රනින් කළ වන් පුළුල්උරයෙන්
හසුන් ළමැදේ මුස කරන්නේ
හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ
සරාගී නුල් නුවන් බඳුනෙන්
නුරා ඉතිරෙන්නේ...
රනින් කළ වන් පුළුල් උරයෙන්
මම ඇවිද යමි.. ඔව් මම ඇවිද යමි. ඉතාලියේ ෆ්ලෝරන්ස් නුවර ඩේවිඩ් ළඟ මම මොහොතකට නතර වෙමි.
ඩේවිඩ්....
අසිරිමත් පිරිමි පෞරුෂයක ඓතිහාසික සාක්ෂිය!
මයිකල් ආන්ජලෝනම් පිරිමියා පිරිමියකුගේ රුව කේශාන්තයේ සිට පාදාන්තය දක්වා සියුම් නහර වැල් පවා මතු කරමින් ආදරයෙන් ජීවය කැවූ අපූරැව....
ස්නේහයෙන් හුස්මක් දුන් අපූරුව....
කැටපෝලයක් උරහිසක් මතට ගත් කවුද මේ ඩේවිඩ්?
කිසිවකුට මරන්නට නොහැකි වූ වධක යෝධයෙක් කැටපෝලයකින් විද මරා දැමූ අභීත ශක්තියේ අසිරිමත් සළකුණකි මේ ඩේවිඩ්!
මයිකල් ආන්ජලෝ ඔබ ගැහැනු වැනුම් පසෙක තබා පිරිමියකුගේ කෙස් ගහක ඇති පිරිමිකම පවා මනරම් ලෙස කැටි කරමින් දැඩි කිරිගරැඬය සියුම් රේඛා දහරක නිමැවුමක් බවට පත් කළේ ඇත්තටම ඔබ සමලිංගිකයෙක්ද?
මයිකල් ආන්ජලෝගෙන් එදවස මාධ්‍යවේදියකු එසේ විචාරන්නට ඇතැයි අද මට සිතේ. මතුවිය යුතු තැනක ළා නිලට මතු වූ නහරයක් පවා පිරිමියකුගේ ශක්තිවන්ත බව, හැඩිදැඩි බව, යටි හිතින් ගැහැනුන් ලොබ බඳින ආදරණීය දඩබ්බරකම, සියුම් හිතුවක්කාරකම පෙන්වන පිරිමිකමේ සළකුණක් බඳුය.
රැළි ගැහුනු කෙස් කළඹ, පටු නොවූ නළල් තලය, රෝම පිරුණු හැඩිදැඩි පපුව, ශක්තිමත් මස්පිඩු සහිත බාහු යුග්මය සහිත සවිමත් දෑත්, දිලිසෙන නියපොතු සහිත පිරුණු දිගු අතැඟිලි, නොනැමුණු සෘජු කොන්ද, වඩා පුළුල් නොවූ උකුල, දිගු ප්‍රාණවත් ශිෂ්ණය, සැකෙවින්ම දේවදාර ගසක් බඳු අසිරිමත්, උසට සරිලන ශක්තිමත් මස්පිඩු සහිත පිරිමි පැහැයෙන් යුත් සිරුර
ඒ මයිකල් ආන්ජලෝ ආත්මීය හුස්මක් දුන් ඩේවිඩ් ප්‍රතිමාවයි. පුරුෂ ශරීරයේ වක ගැහුණු දිගහැරුණු තැන් නිරුවත් පිරිමි සිරුරක් දෑසින් දැක නැති නෑඹුල් ගැහැනු නෙතකට උපරිමයෙන් විඳින්නට දුන් පුරුෂ ශරීරයේ සියලු රිද්මයන් කැටි කළ ඩේවිඩ් ප්‍රතිමාවයි ඒ.
ඒ ඩේවිඩ් ප්‍රතිමාව අබිමුවින් දෑස් මොහොතකට ආපස්සට ගෙන මම නැවතත් වෙනත් මඟකට හැරෙමි.
සංදේශ, සඳැස්, නිසඳැස් කවියන්ගේ, ගී පද රචකයන්ගේ, නාට්‍යවේදීන්ගේ, සිනමාවේදීන්ගේ, සිත්තරුන්ගේ, නවකතා කෙටි කතාකරුවන්ගේ පන්හිඳට, චින්තනයට, පරිකල්පනයට ගැහැනිය තරම් ප්‍රස්තුත වූ වස්තු බීජ දායාද කළ දෙයක් තවත් ඇත්දැයි සිතෙන තරමට ඇය ඒ සියලු කලා අංගයන්ට නිමිත්තක් වූවාය. වර්ණනාවටත්, ගැරහීමටත් ඇය අතීත නිර්මාණවේදියාගේ පටන් නූතන නිර්මාණවේදියා දක්වා වපසරිය තුළ අනන්ත වාරයක් ප්‍රස්තුතයට පාත්‍ර වූවාය.
සීගිරි ගල මතුපිට අනුරාගී සුභාවිත සිතුවිලි වර්ණ හා රේඛා කළඹක් මත මැවුණේද ගැහැනු රූ සමුදායක්ම මිස අන් කවරක්ද?
නිල් කටරොළු මලක උපමාව දක්වා ගැහැනු සිරැරුරේ හැම ඉන්ද්‍රියක්ම, හැම භාව හාව ලීලාවක්ම සෞන්දර්යාත්මකව විවරණය කරන්නට සිතුවිලි මෙහෙයවූ නිර්මාණවේදීන්ට පිරිමි සිරුරක අසිරිමත් බව වර්ණනා කරන්නට සිතුණේනම් ඒ ඉතා කලාතුරකින්යැයි සිතෙන තරම්ය. නිර්මාණවේදීන් වැඩි පිරිස පුරුෂ පක්ෂයේ වීම ඊට හේතු වූවාදැයි සිතෙන්නේ සොබාදහම සමලිංගිකයන්ට වඩා විරුද්ධ ලිංගිකයන් කෙරේ බැඳීම ආකර්ෂණය ඇතිවන අයුරින් මනුෂ්‍ය සන්තානය නිර්මාණය කර ඇති නිසාදැයි තවත් වරෙක සිතේ.
පිරිමි සිරුරේ අසිරිය වැනූ ගී කලාතුරකින්වත් හමු නොවෙතැයි සිතෙන පසුබිමෙක මහගමසේකරයන් විසින් රචිත ඩබ්ලිව්. ඩී. අමරදේවයන් විසින් සංගීතය මුහුකොට ගැයූ වජිරා - චිත්‍රසේන නිර්මාණය කළ නල දමයන්ති මුද්‍රා නාට්‍යයේ එන ඈත කඳුකර හිමව් අරණේ ගීතය පිරිමි රුව වැනූ එකම ගීතයදැයි තවත් වරෙක මට සිතේ.
ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ළපලු හෙවණේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ....
ඈත කඳුකර හිමව් අරණේ..
සීත චන්දන ළපලු හෙවණේ
සඳුන් ගස් පිරුණු සිහිල දනවන ඈත කඳුකර හිමව් අරණේ සිට හමා එන සිසිලස තුරුලු කරගත් විඩාපත් නොවූ සුළං රැල්ලක් නෙත් වසා අසන සඳ මියුරු සරයකි. ඒ මියුරු සරයේ කැටි වී එතී නිබඳවම පාව එන්නේ ඔහුගෙ නාමය වේ...
ජීවිතයට ආදරණීයම නාමය වූ සමීපතම නාමය වූ නාමය අනේක වාරයක් පාසා දනවන්නේ සිතත්, සිරුරත් නිවාලන සිසිලසකි. ඒ නාමය සොඳුරු සංධ්වනියක් වූ සඳ සුළඟේ සර සරය ගැඹුරේ පවා ඇසෙන්නේ ඒ නමය. සමස්ත ජීවිතයම අධ්‍යාත්මික ප්‍රේමය තුළ කේන්ද්‍රගත වූ සඳ ඒ ප්‍රේමය තරම් මනරම්යැයි හැඟෙන දෙයක් ලොව තවත් නැති තරම්යැයි සිතෙන තරම්ය.
නැපෝලියන් බොනපාට් ලෝකයටම මහා රණශූරයෙකි. අධිරාජ්‍යවාදී සෙන්පතියෙකි. ඒත් ඒ සෙන්පතියා තම ආදරවන්තිය වූ ජොසපින් ළඟ ප්‍රේමයේ අසිරිය ඉල්ලා දණ ගැසූ පුංචි දරුවෙකි.
ඇය වෙනුවෙන් ලියූ හසුන්පත්වල ඔහු නිරන්තර ලියූ දෙයක් වූයේ මගේ ආදරණීය ජොසපින් ඔබ නොදැක එක් දවසක් මට ගෙවන්නට බැරි බවය.
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ....
ඒ සුළඟත් ඇය සිඹිතැයි සිතේ...
සැඳැල්ලේ මිණි තලාවේ
තාරකා පිපි වෙලාවේ
ළඳ ලියන්නේ සීන අතරේ
මැවෙයි ඒ රූපේ.....
තාරකා පිපුණ ගගනත මැණික් තලාවකි. ඒ අහස දිලිසෙයි. සිහින දකින්නට සිහින වියන්නට ඒ තරු අහස බල කරයි. ඒ තරු අහස යට හීන පුරන තුරුණු ලියන්ගේ සිහින අතරේ රජුන් වෙස් ගත් පිරිමි රූ හැර රජයන සිහිනයක් නැති තරම්ය...
රජකු වන් පිරිමියකු ගැහැනියකගේ සිහිනයකි. රජකු යන්න මා දෙන නිර්වචනය රජ මැදුරු, රජ ඔටුණු, මුතු මැණික් බලසෙන්, පිරිවර පිරුණු, කඩු කිණිසි අතින් ගත් රජෙක් නොවේ. සැබෑ රජකු ඇත්තේ ඔටුන්න තුළ නොව පිරිමිකම තුළ යැයි මම විශ්වාස කරමි. කුදු නොගැසුණු කශේරැකාව තුළ යැයි මම විශ්වාස කරමි. ඕනෑම සියුම් රේඛාවක් මතු කළ හැකි, රළු වෙන තැන රළු වෙන මෘදු සිනිදු විය යුතු තැන සංවේදී වෙන, ශක්තියේ අසිරියක් බඳු කළු ගලක් වැනි හදවතක් ඇති පිරිමිකම තුළ යැයි මම විශ්වාස කරමි.
ස්ත්‍රී රුව තුළ පංච කල්‍යාණයට හිමිවන සියලු තැන පිරිමි රුව තුළ ශක්තියටත්, තේජසටත්, ප්‍රඥාවටත් හිමිවෙයි. ඒ පිරිමි රූ සෑම ගැහැනියක්ම මනසින් විඳියි. ඒ අසිරිමත් පිරිමිකම ගැන සමාජය ඉදිරියේ කතා නොකළත් පුළුල් සවිමත් උරහිසක හිස හොවාගෙන, පුළුල් පිරිමි ළය මඬලක හිස හංඟාගෙන, ඝන රෝම තලාවක ඇඟිලි තුඩු අගින් දැවටි දැවටී සුව සොයන්නට අකමැති ගැහැනියක සොබාදහම නිර්මාණය කර ඇත්නම් ඒ ඉතා කලාතුරකිනි.
පිරිමියකුගේ ඝන රෝම පිරුණු පළල් හද මඬල ශක්තිමත් මස් පිඬු සහිත උරහිස් තල ඔහුගේ ශක්තිමත් සැබෑ පෞරුෂය පිළිබඳ සංකේතාත්මක ප්‍රකාශනයක් වැන්න. රාග සිතුම් අවුළුවන දේවදාර ගසක් සදිසි පිරිමියකුට මටසිළුටු දඩබ්බරකම්, ආදරණීය හිතුවක්කාරකම්, සිත අවුස්සන සංවේදීකම් සමඟ ජීවිතය පිළිබඳ දැක්මක්, අවබෝධයක්, ප්‍රඥාවක්, ඉසුරුමත් බවක් යන වටිනාකම් ද එකතු වූ විට එවන් පිරිමියකු කෙරේ අවසඟව යන ගැහැනුන් සොබාදහම නිර්මාණය කළානම් එය සොබාදහමේ අත්වැරදීමක්, අතපසුවීමක් මිස නියතයක් නොවේ.
රනින් කළ වන පුළුල් උරයෙන්
රත්තරනින් වාත්තු කළා වැනි පුළුල් උරහිස් හිමි සොඳුර නුඹ ළඟ මා......
හසුන් ළමැදේ මුසු කරන්නේ
හසුන් යනු ගැහැනියකගේ ළය මඬලයි. පිරිමි රාගය උලුප්පන පියයුරුයි. ඒ නිරුවත් පියයුරු දැඩි පිරිමි පපුවක සතපවද්දී පිරිමි පපුවකට තුරුල් වී ස්පර්ශයේ උණුහුම විඳිද්දී දෑසින් නොදුටු, දෙපතුලට හමුනොවූ සුයාමය... සදෙව් ලෝවලින් සැප පිරුණු දෙව්ලොව... සුයාමය එතැනම මිස කොතැනකද?
හදේ මෝරන ආදරේ...
ආදරය සියලු බැමි රේඛා සීමා බිඳගෙන වාං දමයි. ආදරයේ උල්පත්වලට සමාන්තරව රාගයේ උල්පත් ද නැගී ගලා යයි....
සඳේ සොමි ගුණ යා කෙරේ...
පුරසඳින් වෑහෙන කිරණ අනුරාග සිතුවිලි පොබ කරයි. සඳේ සිසිලස සඳේ සොඳුරු බව සොඳුර ආදරය හා යාවෙයි.
සරාගි නිල් නුවන් බඳුනෙන්
සරාගය..... ස + රාගය... රාගයේ උපරිමය..... රාගයේ සොඳුරුතම හමුව එහි උච්චතමයැයි... කියතත් රාගයේ උච්චතමය එහි කෙළවරනම්.. උපරිම තත්ත්පරයේ අහවර නිමේෂයනම්.... ඒ උච්චතමයට වඩා රාගය තුළ නිමාවට පෙර සැරිසරන සෑම තත්ත්පරයක්ම වඩා සොඳුරැ නොවෙත්ද? ස්පර්ශයෙන් රාගයේ විදුලි දහරා සරුරේ සියලු අහුමුළු දවන්නට පෙර නිල් නුවන් ගැඹුරේ බඳුනතින්
නුරා ඉතිරෙන්නේ
රාගය උතුරා දෝර ගලා යද්දී...
නැවතත් ......... දෙපතුලින් පය නොතැබූ දෑසට හමුනොවූ සදෙව් ලොව සැප පිරුණු සුයාමය එතැනය....
ගැහැනියකට අසිරිමත් පිරිමියකු ළඟ දැනෙන ආදරය, හව්හරණ, රැකවරණය ළඟ සුයාමයක් මිස අන් කවරක් මැෙවනු කෙළෙසද?
► දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර