2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

දැහැන

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 114

සීතල ඉදිකටු තුඩු මෙන් සිරුර හිරිවට්ටමින් තිබූ උදෑසනක අපි නකල්ස් දිය ඇල්ලක අසිරිය හොයාගෙන යද්දී අපට හමුවුණේ පුංචි දරුවෙක්. කොට කලිසමක් ඇඳලා අත් කොට ටී ෂර්ට් එකක් ඇඳලා රබර් සෙරෙප්පු දෙකක් දාලා හිටපු ඒ දරුවට අපට දැනුණු සීතල අල්පමාත්‍රයකින්වත් නොදැනුණු තරම්. දේදුණු පාට සමනල සිහිනත් එක්ක ගෙවිය යුතු ළමා කාලය ඔහුට හිමි නැති වග තේරුම් ගන්න ඒ පුංචි එකා දිහා දෙපාරක් බලන්න ඕන නෑ. අක්කා අපේ ඉතුරු වෙච්ච කෑම බඩු ටික අපි එයාට දෙමුද? අපි කට්ටියගෙන්ම පොඩ්ඩා, රජිත ඒ ඇස් මත රැඳෙන සංවේදී හැඟීම්බර බැල්ම ඇස් මත දල්වාගෙන එහෙම ඇහුවේ සානුකම්පිත හැඟීමකින්. හාල් පොල් සීනි කිරිපිටි ඇතුළු බඩු මල්ලක් එක්ක අපි, අපි එකතු කරපු සල්ලි ටිකකුත් ගමන අවසානයේ අපි නැවතී උන් නවාතැන කිට්ටුවට කැටුව ආ ඒ දරුවට අපි දුන්නේ හරිම සතුටකින්.

සුදු ගෝනුන්, මොණරැන් සහ දියඇලි බලන්න අපිත් එක්ක නකල්ස්හි සැතපුම් ගණනාවක් දුර ඇවිද්ද ඒ පුංචි එකා එයාගේ ජීවිතේ පිටුවෙන් පිටුව අපි ඉස්සරහ කියෙව්වා. එයාගෙ අම්මා එයා පුංචි කාලෙම දාලා ගිහින්. තාත්තත් ළඟ නෑ. අක්කා ළමා නිවාසෙක. මේ පුංචි එකා ජීවත් වෙන්නේ එයාගේ ආච්චිත් එක්ක. ඉස්කෝලෙත් යනවා. හතරෙ පන්තියේ. ඒත් ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිත් හැන්දෑවරු සහ සති අන්තය මේ පොඩි එකා මඟකට වෙලා බලාගෙන ඉන්නවා නකල්ස්වලට ඇවිත් අපි වගේ ගෝනුන් මොණරුන් දියඇලි බලන්න එන කට්ටියක් මුණගැහෙනකම්... ඇවිදින්න එක්ක ගියාම එයාට හම්බවෙන කීයක් හරි සල්ලි ගිහින් ආච්චිට දෙනවා. ආච්චියි මුණුපුරයි කන්නේ බොන්නේ ජීවත් වෙන්නේ පොඩි එකා ඉස්කෝලේ යන්නේ ඒ සල්ලි වලින්. ඒ තමා ඒ පොඩි එකාගේ කතාවේ සාරාංශය.

ඒ ජීවිතේ පිටුවක් පිටුවක් ගාෙණ තැවරිච්ච දුක මම විඳින්නේ දුකක් කියලා එයා නොකීවත් අපිට දැනෙනවා. ජීවිතය විඳින්න සෙල්ලම් කරන්න අනාගතේට පාරක් හදාගන්න අකුරු ඇහිඳින්න තියන තත්ත්පර ඒ පුංචි එකා වැය කරන්නේ ජීවිතයට හුස්මක් දීමේ අරගලය වෙනුවෙන්. අවුරුදු නවයක පුංචි දරුවෙක් ජීවන සටනේ කොටස්කරුවෙක් වෙනවා කියන එකම මහා ඛේදවාචකයක්. ඒත් මේ ඛේදවාචකයේ පංගුකාරයෝ වෙච්ච දරැවන් කෝටි ගාණක් මේ ලෝකේ ඉන්නවා. කන්න නැති මන්දපෝෂණයෙන් පෙළෙන ආදරය   ආරක්ෂාව හව්හරණ නොවිඳින වීදි ගාණෙ මංමාවත් ගාණෙ බඩගින්නට කුණු බක්කි අවුස්සමින් ඉඳුල් හොයන දරුවෝ කෝටි ගාණක් මේ ලෝකේ ඉන්නවා. ඒ වගේම රජ පැටවුන් සදිසිව හැම සැප සම්පතක්ම විඳින දරුවොත් මේ ලෝකේ ඉන්නවා. ඒ වෙනස ඒ අසමානතාවය කවර නිර්ණායක ඔස්සේ නිර්මාණය වුණත් දරුවන් කියන පොදු කුලකයට අයත් හැම පුංචි එකෙක්ම මේ ලෝකයෙන් ඉල්ලන්නේ එකම එක දෙයක්. ඒ ආදරය නිදහස අයිතිය සහ ජීවිතය විඳීමේ අවකාශය. ඒත් මේ ලෝකේ දරැවන් අඩකටම ඒ සියලු වරප්‍රසාද උරුම නෑ. අඩුම තරමේ අම්මගේ තාත්තගේ ආදරයවත් හිමි නෑ. අම්මා කෙනෙක්ගේ ආදරය නොවිඳි හැම දරුවෙකුම තාත්තා කෙනෙක්ගේ පපුතුරේ උණුහුම නොවිඳි හැම දරුවෙක්ම මේ ලෝකයේ කොතනකදී හරි ඒ ආදරය ඉල්ලා සිටිනවා. ඔයාගේ ජීවිතෙත් ඒ ආදරය හිස් තැනක් නම් මම ඒ කීව දේ ඔයාගේ හදවතට දැනේවි.

දරුවන් කියන්නේ මේ ලෝකයටම අයිති වස්තුවක්. නැවත කිසිවක්ම නොඉල්ලා අපි දරුවන්ට ආදරය ප්‍රදානය කළ යුතුයි කියලා මට හිතෙනවා. අපේ බලාපොරොත්තුවල දරුවන් සිරකරුවන් නොකර උන්ගෙ බලාපොරොත්තුවලට ශක්තිමත් අත්තටු දෙන යුතුකමයි අපේ වෙන්නේ. අපේ හීන අස්සේ ඒ පුංචි පැටවුන්ගේ ලෝකෙට විලංගු දාන්න එපා. අලුත් හීන හොයන්න නිදහස් හිත් පරිසරයක් විතරක් ඒ පුංචි පැටවුන්ට දෙන්න. සීමාසහිත දරුවෙක් වෙනුවට සීමාරහිත දරුවෙක් මේ ලෝකෙට දෙන්න. මේ ලෝකය වෙනස් කරන්නේ එවැනි දරුවන්. ඔබට තියෙන්නේ ඒ වෙනසට පාර හදන යුතුකම විතරයි.

I Sanju