2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

ප්‍රධාන චරිත වලින් මාව කපලම දැම්මා

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 89

හිත හොඳ චණ්ඩියා චිත්‍රපටය නිෂ්පාදනය කරමින් තම සිතැගි පරිදි වීරයාද, ආදරවන්තයාද, චණ්ඩියාද වන්නට ඔහුට හැකි විය. ඔහු නමින් ජීවන් කුමාරණතුංග.

ඉස්කෝලේ කාලෙන් පසුව රැකියාවක් කරන්න අදහසක් තිබ්බේ නැද්ද? 
රැකියාවක්  කරන්න නම් කිසිම අදහසක් තිබ්බේ නැහැ. නමුත් රැකියාවකට අවශ්‍ය සුදුසුකම් ඔක්කොම මම හදා ගෙන තිබ්බා. ඒත්  මට ඕනේ වුණේ රඟපාන්න නිසා මම කැමති වුණේ  නැහැ රැකියාවක් කරන්න. ගෙදරින් හැම තිස්සෙම කිව්වේ රැකියාවක් කරන්න කියලා. මට මතකයි ඒ දවස්වල ගෙදරින් හදලා දෙනවා අයදුම්පත් ගිහින් බලන්න කියලා. මම කරන්නේ අයදුම්පත මඟදී විසි කරලා දාන එක. ලැබෙන රැකියා අවස්ථා පවා මම මඟ හැරියා. 

ගෙදරින් විරුද්ධ වුණේ නැද්ද? 
නිතරම අම්මා නම් කිව්වා හොඳ රුකියවක් හොයා ගන්න කියලා. නමුත් ඒ දවස්වල මම අම්මා හරහා තමා විජය බාප්පාට කිව්වෙත් මටත් රඟපාන්න ආසයි කියලා. එතකොට විජය බාප්පා කියලා තිබ්බේ දැන් එයා ටික ටික නාට්‍ය වැඩ කරනවනේ ඒ නිසා හැකියාව පෙන්නලා ඉස්සරහට එන්න, මට අතින් ඇදගෙන යන්න නම් බැහැ කියලා. මම පාර හදලා ති‍යෙන්නේ එයාට තියෙන්නේ ඒ පාරේ එන එක කියලා. හැබැයි විජය බාප්පා මං ගැන යසපාලිත මහතාට එහෙම කියලා තිබ්බා. ඒ වගේම ඉතින් මට විජය බාප්පාගේ සහයෝගය නිරන්තරයෙන් ලැබුණා.

සිනමාවේ ගමන ආරම්භ වෙන්නේ කොහොමද?
ඔහොම ඉතින් වේදිකා නාට්‍යවල ඉන්න අතරේ ඒ දවස්වල ජනප්‍රිය වෙලා තිබ්බ චිත්‍ර කතාවක් සිනමාවට නගන්න ලෑස්ති වුණා. ඒ තනි තරුව කියන චිත්‍ර කතාව. ඉතින් එකේ චරිත වලට හෙව්වේ  චිත්‍ර කතාවේ ඇඳුණු  චිත්‍ර වලට සමාන රූප තියෙන අය. ඒ දවස්වල මම හිටියෙත් කොණ්ඩේ එහෙම වවලා බෙල් බොටම ඇඳලා, රත්නවීර ද සිල්වා මහතා අලුත් අය හොයද්දි  මගේ යාළුවෙක් මා ගැන කියලා තිබ්බා. මෙහෙම කෙනෙක් ඉන්නවා විජයගේ නෑදෑ කෙනෙකුත් වෙනවා කියලා. ඊට පස්සේ මාව හම්බෙන්න ආවා සුදර්ශියට. ඇවිත් කතා කරලා ගියා. 

ලැබුණු චරිතය මොකක්ද?
මෙහෙමයි, මුලින්ම මාව තෝරා ගත්තේ තනි තරුව චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට. හැබැයි රූගත කිරීම් වලට දින දෙකක් තුනක් විතර තියලා රත්නවීර මහතා ඇවිත් කිව්වා ජීවන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔයා අලුත් කෙනෙක් නිසා නිෂ්පාදකවරු කැමති නැහැ ප්‍රධාන චරිතය දෙන්න. ඒ අය කියන්නේ ප්‍රධාන චරිතයට සනත්ව ගන්න කියලා. ඒ නිසා ඔයාට කරන්න තියෙන්නේ මේකේ තියෙන දඩබ්බර දුෂ්ඨ චරිතය කියලා. මම මුලින්ම ඒකට අකමැති වුණත් මම හිතුවා කමක් නැහැ මේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනය අරන් මම මගේ ගමන යනවා කියලා.

කොහොමද ඒ අත්දැකීම? 
ඇත්තටම ඒක කවදාවත් අමතක වෙන්නේ නම් නැහැ. මොකද ඒ වෙද්දී මට කැමරාව එහෙම නුහුරුයිනේ. මුල්ම කැමරා අත්දැකීම වුණේ මේ චිත්‍රපටය වෙනුවෙන් තිබ්බ මේකප් ටෙස්ට් එක. 

ඊට පස්සේ දිගටම නිර්මාණ ලැබුණාද? 
ඔව් නිර්මාණ නම් ලැබුණා. ගොඩක්ම ලැබුණේ දුෂ්ඨ චරිත. ඒ නිසා මගේ හිතට සතුටක් නම් තිබ්බේ නැහැ. මම කළේ ඊට පස්සේ ලැබුණු චරිත 12 ක් 15ක් විතර කලාට පස්සේ ලැබුණු චරිත භාර නොගෙන ඉන්න එක. මොකද මට ඕනේ වුණේ විජය බාප්පා සහ ගාමිණී මහතා වගේ වීරයා වෙන්න. ඒ හින්දා මම තීරණය කළා ආයේ දුෂ්ඨ චරිත කරන්නේ නැහැ කියලා. 

ඊට පස්සේ ඉතින් අනිත් චරිත ලැබුණද?
නැහැ. ලැබුණු ඔක්කොම දුෂ්ඨ චරිත. ඔය අතරේ මගේ යාළුවො දෙන්නෙක් හිටියා රන්ජිත් සිරිවර්ධන සහ ශ්‍රීමත් දසනායක කියලා. ඒ අයත් එක්ක එකතු වෙලා අපි පිටපතක් ලිව්වා මට ප්‍රධාන චරිතය ලැබෙන විදියට. ඒ තමයි  හිත හොඳ චණ්ඩියා චිත්‍රපටය. ඒකෙ පිටපත ලිව්වේ රන්ජිත් සිරිවර්ධන. අපි ඊට පස්සේ මේ පිටපත අරන් ගියා නිෂ්පාදකවරු ළඟට. ඒ අය මේ පිටපතට කැමති වුණා. හැබැයි ඒ කිසි කෙනෙක් කැමති වුණේ නැහැ මම මේකේ ප්‍රධාන චරිතය කරනවට. ඒ අය කිව්වේ ගාමිණී හරි විජයව හරි ගන්න ඕනේ කියලා. ඒක හරියන්නේ නැති නිසා පස්සේ මම හිතුවා මමම මේ චිත්‍රපටය නිෂ්පාදනය කරනවා කියලා. ඇත්තටම එහෙම හිතුවට ඒක කරන්න මගේ අතේ සල්ලි එහෙම තිබ්බේ නැහැ. මම කළේ මගේ හිතවතුන් කිහිප දෙනෙක්ගෙන් උදව් ගත්ත එක. එක යාළුවෙක් මට නෙගටිව් දහදාහක් දුන්නා. තව යාළුවෙක්ගෙන් වාහන ඉල්ලා ගත්තා. ඒ වගේම මගේ ළඟ ජීප් එකක් තිබ්බා. මම ඒක විකුණලා සල්ලි ගත්තා. ඔය විදියට තමා අන්තිමට හිත හොඳ චණ්ඩියා චිත්‍රපටය මම කළේ.

ඇයි අධ්‍යක්ෂ භූමිකාවට ආවේ නැත්තේ? 
ඇත්තටම ඒ කාල පරිච්චේදය තුළ මම ඉතාම කාර්යබහුල කාලයක් ගත කළේ. ඒ නිසා අධ්‍යක්ෂණය ගැන හිතුවෙම නැහැ. මොකද ඒ වෙනුවෙන් වෙනම කාලයක් ගත කරන්න ඕනේ නිසා.

දේශපාලනය නිසා කලාව මග හැරුණා කියලා හිතෙන්නේ නැද්ද? 
එහෙම යම් ප්‍රමාණයක මඟ හැරීමක් සිද්ධ වුණා. නමුත් මට ඒ ගැන කනගාටුවක් නම් නැහැ. 

මේ දවස්වල සහ ඉදිරි වැඩ කටයුතු කොහොමද? 
මේ දිනවල තවත් අලුත් නිර්මාණයකට ආරධනා ලැබිලා තියෙනවා. එහි රූගත කිරීම් ඔක්තෝම්බර්, නොවැම්බර් වෙද්දී පටන් ගනීවි. ඒ වගේම තමා මගේ මුල්ම අධ්‍යක්ෂණයත් මේ වසරේ දී සිදු වෙයි. මොකද මම බලාපොරොත්තු වෙනවා අලුත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරමින් නිෂ්පාදනය කරන්න. 

අපි අලුත් චිත්‍රපටය ගැනත් කියමු? 
ඒක කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් සිදු කරන වාණිජ චිත්‍රපටයක්.

► Text — Anusha Ranasinghe