කාන්තාරයේ කුසුම හෙවත් අපරාජිත රෝස කුසුමක කතාව ඔයා කියවලා තියෙනවද? කියවලා තියෙනවනම් ඔයාට මතක් වෙයි එයාට ජීවිතය විසින් බාර දුන්න අභියෝග... ජීවිතයේ අප්‍රමාණ දුක් වේදනාවන්ට එයා කොච්චර ධෛර්ය සම්පන්නව මුහුණ දුන්නද? මරණයේ අන්ධකාර ආලෝකය නෙත් අභිමුවේ දැල්වෙද්දීත් ඇය මරණය වෙනුවට ඉල්ලුවේ ජීවිතය... ඇය හෙව්වෙ ජීවිතය... ඇය අවසානයේදී ජීවිතය රත්තරන් ඵලයක් ලෙසින් නෙලා ගන්නවා... ඒ තමා ඇගේ දිරිය... ඇගේ මහන්සිය... ඇගේ අධිෂ්ඨානය.... සියල්ල අවසානයේ ජීවිතය වෙනුවෙන් ඇයට ඇති ආදරය... ජීවිතය වෙනුවෙන් ඇයට ඇති ආසාව සහ කැක්කුම... ජීවත්වීම වෙනුවෙන් ඇයට ඇති ලෝභකම... ඇය ජීවිතය මුණගැසෙන තෙක් පසු කළේ ගිරිදුර්ග... ආදරය හිතවත්කම බැඳීම මේ සියල්ල අත්හැරුණු හුදෙකලා මාවතක ඇය තනියෙන් ඇවිදගෙන ආවා. ඒත් ඒ සියලු දුක්ඛ දෝමනස්සයන් හමුවේ ඇය හිතුවෙ ජීවිතය සුන්දරයි කියලා. මහමුහුදක් වගේ ඇය ජීවිතය දරා ගත්තේ ඇයට ජීවිතය විඳින්න පුළුවන් දවසක් මුණගැහෙනකම්.
මරණය හොයාගෙන යන්න ලේසියි.. ජීවිතය අත්හැරලා දාන්නත් හරිම ලේසියි... ඒත් ඒක වීරකමක් නෙවෙයි... ජීවිතය කියන්නෙ වෙලාවකට ඉවරයක් කෙළවරක් අවසානයක් නැති ප්‍රශ්නවලට උත්තර හෙවීමක්... උත්තර ලිවීමක්... උත්තර ඉල්ලා හිඳීමක්.. කොතනක හරි උත්තරයක් තියෙනවා... විසඳුමක් නැත්නම් විකල්පයක් හරි තියෙනවා... නැත්නම් කල් ඉල්ලගෙන කාලය හරි විසඳුමක් හොයා දෙනවා... ඉතින් ඇයි අපිට ජීවිතය හමුවේ අපරාජිතයෙක් වෙන්න බැරි... මරණයේ අන්ධකාර අඳුරට පෙම් කරන හිතට ජීවිතේ පැහැසර වලාකුළුවලට ආදරේ කරන්න උගන්වන්න බැරි... අන්ධකාර ජීවිත ආකාසේ එකම එක තාරකාවකට හරි දිලිසෙන්න ඉඩක් හදලා දෙන්න බැරි... ඉපල් ගස් මුදුනතත් පොහොට්ටු උපදින ඉරණම විශ්වාස කරන්න බැරි... කවුරු නැති වුණත් කවුරු හැර ගියත් මාත් එක්ක මම ඉන්නවා නේද කියලා හිතන්න බැරි...
ඊයේ පෙරේදා දවසක ජීවිතය හැරදා මරණය ඉල්ලාන බෙල්ලෙ වැල දාගත්ත දසුන් කියන නළුවාෙග් මරණය වෙනුවෙන් සමහර අය දුක් වුණා. සමහරු පව් කීවා. ප්‍රශ්න අභියෝග අහිමිවීම් වෙන්වීම් හුදකලාවීම් ජීවත් වීමේදී පොදු කාරණයක්. ඒත් මොන හේතුවක් උඩ මැරුණත් ඔහු සාධාරණීකරණය කරන්න බෑ. ඔහු ලද ජීවිතය වෙනුවෙන් ඔහු වගකිව යුතුයි. සියදිවි නසාගන්නෙකු කිසිවිටෙක පරාජිතයෙකු මිසක වීරයෙකු වෙන්නෙ නෑ. කෙනෙක් සියදිවි නසාගන්න මානසිකත්වයට පත්වීමට සාධාරණ හේතු තියෙන්න පුළුවන්. සමාජ විද්‍යාත්මකව සහ මනෝ විද්‍යාත්මකව බලද්දී ඒක වරදක් නෙවෙයි. කෙනෙක් එහෙම තර්ක කරන්න පුළුවන්. ඒත් මම ඊට එකඟ නැහැ. මේ ජීවිතය කියන්නේ චක්‍රයක්. දුක සැප ලාභ අලාභ නින්දා ප්‍රශංසා යස අයස මේ කියන අෂ්ඨ ලෝක ධර්මය තුළ ජීවිතය ගමන් කරනවා. ඒ සරල න්‍යාය අපිට අවබෝධ කරගන්න පුළුවන්නම් ඇයි අපිට බැරි අකම්පිතව ජීවිතයට මුහුණ දෙන්න... මේ සියල්ල දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා බයිබලය අනුව හිතන්න බැරි ඇයි? සැබැවින්ම දුෂ්කරතා සමඟ සහනයක් ද ඇත්තේය. ඇත්ත වශයෙන්ම දුෂ්කරතා පසුපස සහනයක් එළඹෙන්නේමය. ශුද්ධ වූ කුරාණය සිහි කරන්න ඇයි අපිට බැරි. ජීවිතය ජීවත් කරවන්න මේ මහපොළොව එක්ක හැප්පෙන මිනිස්සු. යුද අරගලවල ගොඳුරු බවට පත්වෙච්ච මිනිස්සු පවා මරණය වෙනුවට ජීවිතය සහ ජීවිතය වෙනුවෙන් එකම එක බලාපොරොත්තුවක් හෝ හොයන ලෝකයක ඔබ මැරෙන්න හිතනවානම් ඔබ සමාව දිය නොහැකි පාපතරයෙක්. පරාජිතයෙක්.
ජීවිතය මුණගැහෙනකම් ජිවිතය හොයන්න.
ජීවිතය හොයාගන්නකම් ජීවිතය මුණගැහෙනකම්
ජීවිතය අත්හරින්න එපා.
නිසැකවම දවසක් ඒවි ඔබට
ජීවිතය සොඳුරු වග
ආත්මය මුමුණා කියන
Sanju