2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

දැහැන

 2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 66

නත්තල් ඇවිත්. හෙට නත්තල්. කිතුනුවෙක් ද, බොදුනුවෙක් ද, මුසල්මානුවෙක් ද භේදයක් නැතුව නත්තල විඳගන්න මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. ඒ අසිරිමත් සිතුවිල්ලම හරි සතුටක්. කොතනකදී හරි මිනිස්සුන්ට හිතන්න පුළුවන්නම් අපි හැමෝම එකම කුලයක එකම පාටක මිනිස්සු කියලා ඒ සිතුවිල්ලම මොනතරම් චමත්කාරයක්ද? එහෙම වුණානම් මේ ලෝකේ කොතනකදීවත් අපට කඳුළ මුණගැහෙන එකක් නෑ. යුද ගැටුම් විරසකකම් මැද්දේ අන්තවාදය මුණගැසෙන එකක් නෑ. මට හිතෙන්නේ යටි හිතින් අපි හැමෝම එහෙව් ලෝකයක් ප්‍රාර්ථනා කරනවා. ඉල්ලනවා. අයදිනවා. ඒත් ඒ ලෝකය අදටත් අපට සිහිනයක්. කෝ එහෙව් ලෝකයක්. කෝ අපට පියාපතක් වන් ජීවිතයක්. අපි තාම හොයනවා. ඔව් අපි තාම හොයනවා.

කිතුනු පල්ලියකට ජීවිතේ එක දවසකදීවත් ගිහින් නැත්නම් මේ සැරේ නත්තලට කිතුනු පල්ලියකට යන්න එහි  තියන ගුප්ත සුන්දරත්වය විඳගන්න. ඔයා මනසින් නිර්මාණය කරගන්න දෙවි කෙනෙකුට ආදරය කරන්න. ඒ දෙවියන් එක්ක කතා කරන්න. සම්ප්‍රදායන් ඔළුවේ පුරවගත්ත  සිතුවිලිවලට නිදහසක් දෙන්න. ඉගිල්ලෙන්න අලුත් අත්තටු දෙකක් ඉල්ලගන්න. කාගෙන්වත් නෙවෙයි. ඔයා ඔයාගෙන්ම අත්තටු දෙකක් ඉල්ලා ගන්න. අහසක් කවදාක හෝ හමුවේවී. නිසැකයෙන්ම. යථාර්ථය තුළ ජීවත්වෙන අතරේ හීනත් දකින්න. ඒ හීන ජීවිතය වෙනුවෙන් අලුත් හුස්මක් අරන් එනවා. ජීවත් වෙන්න අපිට භෞතික සාධක වගේම අධ්‍යාත්මික සාධකත් අත්‍යවශ්‍ය වෙනවා. එතකොට තමා ජීවිතය සමබර වෙන්නේ. මට හිතෙන්නේ වෙන මොනවා තිබුණත් ආදරය නිදහස සහ සිහින නැත්නම් අපිට ජීවත් වෙනවා කියන එක දැනෙන්නේ නෑ. ජීවත් වෙන බව නොදැනෙන හැමතැනකදීම අපි විඳවනවා. හුස්මක් වැටුණු පලියට ඒක ජීවත්වීමක් වෙන්නේ නෑ.

නත්තල හුඟක් දේවල් නිහඬවම කියා දෙනවා. ඉතින් අපි ඉගෙන ගනිමු. දෙවියන් වහන්සේ කතා කරනවා. තමන්ගේ ඇතුළු හදවතටම සවන් යොමන්න. ඔයාට ඇහෙයි දෙවියන් වහන්සේගේ හඬ. ආදරය ගැන, පරිත්‍යාගය ගැන, බෙදා හදා ගැනීම ගැන ඔබ කවදාවත් නොඇසූ දේවල් කවුරුත් ඔයාට නොකියූ දේවල් ඔයා ඉගෙන ගනීවි. ඔයා අලුත් විදිහකට හිතන්න ඔයාටත් නොදැනී ඔයා සිරවී සිටි හිර අඩස්සියකින් නිදහස් වුණා වගේ හැඟීමක් ඔයාට දැනේවී. ජීවිතය අඳුර ගන්න පුළුවන් ඔයා ඔයාවම වෙච්ච දවසක විතරයි. ඔයාගේ ජීවිතයේ පාලකයා ඔයාම වෙච්ච දවසක විතරයි. ඒ පාලකයා සොඳුරැ ආඥාදායකයෙක් බවට පත්කරගන්න එක ඔයාට අයිති දෙයක්. ඒ යුතුකම ඔයා ඔයා වෙනුවෙන් හරියටම ඉටු කරගත්තොත් ඔයාට ඔයා වෙනුවෙන් ලොකු සතුටක් හරි හම්බ කරගන්නත් හැකි වේවී. 

I Saara