LOVE STORY 2050 මම ඒ FILM එක බැලුවා. YOU TUBE SEARCH කරද්දී මට ඒ FILM එක බලන්න හිතුණා. මේ ආත්මෙදී මරණයෙන් වෙන්වෙන ආදරයෙන් බැඳී සිටි දෙදෙනෙක් තාක්ෂණයේ මහිමයෙන් යළි මුණගැසෙනවා. 2050 වෙද්දී ලෝකය කොයි විදිහට වෙනස් වෙයිද රොබෝලා මිනිස් ජීවිතයට කොච්චර ළඟාවෙයිද කියලා උපකල්පනය කරන ගමන් ආදරය කියන්නෙ සංසාරයෙන් සංසාරයට රැගෙන යන බැඳීමක් - සංසාරයෙන් සංසාරයට දැනෙන බැඳීමක් කියලා LOVE STORY 2050 අපිට ඒත්තු ගන්වන්න හදනවා.
ඒක ඇත්තක් වුණත් නැතත් අපි සංසාරේ දිගු ගමනක් යනවා කියන එක - සංසාරේ හුරුවෙච්ච හැම සුවඳක්ම යළි යළිත් හදවතට දැනෙනවා කියන එක ඇත්තක්ද කියලත් වෙලාවකට හිතෙනවා. වර්ෂයෙන් වර්ෂයට ලෝකයේ හැඩය මොහොතක් මොහොතක් ගාෙණ වෙනස් වෙයි. අපි ලෝකයත් එක්ක කරන ගනුදෙනු, අපි තාක්ෂණයත් එක්ක කරන ගනුදෙනු මේ හැමදේකම පරාසය වර්ෂයෙන් වර්ෂයට වෙනස් වෙයි. ඒත් කවදාවත් වෙනස් නොවී නොනැසී තියෙන දෙයකුත් අවසානයේ අපි තුළ තියේවී. ඒ වෙනස් නොවෙන දෙය අපි අනන්ත සංසාරය පුරාවටම රැගෙන යාවි. තවත් මොහොතක එහෙම හිතෙනවා.
එදිරිවීර සරච්චන්ද්‍ර ආදරය ගැන කියූ දේ හරි සුන්දරයි. ආපසු බිඳුවක්වත් නොඉල්ලා ආදරය පූජා කරන්න. ප්‍රේම කරන්නට රිසි කවරෙකු වෙනුවෙන් හෝ ආදරය පූජා කරන්න. තවත් විදිහකින් නොඉල්ලා කිසිවක්ම ආදරය දන් දෙන්න එහෙම තමා සරච්චන්ද්‍ර කීවේ. ඒත් ඇත්ත ජීවිතයේදී එච්චර බෝධි සත්ත්ව පාරමිතාවක් පුරන්න අපිට පුළුවන්ද? අපි හැමෝම ආදරය කරන්නේ ආපසු ආදරය බලාපොරොත්තුවක් කරගෙන නෙවෙයිද? ආදරේ වෙනුවෙන් අපි සුසුම් ලන්නේ අඬන්නේ මරණය පවා ප්‍රාර්ථනාවක් කරගන්නේ අපි ආපසු දෙන ආදරයටත් වඩා ආපසු ආදරයක් බලාපොරොත්තු වෙන නිසා නෙවෙයිද? මහ ගසක් වෙන්න අපිට බෑ... කිසිවක්ම ආපිට නොඉල්ලා සුවඳ ඵල සිහිලස සියල්ල නිර්ලෝභීව දන්දෙන මහ ගසක් වෙන්න අපිට බෑ. සඳ එළියක් වෙන්න අපිට බෑ... රාත්‍රියක කළුවර ඉල්ලගෙන මුළු රැයක් පුරා රන්වන් සේල එලන යළි කිසිවක්ම නොඉල්ලා අරුනළු නැගෙන පැයේ සැඟව යන සඳ එළියක් වෙන්න අපිට බෑ. කළුවර අහස හැඩ කරන අපි හැමෝම නෙත් වසන මැදියමේත් අහසට එළිය දී තනි රකින තාරුකාවක් වෙන්න බෑ...
මට හිතෙන්නේ ජීවිතයේ අනිත් හැමදේකදීම වඩා අපි ආදරයේදී හුඟක් ආත්මාර්ථකාමීයි. නොඉවසිලිමත්. ආදරයේදී අපිට ස්වභාවධර්මයේ කොටසක් වෙන්න බෑ. ඒ අපි අයිතිය හා වින්දනය අසීමාන්තික බලාපොරොත්තුවක් කරගන්න හින්දා. හීන නැතුව හෙටක් නොදැක බලාපොරොත්තු විරහිතව, කොන්දේසි වලින් තොරව අපි ප්‍රේමය හුදු පූජාවක් ලෙස සලකන්න අකමැති හින්දා...
ආදරයේ පාට ලස්සනයි... ආදරයේ ආත්මය හරි සුවඳයි... ආදරයේ රිද්මය ආත්මීයයි.... ඒත් ඇත්තම ආදරේ... දිව්‍යමය ආදරේ අපිට කවදාවත් හමුවෙනවද? දැනෙනවද? විඳිනවද? ඔයාට හිතෙන්නේ කොහොමද? මට නම් හිතෙන්නේ නෑ කියලා....
I Sanju