I GIVE MY LIFE TO YOU - මා දිවිය ඔබ අතට ගිය සතියෙ දවසක මාධ්‍ය සගයෙක් මට ඒ පොත දුන්නෙ තිළිණයක් විදිහට. අපි හැමෝටම තමන්ගෙ කතාවක් තියෙනවා. අවසාන අර්ථයෙන් ඒ කතාව විග්‍රහ කරද්දී ඒ කතාව ඇතුළෙ අට ලෝ දහම ජීවිතය විෂයෙහි කොතෙක් යථාර්ථවාදීද යන්න පැහැදිලි වෙනවා.
සමහරු තමන්ගෙ කතාව ලෝකයටම කියනවා. තවත් කතා තමන්ගෙම විතරක් වෙනවා. මට මතකයි මම ඉස්කෝලේ යන දවස්වල කියවපු ජීවිත කතා වලින් මගේ හිතට ගැඹුරින්ම දැනුණේ ජී.බී. සේනානායක ලියපු විනිවිඳිමි අඳුර ජීවිත කතාව. තමන්ටම කියලා කෙනෙක් සහ තමන්ටම කියලා තැනක් නැතිවුණාම හිතට දැනෙන අසරණකම කොයි තරම්ද කියන එක හුඟක් තදින් සහ සංවේදීව හිතට දැනුණු සංසිද්ධියක් ජී.බී. සේනානායක ගේ චරිතාපදානයේ සඳහන්. ඒ එයා එක කාලයක් එයාගේ ඥාති නිවෙසක ජීවත් වෙද්දී වෙච්ච සිදුවීමක්. එයා බත් කකා ඉද්දී එයාගේ ඥාතී සොයුරිය පැමිණ ලාම්පුව අරගෙන යනවා. ඔහු කළුවරේම බත් කෑවත් ඔහුට ඒ මොහොතේ තමන් ගැනම මහා ආත්මනුකම්පාවක් සහ අසරණකමක් දැනෙනවා. අපි සමහරුන්ගේ ජීවිත කතා ඇස්වලින් කියෙවුවා. තවත් සමහරුන්ගේ ජීවිත අපි කන් දෙකින් ඇහුවා. තවත් ජීවිත කතන්දර අපි ඇස්වලින් කියවනවා සහ කන්වලින් අහනවා. I GIVE MY LIFE TO YOU කියවද්දී ආයෙත් ජීවිතය ගැන හිතන්න මගේ හිතට බලකරපු තැන් ඔයත් කියවලා බලන්න.
මා කොතැනක සිටියත් මා තුළ නිසැකයෙන්ම ඇත්තේ කුමක් දැයි සෙවීමට මම ඉගෙන ගත්තෙමි. එසේම මිනිසාගේ හැඩරුව කුමක් වුවද කතා කරන බව කුමක් වුවද ඔවුන් එක හා සමාන බව මා සොයාගෙන ඇත. ඒ හැම දෙනාටම සතුට අවශ්‍ය වුවද ඒ කිසිවෙකු සිටිනුයේ සතුටින් නොවේ. මෙය නොදැන සිටින්නට බැරිය.
ජීවිතය අත් හැරීමේ දීර්ඝ ක්‍රියාදාමයකි. මෙය ඒ කාලයේ මා වටහාගත් එක්තරා දෙයකි. මා සංචාරයෙහි නොයෙදුණා නම් මේ ක්‍රියාදාමය සම්පූර්ණ කර ගැනීමට මා සමත් වන්නේ නැත.
මරණය යනු මාරැවීමක් පමණයි. අප ඉතා සාමකාමීව වෙනත් භවයකට මාරු වෙමු. ඇත්තෙන්ම මරණය සාමකාමී වන්නේ අප එය හා සටන් නොකළොත් පමණි. එසේම අප වේදනාවෙන් පසු නොවන්නේ නම් පමණි.
කෙනෙකු නැවත ඉපදෙන්නේ ඔහු තුළ නැවත ඉපදීමට කැමැත්තක් ඇත්නම් පමණි. නැවත ඉවදීමේ ආශාවකින් යුතු මමත්වයක් ඇත්නම් එසේ ඉපදෙයි. නැත්නම් හැම දෙයක්ම අවසාන වනු ඇත. මා නැවත ඉපදීමත් නැතුවම මරණයට සූදානම්.
මට හමු වූ සියලුම මනුෂ්‍යයන්ගෙන් හා ස්වභාව ධර්මයෙන් ඉගෙන ගත් කෙනෙකු වශයෙනි, මට මා පෙනෙනුයේ. සතුටු හැඟීමකින් හා නිහතමානීව මම මේ හැඟීම් විද දරා ගනිමි. මේ අනන්ත වූ මහා සංසාරයේ.
අපි අනුන්ගෙ ජීවිත කියවන්න අනවසරයෙන්ම ලොකු මහන්සියක් ගන්නවා. ඒත් අපි කීදෙනාද තමන්ගෙ ජීවිතය කියවන්න මහන්සි වෙන්නෙ. තමන්ගෙ ජීවිතය හොයාගන්න මහන්සි වෙන්නෙ. බොහෝවිට මරණය තෙක්ම අපි ඒ සඳහා කිසිදු ප්‍රයන්තයක් දරන්නෙ නැහැ. සංසාරය අනන්ත දුරක් වෙන්නෙ අන්න ඒ මහන්සිය අපි නොගන්න හින්දා නෙවෙයි. ජීවිතය හොයන්න, ජීවිතය දකින්න, ජීවිතය කියවන්න ගන්න වෑයමේ අවසාන ප්‍රයත්නය නිවන හෝ ස්වරගයටත් පෙර ජීවිතයම කියලයි මටනම් හිතෙන්නේ. ජීවිතය නොදක, ජීවිතය දැනහඳුනා නොගෙන, ජීවිතය නොවිඳ ජීවිතය කෙළවරක් කිරීමේ අර්ථයක් තියෙනවා කියලා ඔයාට හිතෙනවද? මටනම් හිතෙන්නෙ නිවනටත් පෙර ස්වර්ගයටත් පෙර ජීවිතය දැකිය යුතුයි. ජීවිතය විඳිය යුතුයි.
I Sanju