සංවේදී සිනමා දර්ශනවලට පෙනී සිටිමින් කඳුළු සැලුවත් බොලිවුඩයේ නළු නිළියන් යනු සීනිබෝල චරිත යන්න අපි බොහෝ දෙනෙක්ගේ සිතුවිල්ලයි. විටෙක කඳුළු සලන ඔවුහු තවත් විටෙක මහ පාරේ, මල් වතු අස්සේ අඟර රුඟුම් දක්වමින් හැසිරෙන්නේ වෙනස්ම ලෝකයකින් ආව ජීවි පිරිසක් ලෙසිනි. එහෙත් එසේ සිනමා රූප හරහා අපව ෆැන්ටසියකට කැඳවාගෙන යන ඔවුහු සමහරෙක් සැබෑ ජීවිතයේදීත් කඳුළ සිනහව දැනෙන සංවේදී හදවත් ඇත්තවුන් බව පසුගියදා ඔප්පු විය. ඒ බොලිවුඩය මෙන්ම හොලිවුඩයද දිනූ සුරූපි ප්‍රියංකා චොප්රාගේ ජොර්දානු සංචාරය තුළිනි.
තම ජෝර්දානු සංචාරයේදී ඇය වැඩි ඉඩක් වෙන්කර තිබුණේ සිරියානු සරණාගත කඳවුරක වෙසෙන කුඩා දරු දැරියන් හා කාලය ගතකිරීමටය. එහිදී ඈට ඔමයිමා, සෙබා, ෂයිමා, හනීන්, මාරියා, වාෆා, අයත් සහ මාරම් නම් විවිධ වයස් මට්ටම්වල පසු වූ සිරියානු දැරියන් කිහිපදෙනෙකු සමඟම කතාබස් කරන්නටද අවස්ථාව ලැබිණ.
මේ සියලුදෙනාම සිරියානු යුද්ධය තම තමන්ගේ ගම් පළාත් වෙළාගනිද්දී ජීවිතයට ආදරෙන් රටින් පිටවූ දැරියන්ය. ඔමයිමා එසේ පලා එද්දී, තම පොත්පත් පවා අමතක කරමින් රැගෙනවුත් තිබුණේ තමා සිටි නිවසේ පස් ටිකක් සහ ගල් කැබලි කිහිපයකි. මව්බිම හැරදා යද්දී නැවත මව්බිම සිහි කිරීම ට ඈ සතුව තිබූ එකම වස්තුව වූයේ එයයි.
සෙබා කියන්නේ ඊටත් වඩා සංවේදී කතාවකි. කොතෙකුත් දුෂ්කරතා තිබුණද සරණාගත කඳවුරේ සිටින සෙබා දිනපතා පාසල් යන්නීය. අපි ආපහු අපේ රටට ගිහින් ආපහු රට හදන්න ඕනෙ. එහෙම කරන්න නම් හොඳට ඉගෙන ගන්න ඕනෙ ඈ කියන්නේ අසන්නවුන්ගේ නෙත් කඳුළින් පුරවමිනි. මේ කුඩා දැරිවියන් සතුව තමන්ගේ යැයි කියා ඇත්තේ බොහොම අතළොස්සක් දෑ පමණි. තමන් බැලීමට පැමිණ, තමන් හා සුහදව කතාබහ කළ මේ බොලිවුඩ් තාරකාවට ජෝර්දානයේ සරණාගත කඳවුරක දිවිගෙවෙන තමන් හා සිදුවූ මේ හමුවීම කිසිදා අමතක නොවන්නට ඔමයිමා සහ සෙබා තම අත රැඳි වළලු ප්‍රියංකාට දුන්හ.
“මේ දරුවන් මුණගැහෙන තුරු මම හිතාගෙන හිටියේ යුද්ධය කියන්නෙ සදාකාලික දෙයක්. අපි කාටවත් ඒක නවත්තන්න බැහැ කියලයි. ඒත් යුද්ධයට මැදිවෙලා හිටියත් මේ පුංචි දරුවන්ගෙ හිත්වලින් යුද්ධයක් නැති ලෝකයක් ගැන තියෙන බලාපොරොත්තු නැතිවෙලා ගිහින් නැහැ. තමන්ගෙ රටට ආපහු ගිහින් තමන්ගේ යාළු මිත්‍රයොත් එක්ක ආපහු පාසල් යන්න ඒ අය හීන මවනවා. තවත් අය යුද්ධයෙන් විනාශ වෙච්ච තමන්ගෙ රට ආපහු ගොඩනගන විදිහ ගැන හිතනවා. ඒක හරිම සංවේදී කතාවක්” ප්‍රියංකා කියන්නේ වරින්වර තම දෑසින් නැගෙන කඳුළු පිසදමමිනි.
මේ දරු දැරියන්ගෙන් බොහෝ දෙනෙකුගේ ජීවිතයෙන් අඩකටත් වඩා කාලය ගෙවී ඇත්තේ සරණාගත කඳවුර තුළය. එනිසාම කඳවුරකින් පිටත ජීවිතය කෙබන්දක් දැයි ඔවුනට කිසිදු අදහසක් නැත.
සටාරි නම් එම කඳවුර තුළ ගත කළ සෑම මිනිත්තුවක්ම පාහේ ප්‍රියංකා වෙන්කර තිබුණේ කාගේවත් බලලෝභී යුද්ධයක් නිසා දුකට පත්ව සිටින මේ දරු දැරියන්ගේ මුහුණුවලට සිනහව ගෙන ඒමටය. ඔවුහු එකට චිත්‍ර ඇන්දාහ. එකට ගී ගැයූහ. පාපන්දු සෙල්ලම් කළහ. එකිනෙකාගේ දුක සතුට බෙදාගත්හ.
මේ සියල්ල ප්‍රියංකාගේ ට්විටර් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් හරහා බොලිවුඩය හෝ සිරියාව පමණක් නොව මුළු ලෝකයම දැකගත්තේය. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙකු ලෙස මෙම දරුදැරියන් හමුවීමට ගිය ප්‍රියංකා කිසිදු සීමා මායිමක් තබා නොගනිමින් එම දරුවන්ට සමීප වූවාය. සිනමා තිරයෙන් අප හඳුනාගත් ප්‍රියංකාගේ හදවත ලෝකයටම විවර වූයේ එලෙසිනි.
► Text - Rajitha