2018 මාර්තු 24 වන සෙනසුරාදා

නිවේදකයගෙන් අමුතු රහසක්

 2018 මාර්තු 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 126

පහුගිය දවසක අලුත් චිත්‍රපටයක වැඩ කටයුතු ආරම්භ වුණා. මුහුරත් උත්සවය පැවැත්වුණේ කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක. ඒක නිෂ්පාදනය කරන්නේ කාන්තාවන් දෙන්නෙක් වීමත් සුවිශේෂී කාරණයක්.
ඔන්න දැන් නැකත් වෙලාව කිට්ටු වීගෙන එනවා. නිෂ්පාදකවරියන් දෙදෙනාම ඉටිපන්දම් අල්ලගෙන නියමිත වෙලාව එනකම් බලන් ඉන්නවා පොල් තෙල් පහන දල්වන්නට. තව තත්පර තිහයි.

උත්සවය මෙහෙයවපු නිවේදකයා ඒ නිෂ්පාදකවරියන් දෙදෙනාගේ කනට කිට්ටු කරලා යමක් කියනවා.

වැඩසටහන ඉවර වුණාට පස්සේ තමයි කෙනෙක් අර නිවේදකයාගෙන් ඇහුවේ මොනවද ඒ දෙන්නගේ කනට කරලා කිව්වේ කියලා
අහ් ඒකද? දෙන්නම කාන්තා පක්ෂයෙන් නිසා මම කිව්වා දෙන්නටම එකම දේ හිතන්න කියලා. මොකද මේක සුභ කටයුත්තක්නේ.

 

ටේක් ටූ එකක් නැද්ද?

බොහෝ වෙලාවට කලා ලෝකයේ පැවැත්වෙන උත්සවවලදී ආරාධනා පත්‍රයේ සඳහන් කරන්නේ හරි වෙලාව නෙවෙයි. මොකද නැකත තියෙන්නේ 10ට කියලා දැම්මොත් කට්ටිය එන්නේ 11ට නිසා. ඒත් මේකෙන් අසාධාරණයක් වෙන්නේ වෙලාවට වැඩ කරන අයට තමයි. 

මෑතකදී ඒ වගේ මුහුරත් උත්සවයක් තිබුණා බත්තරමුල්ල පැත්තෙ.
බොහෝ අය වෙලාවට ආවා. නැකතට පොල් තෙල් පහන් දල්වලා, කතා දෙක තුනකුත් පවත්වලා ඉවර වුණාම තමයි ඒකේ ප්‍රධාන නිළිය ආවේ.

අයියෝ මාව ට්‍රැෆික් එකට අහු වුණානේ අයියේ..
දැන් ඉතින් වැඩේ ඉවරයිනේ. නිෂ්පාදක කිව්වලු.
කමක් නෑ. අහලා බලන්නකෝ අපිට තව ටේක් එකකට යන්න පුළුවන්නේ ඇය කිව්වලු.

 

හෙළිකොප්ටරේ බාන්න තැනක් හෙව්වලු

කලා ක්ෂේත්‍රයේ කාගෙත් ආදරයට පාත්‍ර වුණු ශිල්පිනියක් ඇගේ උපන් දිනය සමරන්නට ඇගේ ළඟම හිත මිතුරන්ට ආරාධනා කළාලු. කවුරුත් දැන් ඇවිත් හිටියට, අර ශිල්පිනියගේ හොඳම යාළුවා එනකම් කේක් එක නොකපා බලන් ඉන්නවලු.
අනේ එයා මඟ එනවලු. තව චුට්ට වෙලාවක් ඉමු හොඳේ. ඇය යාළුවන්ගෙන් ඉල්ලීමක් කළාලු. ඒත් විනාඩි  පහ, හය, දහය, විස්ස පහුවෙනවා. අරයා නැහැ.

ඔන්න ඒ  පාර ඒ ගෙවල් උඩින් හෙළිකොප්ටරයක් යන සද්දයක් ඇහිලා කට්ටිය කිව්වලු අන්න දැන් එනවා. පරක්කු නිසා හෙළිකොප්ටරෙන් එනවා ඇති කියලා.
ඒත් යාළුවා තාම නැහැ. කවුදෝ කෙනෙක් එයාට කෝල් කරලා හෙලිකොප්ටරේ කතාවත් කිව්වලු. ඔන්න පැය භාගයක් විතර ගියාට පස්සේ යාළුවා එනවලු ලොකු හිනාවකුත් දාගෙන.
හරි ෂෝක් එන වෙලාව. අපි කොච්චර වෙලා බලන් හිටියද? එක් ශිල්පියෙක් කිව්වලු.

අනේ සොරි වෙන්න ඕනේ. මට හෙළිකොප්ටරේ බාන්න හරි තැනක් හොයාගන්න සෑහෙන වෙලාවක් ගියානේ.. ඔහු ඇඟට පතට නොදැනී කිව්වලු.

 

තනිකඩ නළු මල්ලිට තනිකම් දෝෂ

සමහර අයට තියෙනවා තනියම කිසිම දෙයක් කරන්න බැරි ලෙඩක්. ෂොපිං ගියත් යාළුවෙක් එක්ක යන්න ඕනේ. චිත්‍රපටයක් බලන්න ගියත් එහෙමයි. කම්මැලිකම යන්නත් එක්කලු එහෙම කරන්නේ.
තව සමහරක් ඉන්නවා පාටියකට, වෙඩිං එකකට තනියෙන් යන්න බැරි. එයාට විතරක් ආරාධනා කරලා තියෙනවනම් තනියෙන් යන්නම එපැයි.

ඔන්න ඒ වගේ වැඩක් ළඟදි වෙලා තියෙනවා. තනිකඩ තරුණ නළුවෙකුට කලා ලොවේ උත්සවේකට ආරාධනා කරලා. යන්නම ඕනෙ එකක් නිසා ඔහු ගිහින් තියෙනවා. තරු පහේ හෝටලේක තමයි උත්සවේ පවත්වලා තියෙන්නේ.
ඔහු දැන් හෝටලේ පාක් එකේ වාහනේ නවත්තලා, එයාගේ යාළුවෝ එක එක්කෙනාට කෝල් කරනවලු ඒ අය අර පාටියේ ඉන්නවනම් එළියට ඇවිත් මෙයත් එක්ක ඇතුළට යන්න.

 

කකුලෙන් උඩට වැඩේ ගිහින්ලු

සිනමාවට සම්බන්ධ උත්සවයකට විවිධ අංශයන් නියෝජනය කරන කලා ශිල්පීන් ශිල්පිනියන් සහභාගී වෙලා හිටියා. තරුණ කැමරා ශිල්පියෙකුත් ඔහුගේ පෙම්වතියත් එක්ක ඒ උත්සවේට ඇවිත් හිටියා. එතනට ඇවිත් හිටිය ජනප්‍රිය තරුණ අධ්‍යක්ෂවරයකුට මේ කැමරා ශිල්පියා ඔහුගේ පෙම්වතිය හඳුන්වලා දුන්නා.

අයියා මේ මගේ ගර්ල් ප්‍රියන්ති. ඔහු ලජ්ජාවෙන් කිව්වා.
මොකා? උඹ ගිය සතියේ මට ගර්ල් කියලා හඳුන්වලා දුන්නෙ මෙයාව නෙමෙයිනේ?

කෙල්ලගේ මූණ රතු වුණා. ඒත් අවට සිටි හැමෝම ඒක විහිළුවක් කියලා දැනගත්තා.
මිනිත්තු කීපයකින් අර කෙල්ල ළඟට ඇවිත් අධ්‍යක්ෂකවරයා මෙහෙම කිව්වා.

ඔය වගේ කතා ගණන් ගන්න එපා නංගී. ඕවා මෙතනින් උඩට ගන්න එපා. කියලා කකුල පෙන්නුවලු.
අනේ අයියේ ගන්න දෙයක් නැහැ. එතනින් උඩට ගිහින් තියෙන්නේ. කෙල්ල එහෙම කිව්වම හැමෝටම හිනා ගියාලු. 

 

► Text - Mithra