරන් නැලවූ සුයාමය 

සුරන් යන වචනය සුරනිදු, සුරනාත, සුරනා යන වචනයන්ගෙන් බිඳී ආ වචනයකි. ඒ වචනවලින් හඳුන්වන්නේ දෙවියන්ට අධිපති ශක්‍ර දෙවියන්ය. සුයාමය යනු සදෙව් ලෝකයන්ගෙන් වැඩිම සැප සම්පත් පිරුණු දිව්‍ය ලෝකයයි.
ගැහැනු සිරුරකින් පිරිමියකු විඳින මුල්ම සම්භෝග සුවය දෙව්ලොවේ මහ රජුන් සියලු සැපයන්ගෙන් නලවන සුයාමය හා සමවෙන බව ද මෙයින් කියන්නේ? 

නිසල ජීවන තපෝ වන මැද 
හැඟුම් ගජසෙන් යදම් බිඳ වැද 
තලා සිත කම්පනය කරවයි 
ළපලු තුරුවැල් කැකුළු මල්පෙති 

තපෝ වනය යනු ආරණ්‍යයකි. ශාන්තිදායක නිහඬ ජීවිතය රාග සිතුවිලි විසින් ගිනි අවුලුවාලූයේය. ඒ කවුරුන්ද?

හැඟුම් ගජසෙන් යදම් බිඳ වැද 
තලා සිත කම්පනය කරවයි
ළපළු තුරුවැල් කැකුළු මල් පෙති

ශාන්තිදායක තපෝ වනයේ  මහා වනස්පතීන් ලෙස නැගී සිටි හැඟුම් ගැනද මේ කියන්නේ. නොඑසේනම් හැඟීම් නම් මහා හස්තියා ඉවසිලිවන්ත බවේ යදම් බිඳ දමමින් කඩා වැදුණු බවද මේ කියන්නේ. නොඑසේනම් නිහඬ ජීවිත දැහැන කඩාබිඳ හෙළමින් දම්වැල් කඩාගත් මද කිපුණු මහා හස්තියකු සේ පැමිණි රාග, මෝහ සිතුවිලි කදම්භය සිත නැමති වනාන්තරයේ සෞම්‍ය සිතුවිලි නම් ළපළු තුරුවැල් කැකුළු මල් පෙති පොඩිකර පාගා දමමින් තුන්සිතම කම්පනයෙන් ඇළලුවූ බවද මේ කියන්නේ?

සිදුහත් කුමරුට ගිහි ජීවිතයේ දුක්ඛදායී යථාර්ථය වසං කරනු පිණිස සුදෝවුන් රජු රම්‍ය සුරම්‍ය සුභ යන මාලිගා තනා දුන්නත්, කුමරු ගිහි ගෙය අභිනික්මන් කරනු වැළැක්විය නොහැකි පසුබිමක් උදා විය. එසඳ සිදුහත් කුමරුගේ ගිහි ගෙය හැර යාම නවතන පරමාර්ථයෙන් යෙදූ අවසන් තුරුම්පුව වූයේ ගැහැනියක කෙරේ කුමරු සිත බන්ධනයෙන් ඇළලවීමයි. ඇස්, ඉස්, මස්, ලේ දන්දෙමින් බුද්ධත්වය සාක්ෂාත් කරනු පිණිස අසංඛ්‍යය කල්ප ලක්ෂයක් පාරමිතා පිරෑ රැදු බව කතරේ බුද්ධත්වය ලබන පිං ඇතිව ඉපදුණු අවසන් භවයේ සිදුහත් සිත ගැහැනියකගේ ස්පර්ශයේ ලොබ සිතින් ඇලී ගියේය. රාහුල කුමරු යනු ඒ ඇලීමේ සාක්ෂියයි. ගැහැනියක යනු පිරිමි ආත්මයක් දෙදරවන්නට තරම් බලවත් ශක්තියක් යන්න එවන් ඉතිහාස සාක්ෂි මෙන්ම මෙවන් ගී පද රචනා ද දෙස් දෙයි. එනයින් ඇය අපූර්වතම මායාවක්යැයි මට සිතේ. 

මා හඬවයි බිඳුණු තුසිතය 
සුරන් නැලවූ සුයාමය 

එක්කෝ ඔහු සියලු රති සුව වින්දේ මනසින්ය. නොඑසේනම් හැඟුම්වලට ඉඩ හල ඔහු දෙවඟනක් යැයි සිතා ජීවිතයට ළං කරගත්තේ යක්ෂණියකි. සත්‍ය බුද්ධියේ දොරටු විවර කරන මොහොතක පසුතැවීම, කලකිරීම, වේදනාව හැර ශේෂ වූ යමක් තවත්නම් කොයින්ද?

 

► දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර