රසවතාණෙනි...
සුලවතාණෙනි...
හිතවතාණෙනි... ඉතින් මට තත්ත්පර අවැසිමය. ඔබ කවුදැයි ඔබ නොදන්නා අයට මට කියන්නට... නම අලංකාර තරමටම හිත් අලංකාර මිනිසුන් ජීවිතයේ පාර දිගේ ඇවිද යද්දී නිතර දෙවේලේ හමුනොවුණත් එක්තරා දවසක එක්තරා අහම්බයකදී මට හමුවූ මා දැන හඳුනාගත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කල්‍යාණ වූ ඔබ නමේ තරමටම රුවින් සේම හදවතින්ද සුන්දර මිනිසෙකි. අවධි සවිඥානික ඥානයෙන් කලාවේ අහුමුළු ඉසියුම් නැණසින් පිරික්සන එක්තරා අමුතු ගවේෂකයෙකි. හදවතින්ම කලාවට ආදරය කරන උන් අතිශය විරල ලාංකික කලා ක්ෂේත්‍රය තුළ නිර්මල හදවතින් කලාවට ප්‍රේමණීය වූ මිනිසෙකි.
ඈත ගම්දොර මතක පපුවට තුරුල් කරගෙන ජීවිතයේ අලුත් පරිච්ඡේද ලියන්නට කොළඹට පැමිණි මේ කඩවසම් තරුණයා තවත් වෙසෙකින් අලංකරණයට නව්‍යකරණය එක් කළ අතිශය නිර්මාණශීලී සාර්ථක ව්‍යාපාරිකයෙකි. මනා ඉවසීමකින් කළ යුතු සෞම්‍ය කලාත්මක වෙළෙඳ ව්‍යාපාරයක් වන ගෙවතු අලංකරණයට නව ජීවයක් එක් කරමින් ස්වභාවික ගල් වර්ග භාවිත කරමින් මනරම් ගෙවතු අලංකරණ ව්‍යාපෘති රැසක් සිදුකළ ශ්‍රී ලංකාවේ අංක එකේ වෙළෙඳ සන්නාමයක් වන SALARU ASSOCIATES හි හිමිකාරයා ඔහුය. 2001 වසරේදී ස්ව ශක්තියෙන් ඇරඹි මේ ව්‍යාපාරය තුළ අතිශය ජයග්‍රාහී ස්වර්ණවත් මුද්‍රා සනිටුහන් කළ මේ අභිමානවත් ව්‍යාපාරිකයා හදසර ආලින්දයට සපැමිණෙන්නේ චිත්‍රපට නිෂ්පාදකවරයකු, නළුවකු සහ අනාගත සිනමා අධ්‍යක්ෂවරයකු වීමට දකින සිහිනයේ බලාපොරොත්තුවද අපට සුන්දර නිමිත්තක් වන නිසාමය. විශ්වීය ආමන්ත්‍රණයක් වූ සිනමාව නම් අතිශය සියුම් සහ චමත්කාරවත් ශානරය පිළිබඳව ඔහුගේ කියවීම, අධ්‍යනය සහ ගවේෂණයද සැබැවින්ම සුවිශිෂ්ටය.
ඉතින් ඇවිද ආ පොළොවේ කොතෙක් රුදුරු කටු පඳුරු ගැවසුණද, යටි පතුල් සීරී ලේ ගලන තුවාලයක පවා වේදනාවන් දරාගත් මහිමයෙන් ජීවිතය රිසි සේ දිනාගත් මේ සොඳුරු කඩවසම් කලාවේදියාණන් සමන් අලංකාර සමඟ හදසර කතාබහේ අකුරු වියමනයි මේ.
අලංකාර මට කියන්න නළුවා කියන භූමිකාව ඔබ නිර්වචනය කරගන්නේ කොහොමද?
නළුවා කියන්නේ චරිතයකට අයිති දෙයක්, සම්බන්ධ දෙයක්. නළුවා අයිති කලාවට, පොදු සමාජයට. තමාටම අනන්‍ය වූ අතිශය පෞද්ගලික ජීවිතයක් නළුවෙකුට හෝ නිළියකට තියෙන්න බෑ. රංගනය තුළදී නළුවෙකුට හෝ නිළියකට තමාව යම් දුරකට අත්හරින්නට සිදුවෙනවා. තමාවත් නොදන්නා මානයකට තමාව මුදාහරින්න සිදුවෙනවා. මොකද රංගනය කියන්නේ භෞතික භෞතික හැඟීම් නිරූපණයකට, අංග චලනයකට විතරක් නෙවෙයි. ඇත්තටම රංගනය තුළදී සිදුවන්නේ සහ සිදුවිය යුත්තේ නළුවා හෝ නිළිය භෞතිකව සහ ආධ්‍යාත්මිකව චරිතය තුළට කිඳා බැසීමයි. ඒ චරිතය හා හුස්ම ගනිමින් ඒ චරිතය හා ජීවත් වීමයි. ඒ චරිතය හා ආත්මීය ආලයකින් ඒකාත්මික වීමයි. නළුවා කියන භූමිකාව මම නිර්වචනය කරගන්නෙ එහෙමයි.
ඔබ වේදිකාව, ටෙලිනාට්‍ය, සිනමාව යන සියලු ශානරයන් තුළින් රංගන අත්දැකීම් ලැබූ නළුවෙක්. අදටත් ඔබ මේ ශානරයන් හා බැඳීමෙන් ඉන්නවද? එහෙමත් නැත්නම් යම් දුරස්වීමක් දකින්න තියෙනවද?
මම රංගනයට ප්‍රවේශ වී දැන් වසර ගණනාවක් වෙනවා. ඒ කාලය තුළ මම මේ සියලු මාධ්‍යයන්හි අත්දැකීම් ලැබුවා. එහෙත් මේ වෙද්දි කලාව පිළිබඳ මගේ සියලු කැමැත්ත, සියලු බලාපොරොත්තු සහ අරමුණු සිනමාව කියන විශ්වීය මාධ්‍ය තුළට, එහෙමත් නැත්නම් ප්‍රබල ශානරය තුළට කේන්ද්‍රගත වී තියෙනවා. මට හිතෙනවා කලාව ඔස්සේ මම යන ගමන සිනමාව පමණක් අරමුණු කරගන්න. සමහර තැන්වලදි සියල්ල තෙම්පරාදුවක් කර නොගත්තම මට හිතෙනවා ජීවිතයේ කැප කරන්න පුළුවන් හැම තත්ත්පරයක්ම ඒ වෙනුවෙන් කැප කරන්න පුළුවන් කියලා. ඒ කැපකිරීම තුළින් මට සිනමාව වෙනුවෙන් අනාගතයේ දැනෙන යමක් කරන්න පුළුවන් කියලා. මට හිතෙන්නේ සංඛ්‍යාත්මකව කොයිතරම් චිත්‍රපට සංඛ්‍යාවක රඟපෑවත් වැඩක් නැහැ, හරයාත්මක සිනමාත්මක ගුණාත්මක සහ විශ්වීය වටිනාකමකින් සන්නද්ධ චිත්‍රපට දෙක තුනක රඟපෑවත් ඒ ඇති කියලා.
සිනමාව ඔබ ඔය කියන ආකාරයට ප්‍රබල සහ විශ්වීය මාධ්‍යයක් කියන වගට ඔබ තුළ වන විශ්වාසයට මට හේතු කියන්න?
සිනමාව කියන්නේ අතිශය ඉසියුම් මාධ්‍යයක්. ටෙලිනාට්‍යයකට පුළුවන් දීර්ඝ කතා මාලාවක් විදිහට ප්‍රස්තුතය තව තවත් එක් එක් දිශානතින් කෙරෙහි විහිදුවමින් නිර්මාණය රැගෙන යන්න. එහෙත් සිනමාව කියන මාධ්‍යයේදී බොහෝ විට පැය දෙකක් තුනක් හෝ නොඑසේනම් ඊටත් අඩු කාලයක් තුළ ප්‍රබල ලෙස සංක්ෂිප්තයක් ලෙස නිර්මාණය ප්‍රේක්ෂකයාගේ පපුවටම වැදෙන්නට නිර්මාණය කළ යුතුයි. ඇත්තටම මම සිනමාව දකින්නෙම විශ්වීය සහ සර්වකාලීන විය යුතු මාධ්‍යයක් විදිහට. එය සම්මානයක් හෝ සම්මාන තුළ සම්මානනීය නොවන අවස්ථාවලදී පවා ප්‍රේක්ෂක හදවත්හි සම්මානනීය වෙන්නේ එවන් පසුබිමක් තුළයි. ඇත්තටම කලාවෙදි අපිට ජාත්‍යන්තරයට ප්‍රබල ලෙස ආමන්ත්‍රණය කළ හැකි ගුණය සහ වටිනාකම් සහිත මාධ්‍ය ලෙස මම දකින්නෙත් සිනමාවයි.
ඔබ කියනවා “මම සිනමාව දකින්නෙම විශ්වීය සහ සර්වකාලීන විය යුතු මාධ්‍යයක් විදිහට” කියලා. එම විශ්වීය හා සර්වකාලීන වටිනාකම සුරක්ෂිතකරණය වූ චිත්‍රපට ලාංකික සිනමා ක්ෂේත්‍රය තුළ ඔබ දකිනවද?
ඇත්තටම හෘද සාක්ෂියට එකඟවම උත්තරයක් දුන්නොත් දෙන්න තියෙන අවංකම උත්තරය තමයි ලංකාවේ එහෙම චිත්‍රපට නිර්මාණය නොවන තරම් කියන එක.
“නිර්මාණය නොවන තරම්” කියලා ඔබ කියන්නෙ ඇයි? එහෙම ඔබ කියන්නෙ ඇයි කියන හේතු මට කියන්න?
මම විශ්වාස කරනවා ලංකාවේ ප්‍රබල සහ තාක්ෂණික ක්‍රමවේදයන් ගැන අවබෝධයෙන් තිර පිටපත් ලියන තිර පිටපත් රචකයන් ඉතාමත් අඩුයි. තිර පිටපත් කියන්නෙ දර්ශන තලය විස්තර කිරීමට සහ දෙබස් ලිවීමට විතරක් නෙවෙයි. එය විද්‍යාත්මක දෙයක්. හැදෑරීමකින් අධ්‍යනයකින් සහ ගවේෂණයකින් කරන්න ඕනෑ දෙයක්. සිනමා අධ්‍යක්ෂණයත් එහෙමයි. සිනමාව කියන්නේ මොකක්ද, එය කෙතරම් ගැඹුරු සෞන්දර්යාත්මක සහ සංවාදශීලී, ඒ වගේම විශ්වීය මාධ්‍යයක්ද කියන අවබෝධය සහ ගවේෂණය හුඟාක් අයට නෑ. ඇත්තටම තිර පිටපතක් කියන්නේ රෑ එළිවෙනකම් චිත්‍රපට කිහිපයක් බලලා ඒ බලන චිත්‍රපටවලින් එහෙන් මෙහෙන් කෑලි අහුලගෙන කතාවක් ලියන එක නෙවෙයි. කැමරා තාක්ෂණය ගැන, අධ්‍යක්ෂණයේ සිද්ධාන්ත, න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම නැතුව අඩුම තරමේ ලෝකයේ නිර්මාණය වන හොඳ චිත්‍රපටයක්වත් නොබලමින් සිනමා අධ්‍යක්ෂණයේ යෙදෙන සිනමා අධ්‍යක්ෂවරුන් තමයි අතිශය බහුතරයක් ඉන්නේ. නිෂ්පාදකවරුන්ගේ භූමිකාවෙදිත් ඇත්තටම නිෂ්පාදකවරුන්ට සිනමාව කියන්නෙ මොකක්ද කියන අවබෝධය තියෙන්න ඕනෑ. එහෙම නැතුව කිසිම වටිනාකමක් නැති චිත්‍රපටවලට රුපියල් කෝටි ගණන් නිෂ්පාදනයට වැය කරලා ඒවායින් ලාභ තබා චිත්‍රපටය සඳහා වැය කළ මුදලවත් හම්බ නොකිරීම තමයි අද දකින්න ලැබෙන්නෙ. අපි කියූ ආකාරයේ ගුණාත්මක චිත්‍රපට බිහිවීමටනම් තිර පිටපත, අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කියන භූමිකා ත්‍රිත්වයේම සංකලනය සහ සහයෝගිතාව අතිශය වැදගත්.
සිනමා අධ්‍යක්ෂවරයා කියන භූමිකාව අද්‍යතනය වෙද්දි කොයිතරම් දුරට හෑල්ලුවෙලා තියෙනවද?
ඇත්තටම මමත් සිනමා නිෂ්පාදකයෙක් විදිහට ඒ අත්දැකීම හරිම කටුක විදිහට විඳලා තියෙනවා. ඇතැම් සිනමා අධ්‍යක්ෂවරුන් තමන්ගේ ඉතා ලාභ සිල්ලර සහ පටු අරමුණු වෙනුවෙන් නිෂ්පාදකවරුන් පාවිච්චි කරන සහ අවභාවිත කරන හුඟාක් අවස්ථා තියෙනවා. ඒ වගේම තවත් මම පැහැදිලිවම දන්න සත්‍යයක් තමයි සමහර අධ්‍යක්ෂවරුන් ඉන්නවා. චිත්‍රපටයේ නිෂ්පාදන වියදම කෝටි දෙකක් නම් නිෂ්පාදකවරයාට තවත් ලක්ෂ ගණනක් තියාගෙන තමයි ගාණ කියන්නෙ. සමහර විට තවත් කෙනෙක් සම්බන්ධ කරගෙන තමයි නිෂ්පාදකවරයා හොයන්නේ. ඒ ලක්ෂ ගණනක මුදල අධ්‍යක්ෂවරයාට හෝ තව කෙනෙක් අතර බෙදී යාම තමයි සිදුවන්නේ. මෙතෙන්දි ඍජුවම සිනමා අධ්‍යක්ෂවරයා කරන්නෙ වංචාවක්. සිනමා නිෂ්පාදකවරයා හිතාමතාම සූක්ෂම ලෙස රැවටීමක්. එහෙම වුණාම අවසානයේ සිදුවන්නේ මොකක්ද? නිෂ්පාදකවරුන්ට සිනමාව කියන වචනයත් එපා වෙච්ච අවස්ථා මම මෑත කාලයේ දැකලා තියෙනවා. කෝටි ගණන් තමන්ට චිත්‍රපටයක් කරලා පාඩු වෙද්දි මොන නිෂ්පාදකවරයාද තවත් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න පෙළඹෙන්නෙ. සමහර අධ්‍යක්ෂවරුන් අවසානයේ පැහැදිලි වියදම් ඇස්තමේන්තුවක්වත් නිෂ්පාදකවරයාට ලබාදෙන්න කටයුතු කරන්නෙ නෑ. සමහර විට චිත්‍රපටයක් නිෂ්පාදනය කරලා ඒ චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා පැමිණෙන වසර ගණන සහ එයින් ලබන ආදායම බලද්දි ඒ චිත්‍රපටයට වියදම් කළ මුදල ෆික්ස් ඩිපොසිට් එකක් දාලා තිබුණානම් කියලා නිෂ්පාදකවරුන්ට හිතෙන එක සාධාරණයි. පෞද්ගලිකව ඒ කතාව එහෙමම කීව නිෂ්පාදකවරු මම දන්නවා.
චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුට නිර්මාණකරණයේදී සෞන්දර්යාත්මක හදවතක් වගේම අවංක හදවතක් තියෙන්න ඕනෑ. බොරුකාරයෙක්, වංචනිකයෙක් සහ සිනමා රසය දන්නැති පුද්ගලයෙක් අධ්‍යක්ෂවරයෙක් වීම මම දකින්නේ සහ අර්ථකථනය කරන්නේ හුදෙකලා අපරාධයක් විදිහට නෙවෙයි, දරුණු සමාජ අපරාධයක් විදිහටයි.
ඔබත් චිත්‍රපට නිෂ්පාදකවරයෙක්. චිත්‍රපට නිෂ්පාදකවරයකුට සිනමා සම්මාන උළෙලවලදි ලබාදෙන ප්‍රමුඛත්වය සහ ඇගයීම ගැන ඔබට තියෙන්නේ කොහොම අදහසක් සහ අත්දැකීමක්ද?
සැබැවින්ම සිනමා නිෂ්පාදකවරයකුට ලබාදෙන ප්‍රමුඛතාවය සහ ඇගයීම ගැන මට මගේ හෘද සාක්ෂියට එකඟව තියෙන්නේ විශාල කනගාටුවක්. සිනමා නිෂ්පාදකවරයෙකුට ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රය තුළ තියෙන පිළිගැනීම, ගෞරවය, ඇගයීම, දශමයක්වත් අපේ රටේ බහුතරයක් සිනමා නිෂ්පාදකවරුන්ට ලැබෙන්නෙ නෑ. එතෙන්දි “මම පොර” මානසිකත්වයෙන් ඉන්න චිත්‍රපට නිෂ්පාදකවරුන්ට, ඔවුන්ව ඇත්තටම “පොරක්” කියන වර්ගීකරණයට නතු කළ ඇතැම් මාධ්‍ය සහ සමාජ පිරිස් විසින් යම් ප්‍රමුඛතා ඇගයීම් සම්මාන ලැබිලා ඇති. එහෙත් බහුතරයක් සිනමා නිෂ්පාදකවරුන්ට සිනමා සම්මාන උළෙලවලදි ඒ ඇගයීම, ගෞරවය හෝ ප්‍රමුඛතාව ලැබෙන්නෙ නෑ. මගේ අත්දැකීමකින්ම කතා කරනවනම් මේ මෑතකදී සිනමා සම්මාන උළෙලකට ලැබුණු ආරාධනාවක් නිසා සිනමා සම්මාන උළෙළකට ගිහින් ගිය සැණින්ම මම ආපසු හැරී ආවා.
ඒ මොකක්ද ඒ සිදුවීම?
මෙවර සරසවි සිනමා සම්මාන උළෙලේදි මම ගියේ මා විසින් නිෂ්පාදනය කළ හොරා අංකල් ළමා චිත්‍රපටය සරසවි සිනමා සම්මාන උළෙලට ඉදිරිපත් කර තිබූ නිසා. එහිදී සිනමා නිෂ්පාදකවරයෙක් වුණු මට වෙන් කරලා තිබුණේ පසුපසම කෙළවර ආසනයක්. ඉදිරිපසම අසුන් එයාලා අවශ්‍යම වෙනත් අයට දුන්නත් මම හිතන්නේ සරසවි සම්මාන උළෙලේදී විතරක් නෙවෙයි සෑම සිනමා සම්මාන උළෙලකදිම සිනමා නිෂ්පාදකවරයකුගේ නිෂ්පාදක කියන භූමිකාවේ ගෞරවය රකින පරිදි ඔහුට හෝ ඇයට ආසනයක් වෙන්කළ යුතුයි. ඒ අගෞරවය යළි සිදුනොවිය යුතුයි. මොකද, සිනමා නිෂ්පාදකවරයෙක් කියන්නේ චිත්‍රපටයේ ප්‍රබලම ආලෝක ධාරාවයි. එම ආලෝකය නොනිවී පවත්වාගෙන යාම සිනමා කර්මාන්තයේ සියලු දෙනාගේම වගකීමයි. සිනමා නිෂ්පාදකවරයෙක් නැත්නම් කොහොමද චිත්‍රපටයක් නිර්මාණය කරන්නේ. සිනමා අධ්‍යක්ෂවරයා, නළු නිළියන්, මේ හැමදෙනාම එක්ක චිත්‍රපටයක් නිර්මාණය වෙන්නේ ඒ නිර්මාණය කරන්න චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ඉන්න නිසයි. සිනමා උළෙලවල් පවත්වන්නෙ චිත්‍රපට නිර්මාණය වූ නිසයි. චිත්‍රපට නිර්මාණය වෙන්නේ චිත්‍රපටයට නිෂ්පාදකවරයෙක් ඉන්න නිසයි. එහෙත් ඇතැම් චිත්‍රපට සිනමා සම්මාන උළෙලවල්වලදී චිත්‍රපට නිෂ්පාදකවරයෙකුට සලකන ආකාරය හරිම ශෝචනීයයි සහ වේදනාත්මකයි.
නළුවෙක්, සිනමා නිෂ්පාදකවරයෙක් කියන භූමිකා දෙකෙන් ඔබ්බට සිනමා අධ්‍යක්ෂවරයෙක් කියන භූමිකාවට අවතීර්ණ වෙතත් ඔබ දකින හීනයක්, අරමුණක්, බලාපොරොත්තුවක් ඔබට තියෙනවද?
ඇත්තටම ඔව්... කාලයක් තිස්සේ සිනමා අධ්‍යක්ෂවරයෙක් වෙන්න මම හීන දැක්කා. දැන් ඒ හීනය මම අරමුණක් තුළට ගෙනත් තියෙනවා. අරමුණ තුළින්ම අත්හරින්න බැරි බලාපොරොත්තුවක් බවට එය පරිවර්තනය වී තියෙනවා. මම හිතන්නේ සිනමා අධ්‍යක්ෂවරයෙක් වෙන්න තවත් දිගු කාලයක් මට බලාගෙන ඉන්න වෙන එකක් නෑ. සිනමාව ගැන ගැඹුරු අධ්‍යයනයක විශ්ලේෂණයක තවදුරටත් මම නියැලෙමින් ඉන්නවා. ඒ ඔස්සේ මම ලබාගන්න ප්‍රායෝගික දැනුම මට විශාල පිටිවහලක් අනුබලයක් වේවි. ඉතින් ඒ සියල්ල ඔස්සේ සිනමා අධ්‍යක්ෂවරයෙක් වෙන්න මට තව දිගු කාලයක් යන එකක් නෑ. ඇත්තටම මගේ ඊළඟ සූදානම එයයි.
• සංජීවිකා සමරතුංග
• ඉසුරු පෙරේරා