2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

එක හේතුවක් නැති දේකට හේතුව අහන්න එපා

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 71

මම ඈත අහස දිහා බලාගෙන හිටියේ ඇය මට නොකී ඇගේ ජීවිතයේ වසන් වූ පරිච්ජේදයක් කියවන්න. ඇය කී සහ නොකී ඇගේ ජීවිතයේ විවිධ මංමාවත් ඔස්සේ මම මනසින් සැරිසරමින් සිටියා. ඇය දුරක තබාගෙන මම ඇගේ නෙත් අග්ගිස්සෙන් වැගිරෙන කඳුළු තුළින් ඇය කියවන්නට උත්සාහ ගනිමින් හිටියා.

ඇයි ඔයා මෙච්චර අඬන්නේ?
මට තවත් අඬන්න ඕන....

එහෙම ඇඬුවා කියලා මොකක්ද ඔයාට අන්තිමට ලැබෙන්නේ... මොකුත් නෑ... හිත සැහැල්ලු වෙයි එච්චරයි... ලැබෙන කිසිදෙයක් නෑ... මම ජීවිතේ කවදාවත් එහෙම අඬලා නෑ... ඒත් අඬනවානම් අඬන්න ඕනතරම් දේවල් මට මගේ ජීවිතේ හම්බවුණා... මම නැතිවෙලා යන හැමදේම දිහා බලාගෙන හිටියා විතරයි... මොකටද අඬලා... ප්‍රශ්නයකට උත්තරයක් හොයාගන්න තියෙන කාලයක් නිකම් හිතේ දුක දියකරලා හරින්න වැය වෙනවා විතරයි... ඒත් ඔයාට හිතෙනවා නම් ඇඬුවම ඔයාගේ හිතට ලොකු සැනසිල්ලක් දැනෙනවා කියලා ඔයා දවසක් හරි අඬන්න... ඇය මගේ අත තදින් අල්ලා ගනිමින් මගේ උණුසුමට තව තවත් තුරුලු වුණා.

මට ඇති වෙනකම් ඔයාගේ උරහිසේ ඔළුව තියාගෙන අඬන්න දෙන්න... මට අඬන්න ඕන.
ඔයා ඕන වෙලාවක් අඬන්න... ඒත් මට එකම එක දෙයක් දැනගන්න ඕන.
මොකක්ද? ඇය කඳුළු අතරින්ම විමසුවා.

ඔයා කවදාවත් මෙහෙම අඬන්නේ නෑ. ජානා මට දැනගන්න ඕන ඇයි ඔයා මේ විදිහට අඬන්නේ කියලා... මට ඔය කඳුළුවල හේතුව විතරක් දැනගන්න ඕන.
එක හේතුවක් නැති දේකට හේතුව අහන්න එපා... ඔයා මාව අහගෙන ඉන්නත් එපා.... මම හෙට යනවා... ඇය හැඬුම නවතා මා දෙස බැලුවේ හැඟීම්බර දෑසින්.
මම යනවා දෙවියන් වහන්සේ ළඟට මම යනවා සැනසීම ඉල්ලගෙන.
සැනසීම තියෙන්නෙ දෙවියන් වහන්සේ ළඟ නෙවෙයි ජානා අපි ළඟමයි... ඒක ඔයාම හොයාගන්න දෙයක් මිස කාටවත් හොයලා ඔයා ළඟට ගෙනත් දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි.
ඒත් මම හෙට යනවා....

ඇය එක්වරම ඇගේ කාමරයට වැදී දොර වසා ගත්තා. මට දැනුණේ මා ගැනම කම්පනයක්. ඒ කම්පනය ඇතුළෙ මහා කලකිරීමකුත් රැඳී තිබුණා.
මම මගේ කාමරයට ගියේ මා සන්තක සියල්ල එකම බෑගයකට අසුරාගන්න. මට වුවමනා වුණේ ඇගෙන් පලායන්න නෙවෙයි. ඒත් මට ඕනවුණේ සියල්ලෙන් පලා යන්න. ඇයට පල්ලියේ ජීවිතයට හුුරුවිය නොහැකි බව මම අත්දැකීමෙන් දැන සිටි දෙයක්. ජීවිතයේ එක විඩාවක් සංසිඳුවා ගන්නට ඇය තවත් විඩාවක් තුළ සිරවෙනු දකින්නට මට අවැසි වූයේ නැහැ... ඇයට ඇගේ සිතේ සියලු විඩාවන් මඟහැර ගන්නට ඉඩහසර සලස්වා සියල්ලෙන් මිදී ඈතකට යන්න මට ඕන වුණා. කිසිවක්ගෙන් සදාකාලයට මිදෙන්නට නොහැකි වුණත් මට සැනසිල්ලෙන් හුදෙකලාව ගෙවා දැමිය යුතු දවස් ගණනාවක් අවැසිව තිබුණා.
මොහොතකින් ජානා මගේ කාමරයට ආවේ ලොකු මල්ලකුත් උස්සගෙන. මම කිසිවක් නිශ්චය කළ නොහැකි බැල්මකින් ඈ දෙස බලා සිටියා.

ජානා....
ඇයි?
මම යනවා...
කොහේද?
මම යනවා දුල්යානා...
යන්නෙ කොහේද?
දෙවියන් වහන්සේ ළඟට....
ඔයාට හමුවෙන තැනක දෙවියන් වහන්සේ නෑ... ඔයාට විතරක් නෙවෙයි ජානා මේ ලෝකේ කාටවත් හමුවෙන තැනක දෙවියන් වහන්සේ නෑ.
ජානා මා දෙස බලා සිනාසුනේ අවිනිශ්චිත විදිහට....
මට ඔයා යන තැන විතරක් කියලා යන්න.

මම යන්නේ දෙවියන් වහන්සේ ළඟට.... මට මේ ලෝකෙදී හමුනොවුණු හුඟක් අය මට දෙවියන්ගේ ලෝකෙදී හමුවෙයි දුල්යානා... ඔයා ආදරේ කරපු ඔයාට අත්පත් කරගන්න බැරිවුණු අයත් අත්පත් කරගන්න බැරිවෙච්ච අය මට ආයෙමත් හමුවෙයි... මම ආය කාටවත් කිසි දේකට දොස් කියන්නෙ නෑ දුල්යානා... රෝස්ට වුණත් කිසිම දවසක මම දොස් කියන්නේ නෑ... ඔයත් ලෑස්ති වුණේ මේ ගෙදරින් යන්නද? ඔයා යන්න එපා කොහේවත්... ආදේශ් එයි ඔයාව හොයාගෙන... ඒ එනකම් ඔයා මෙහෙ ඉන්න....

මම මෙහෙන් යනවා ජානා. ඔයාගේ ගෙදර ඔයා ඉන්න.
මම ආදරේ කරපු කිසිම දෙයක් මට මේ ගෙදරට ගේන්න බැරිවුණා දුල්යානා... මට ආයෙත් මෙහෙ නවතින්න බෑ...
ජානා යළිත් මා දෙස නොබලාම ඇගේ බෑගයද රැගෙන ගොස් ඇගේ කාරයට නැංගා. මම ඇය නවතාලන්නට කිසිදු උත්සාහයක් ගත්තෙ නෑ. බොහෝ සිදුවීම් අවසානයේ මගේ ජීවිතයේ මට ඉතුරු වුණේ මුල මැද අග නැති ප්‍රශ්න පත්තරයක් විතරයි... ඒ ප්‍රශ්නවලට උත්තර හම්බවෙන දවසක් මම දැනගෙන හිටියෙ නෑ... සමහරවිට ඒ ප්‍රශ්නවලට උත්තර ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්... මට තියෙන්නේ සිදුවූ සිදුවෙන සහ සිදුනොවූ සියල්ල දෙස නිහඬව බලා සිටීම විතරයි.... ඉර එළිය අහස්තලය මත සිත්තම් මවන හිස් අවකාශය දෙස මම බලා සිටියේ කිසිදු හැඟීමකින් තොරව... සඳත් එක්ක ඒ හැම චිත්‍රයක්ම මැකීයනවා... අවසානෙට ඉතුරු වෙන්නේ කවරක්ද? කවරක්වත් නෑ... මම මා සොයමින් ගැඹුරු සුසුමක් සමඟ යළි ඇහැරනොවෙන නින්දක් සොයා යමින් සිටින බව මට ඒත්තු ගියා.