ප්රසංග වේදිකාවට නැතිවම බැරි ගායිකාවක් තමයි ශානිකා වනිගසේකර කියන්නේ. හැබැයි ඉතින් කවුරු කවුරුත් ශානිකාව අදටත් හඳුනන්නේ බේබි ශානිකා කියලයි. පුංචි කාලේදී ප්රසංග වේදිකාව උඩට “බේබි ශානිකා කියලා නමින් ශානිකාව නැංඟුවාට අදටත් ශානිකාව නංවන්න වෙලා තියෙන්නනේ බේබි ශානිකා කියලම තමයි. ඉතින්... පුංචි කාලේ ප්රසංග වේදිකාවේ හිටපු ශානිකාට වෙච්චි අපූරු සිදුවීම් කිහිපයක් මෙවර Top Story විශේෂාංගයෙන්...
මේක වෙලා තියෙන්නේ නම් ශානිකාගේ බේබි කෑල්ලෙන්ම තමයි. දැන් ශානිකා එක්ක ප්රසංගවලට ශානිකාගේ සැමියා තනිනොතනියට ආවත් බේබි ශානිකාගේ ඒ කාලේ ශානිකා එක්ක තනියට ඇවිත් තියෙන්නේ ශානිකාගේ තාත්තා. හැබැයි ශානිකාගේ තාත්තාව කලා ක්ෂේත්රයේ හැමෝම හඳුනනවා. විශේෂයෙන් ප්රසංගවලට සහභාගිවෙන අය ශානිකාට වගේම ඇගේ තාත්තා එක්කත් හිතවත්.
“ඔන්න මම තාත්තා එක්ක ප්රසංගයකට සහභාගි වුණා. ඒක තිබුණේ පිටරට. දැන් ප්රසංගය ඉවරවෙලා හොටෙල් එකට ආවා. මායි තාත්තයි හිටියේ හොටෙල් එකේ පහළ කාමරේක. තව අංකල්ලා දෙන්නෙක් හොටොල් එකේ උඩ කාමරේක හිටියා. (ඒ දෙන්නම කලා ක්ෂේත්රයේ කවුරු කවුරුත් හඳුනන කලාකරුවන් දෙන්නෙක්. නම් පල නොකරන්නේ අපිට හොඳ නැති නිසයි...) ඒ අංකල්ලා දෙන්නා තාත්තා එක්ක හරි එකතුයි. තාත්තා ආවේ රූම් එකේ ඉඳන් උඩ කාමරේට කෝල් එකක් ගන්න...
“මචං... මුකුත් කන්න එහෙම නැද්ද...?
“තාත්තා එක අංකල් කෙනෙක්ගෙන් ඇහුවා...
“ආ... තියෙනවා... ඇපල් තියෙනවා...
ඔන්න ඉතින්... එක අංකල් කෙනෙක් තාත්තාට කිව්වා...
“හිටපන් මම එන්නම්...
එහෙම කියලා තාත්තා උඩට යන්න හැදුවා විතරයි තාත්තාට තව කෝල් එකක් ආවා. ඉතින් තාත්තා මට කිව්වා “උඩ කාමරේට ගිහින්... අංකල් ඇපල් දෙයි අරන් එන්න කියලා...*
ඉතින් මාත් උඩට ගියා. අංකල්ලා දෙන්නා හිටපු කාමරේ දොරත් බාගෙට වහලා. මම හෙමීට තට්ටු කළා. එක අංකල් කෙනෙක් දොර ඇරියා. එයා හිටියේ දොර ළඟ අයන් බෝඩ් එකේ තියාගෙන ඇඳුම් අයන් කර කර... මාව දැකපු අංකල් මම දිහා බලාගෙනම හිටියා...
“අංකල් කෝ...
මම ඒ අංකල්ගෙන් ඇහුවා.
“ඇතුළට යන්න...
අංකල් කිව්වේ හරිම තෝන්තුවෙන් වගේ.
මම ඇතුළට ගියා විතරයි... මෙන්න අර තාත්තාට ඇපල් දෙන්නම් එන්න කියපු අංකල් ඇඟේ නූල් පොටක්වත් නැතිව දෙකට නැමිලා හිටියා.
“ආ... මේ තියෙන්නේ ඇපල්... කියලා ඔළුව ඉස්සුවා.
මාව දැකපු ඒ අංකල් මට බයවෙලා හයියෙන් කෑ ගැහුවා. ඒ අංකල් දැකපු මම බයවෙලා තවත් හයියෙන් කෑ ගැහුවා.
අන්තිමට අපි දෙන්නාගේ කෑ ගැහිල්ලට අනික් අංකල් මහ හයියෙන් කෑ ගැහුවා. අන්තිමට ශානිකා යූ ටර්න් ගහලා පහළට දුවන් ඇවිත්.
අදටත් ඒ අංකල්ව නම් ශානිකා මුණගැහෙනවා. හැබැයි ඇපල් දෙන්න කතා කරන්නේනම් නෑ...
ඔන්න ශානිකා කේක් කපපු සිද්ධියත් අහගන්නකෝ:-
මේක වෙලාතියෙන්නේ එක්තරා කම්පැණි පාටි එකක. ඒකේ තිබුණු ප්රසංගයට සංගීතය සපයලා තියෙන්නේ ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමයි. ඔන්න ඉතින් ශානිකාගේ නම කතා කරලා. ශානිකාත් දන්නවනේ ඉතින්... අද බේබි හිනාවෙන්ම ස්ටේජ් එකට නැග්ගා. නඟින තැනම පඩිපෙල ළඟ ලොකු ලස්සන කේක් එකක් තියෙනවා ශානිකාත් දැකලා. ඒක දිහාත් බලලා. කෙලත් එහෙම ගිලලා ශානිකා මයික් එකත් අතට අරන් පළවෙනි සින්දුව කිව්වා. හැබැයි ඇහැ යන්නේනම් කේක් එකට. එතනම තමයි ෆ්ලෑෂ් බෑග් බේස් ගිටාර් ගහන සෑම් ඉඳලා තියෙන්නේ.
පළවෙනි සින්දුව කියවලා ඉවර වුණා විතරයි... නිවේදනය කරන ජගත් නාත්තන්ඩිය ස්ටේජ් එකට නැගලා ශානිකාගේ මයික් එක අරගෙන
“ශානිකා... අද විශේෂ දවසක්... එන්න මාත් එකක් කියලා අර කේක් එක ළඟට එක්කගෙන ගියා... කේක් එකත් ගිටාර් එකත්... මටත් ඉතින් සිහියක් කටක් නෑ... මම එකපාරටම
“හැපි බර්ත් ඩේ සෑම්... කියලා සෑම්ව බදාගෙන විෂ් කළා. සෑම්ට ෆුල් හොල්මන්. සෑම් “තෑන්ක් යූ... තෑන්ක් යූ... ශානිකා... කියනවා. හැබැයි බෑන්ඩ් එකේ අනික් එවුන් හිනාවෙද්දී කම්පැණියේ අය පුදුම වෙලා බලාගෙන ඉන්නවා.
“ශානිකා... ඇයි සෑම්ට විෂ් කළේ... කියලා ජගත් මගෙන් ඇහුවා.
“අද සෑම්ගේ බර්ත් ඩේ එකනේ.
“ආ... ඒකත් එහෙමද... මේ කේක් එක තමයි මේ කම්පැණි එකේ ඇන්වසරි කේක් එක... කියලා ජගත් කියද්දී මට කරගන්න දෙයක් නෑ... මට ලජ්ජාවේ බෑ... දාඩියත් බේරෙනවා. ඒත්... අනිත් අයට පෙන්නන්නත් බැහැනේ...
“නෑ... මම දන්නවා මේක ඇනිවසරි කේක් එක කියලා... ඒත් මම විෂ් කළේ එහෙම විෂ් නොකර කේක් කන්න බැරි නිසයි. ළඟ හිටපු කෙනා මෙයා. මම මෙයාට විෂ් කළා. කියලා මම කිව්වා.
හැබැයි බලාගෙන යද්දී ශානිකාට අකරතැබ්බ වෙන්නෙම කෑමත් එක්කම තමයි. අදටත් ශානිකාට ඇපල් කද්දී කේක් කද්දි මේ සිදුවීම් මතක් වෙනවලු.
► Text - Dishani / Pic - Sumudu