හදගැස්මට ආදරයත්, ආදරයට මනුෂ්‍යත්වයත්, මනුෂ්‍යත්වයට ප්‍රේමණීය පෙම්බරත්වයත් මුසු කරගත් මිනිසුන් ජීවිත සක්මන සරා හමුවීම මා ජීවිතය තුළ අත්විඳින සුන්දරම අහම්බයයි. ඒ හදවතේ සහකම්පනය මා හඳුනාගත් හුඟාක් කතා අතර එක් කතාවක් ඉතින් මම ඔබට කියමි. එක්තරා දවසක එක්තරා හැන්දෑවක එක්තරා තත්ත්පරයක ඔහු ‘අපේ ගම’ පුරා ඇවිද ගියේ වෙස්මුහුණු හොයාගෙනය. අහන්න... ඔහු වෙස්මුහුණු ආලවන්තයෙකි. වෙස්මුහුණුවලට පමණක් නොව දේශීයත්වයට, ලාංකිකත්වයට, මගේයැයි හැඟෙන මගේකමට, අපේයැයි හැඟෙන අපේකමට සම්, මස්, ලේ, නහර, ඇට මිඳුළු විනිවිද දැනෙන දයාබරත්වයක් මම ඒ හදවත හදවතින් සිඹ හඳුනාගනිමි. ඉතින් මාස ගණනාවක් පුරා එකම බෙරයක්වත් විකුණාගත නොහැකිව දැනෙන සරතැස ඉවසාගෙන වියළි දෙනෙතින් බලා හිඳින මිනිසෙකු මේ ආදරණීය මිනිසාට මුණගැසුණේ වෙස්මුහුණු හොයාගෙන ගිය ඒ ගමනේදීය.
ඒ ආදරණීය මිනිසා නිශාන්ත ආරියවංශ මට මුණගැසුණේ තුන් වතාවක් පමණි. පළමු හමුවීම GLOBAL FEDERATION OF SRI LANKAN BUSINESS COUNCILS හි මාධ්‍ය හමුවේදීය.
මිනිසුන් විනිශ්චය කිරීමේ අයිතිය මිනිසෙකුට නැතිවුණත්, මිනිසෙකු කියවීමේ අයිතිය අයිතියක් වග මම පිළිගනිමි. නිහඬ තරමටම දොඩමළු, දොඩමළු තරමටම නිහඬ හෘද සාක්ෂියට එකඟ අමුතු වෙනස් සොඳුරු සෙල්ලක්කාර සිතුවිලි හා යාවී ජීවිතය දකින, හොයන, විඳින සහ සුමට ලෙස ජීවිතය ස්පර්ශ කරන අප්‍රමාණ මිනිසෙකු ලෙස මා කියවූ නිශාන්ත ගැන මා ඔබට කියන්නට ආ කතාවේ ඉතිරිය මම දැන් ආයෙත් ඔබට කියමි.
කොවිඩ් කාලයේ සපැමිණි අඳුරු හේමන්තයේ සුළි සුළං රැල්ලක් හෝ නොදැවටුණේ කාගේ ජීවිතය මතදැයි සිතෙන තරමට ඒ අඳුරු හේමන්ත අංශුමාත්‍ර හෝ විසල් මාත්‍ර වශයෙන් අපේ ජීවිත රිදවූයේය. එදා කාලයකින් එකම බෙරයක්වත් විකුණාගත නොහැකි වූ ඔහුගෙන් බෙර තොගයක් මිලදී ගැනීමේ ක්ෂණික සිතුවිල්ල නිශාන්තගේ හිතේ ඉපදුණේ ඇයි? එය විකුණුම් මානසිකත්වය හෝ මුදලාලි මානසිකත්වය ලෙස මම කිසි විටෙකත් නිර්වචනය නොකරමි. මාස ගණනාවකින් එකම බෙරයක්වත් නොවිකුණු මිනිසෙකුගේ හිස් පොකට්ටුවේ වේදනාව, බඩගින්න, නොදන්නා තව ප්‍රශ්න ගැන හිතෙන්නටනම් බිම් මට්ටමේ හිඳ ජීවිතය දැන හඳුනාගත් හදවතක් මිනිසෙකුට තිබිය යුතුය. ලක්ෂ දහයක බෙර ඒ මිනිසාගෙන් මිලදී ගෙන සවියක් අවැසි මොහොතේම ඒ මිනිසාට සවියක් වූ නිශාන්තගෙන් මට අසන්නට ප්‍රශ්නයක් තිබේ.
ඇයි නිශාන්ත ඒ මොහොතේ එහෙම දෙයක් කරන්න හිතුණේ?
ඒ අංකල්ගේ මුහුණ දැක්කම ඒ මුහුණේ මට එයා ඒ වෙද්දි ගෙවන ජීවිතයේ අමාරුකම් ගැන කතාන්දර හුඟාක් කියවාගන්න පුළුවන් වුණා. මම කැමතියි මට හැකි පමණින් මිනිස්සුන්ට උදව් කරන්න. එතෙන්දි මගේ හිතුවිල්ල එකදිගට එකම කෙනාට උදව් කරන එක නෙවෙයි. යම් කෙනෙක්ට උදව් කරලා එයා යම් දුරකට ශක්තිමත් වෙද්දි ඒ විදිහටම තවකෙක්ට උදව් කරන්න, නැගිටින්න ශක්තිය දුන්නට පස්සේ කෙනකුට පුළුවන් තමන්ගේ ශක්තියත් විශ්වාසයත් එකතු කරගෙන තමන්ගේ ගමන යන්න. මම එදා ඒ බෙර ගැන වීඩියෝ එකක් කරලා ඒවා විකුණන්න දැම්මා. දවස් තුනක් යද්දි බෙර ඔක්කොම විකිණුනා.
නුවර ඉස්කෝල ගමනින් පසු සිංගප්පූරුවෙන් ඉගෙනගෙන හොංකොං හි ජීවත් වෙමින් අවසානයේ නවසීලන්තයට ගිය නිශාන්ත අද වෙද්දී නවසීලන්තයේ ලක්දිව් සුපර් මාර්කට් හි අධිපතිත්වය දරන ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකි. ලක්දිව් නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දෙමින් එම නිෂ්පාදන ඔස්සේ තවත් විශාල පිරිසකට ආර්ථිකමය අවස්ථා සලසා දුන් හිත හොඳ මිනිසෙකි. ලංකාවේ නිෂ්පාදන ලක්දිව් සුපර් මාර්කට් වෙත අපනයනය කරගත් ලංකාවට ඩොලර් උත්පාදනය කරන අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකි. කිසිදු විටෙක ඒකාධිකාරිත්වයක් තුළ ඉපයීම සහ රජවීම තම පරමාර්ථය කර නොගත් සංවේදී සෞන්දර්යාත්මක මිනිසෙකි.
ඉතින් කියන්න ලක්දිව් නිෂ්පාදන ගැන?
රතු හාල්, සුදු හාල්, සම්බා හාල්, මේ විදිහට හාල් වර්ග ගණනාවක් අපි නිෂ්පාදනය කරනවා. ඇත්තටම මගේ ලක්දිව් සුපර් මාර්කට් එකට මම ලංකාවෙන් බඩු හුඟාක් අපනයනය කරනවා. මම සාම්ප්‍රදායිකත්වය ඔස්සේම නවතාවයන් හොයාගෙන යන්න, අලුත් වෙනස් වෙනස් දේවල් කරන්න කැමති කෙනෙක්. නිර්මාණශීලී දේවල් කරන්න කැමති කෙනෙක්. නවසීලන්තයට පළමුවෙන්ම මිරිස් ගල් ගෙනාවේ මම. අද වෙද්දි ඉන්දියානුවන්ගෙන් පිජී ජාතිකයන්ගෙන් මිරිස් ගල් සඳහා ඇනවුම් ලැබිලා තියෙනවා. මැටි වළං මගේ සුපර් මාර්කට් එකේ තියෙනවා. මැටි වළං හදන කවුරුන් හෝ නිෂ්පාදකයෙකුට මම එතෙන්දි විශාල ශක්තියක් වෙලා තියෙනවා. ඇත්තටම විවිධ නිෂ්පාදන විශාල සංඛ්‍යාවක්, තේ වර්ග, කල්ක වර්ග, මේ ආදී වශයෙන් නැති දෙයක් නැති තරම් වගේ සංකල්පයකින් තමා මම ලක්දිව් සුපර් මාර්කට් පවත්වාගෙන යන්නෙ.
යක් බෙරයට, දවුලට, තම්මැට්ටමට, ලී කැටයමට, ගල් කැටයමට, වෙස්මුහුණට ඈත රටක වුව වෙළෙඳපොළක් නිමවනු වස් වෙහෙසුණු සහ අදටත් වෙහෙසෙන නිශාන්තගේ ව්‍යාපාරික වපසරියේ විවිධත්වය සහ වෙනස විවිධ දිශානතින් තුළ විහිදී පැතිරී පවතී.
මේ වෙද්දි කැනඩාවෙන් ඉල්ලීමක් තියෙනවා ලක්දිව් නිෂ්පාදන සඳහා. මේ ආකාරයේ විවිධ ඉල්ලීම් ලක්දිව් කියන මගේම නිෂ්පාදනවලට ලැබීම මට ආත්ම සතුටක්. ඒ සතුට මෙච්චරක් කියලා වචනයෙන් නිර්වචනය කරන්න මම දන්නෙ නෑ. එතෙන්දි මම ලබන සතුට සිය දහස් අනන්ත ගුණයක් මට වැඩියෙන් දැනෙන්නේ තවත් කවුරුන් හෝ ආර්ථිකමය වශයෙන් ගොඩනගන්න මම මේ නිෂ්පාදන වෙළෙඳපොළ ඔස්සේ දායකත්වය දෙනවා නේද කියන හිතුවිල්ලෙන්. ලංකාවට ඩොලරයක් හරි මම ලැබෙන්න සලස්වනවා නේද කියන හිතුවිල්ලෙන්.
මම හැමදාම හිතන දෙයක් තමයි කවදාවත් තමන් විතරක් තනියෙන් ගොඩනැගෙන්න උත්සාහ කරන්න හොඳ නෑ. මම ඒක කවදාවත් කරන්න කැමති නෑ. මම එහෙම කරන්නෙත් නෑ. තවත් පරපුරකට අවකාශ සැලසීමේ පරමාර්ථය මට තියෙනවා. තවත් ව්‍යාපාරිකයකුට ගොඩනැගෙන්න අපි උදව් කරන්න ඕනෑ. අපි තරග කරන්න ඕනෑ තවත් රටක් එක්ක මිසක් අපේ ජාතියේ මිනිස්සු එක්ක නෙවෙයි. අපි එකිනෙකාට උදව් කරමින් එකමුතුව ගොඩනැගෙන්න ඕනෑ. කොතනකවත් ඒකාධිකාරයක් හදලා තමන් විතරක් රජ වෙන්න හදන හිතුවිල්ලම මම දකින්නෙ විශාල භෞතික සහ ආධ්‍යාත්මික දුප්පත්කමක් සහ පරාජයක් විදිහටයි.
ආත්මාර්ථයෙන් තමන් පමණක් දිනන්නට සන්නද්ධ වන බහුතරයක් කෘත්‍රිම මිනිසුන් අතර මහ පොළොවේ දෙපතුල් තබා ඇවිද යන ආදරණීය ස්වභාවික මිනිසෙකු වූ නිශාන්තගේ දැක්මට මම හාදුවක් සමඟ ස්තූතියේ මල් කළඹක් පිරිනමමි. ඔබට හදවතින්ම ඉතින් ස්තූතියැයි කියමි.
මේ සියල්ල අතරේ ආහ්... කෙතරම් අගේදැයි සිතෙන්නේ ඉතාමත් ඉක්මනින් තවත් ව්‍යාපාරික ඇරඹුමක අවසන් අදියරේ කටයුත්තක නිශාන්ත මේ වෙද්දී නියැලී සිටින නිසාය. එනම් අධිශීත කළ ක්‍රියාවලිය තුළ එළවළු හා පළතුරු වර්ග තිහකට ආසන්න සංඛ්‍යාවක් ලංකාවෙන් නවසීලන්තයට ගෙන එන්නට මේ වෙද්දි නිශාන්ත ලකලෑස්ති වෙමින් සිටින නිසාය. කොස්, දෙල්, පොලොස්, තුඹ කරවිල, වෙරළු, අඹ, අලුකෙසෙල්, ඇඹරැල්ලා, කොස්ඇට, මුරුංගා, වරකා, පතෝල, රඹුටන් ආදී මේ පොළොවේ ඡන්මලාභය ලද දේශීය එළවළු හා පළතුරු රැසකට නිශාන්ත නවසීලන්තයේ කදිම වෙළෙඳපොළක් නුදුරේම විවර කරනු ඇත. ඒ වෙළෙඳපොළ නවසීලන්ත පොළොව සීමාවෙනුත් ඔබ්බට ජාත්‍යන්තරය දක්වා දිනෙක විහිද යනු දැකීම මේ මොහොතේ මගේ ප්‍රාර්ථනාවයි. මේ ඔස්සේ ඈත ගම්බද ගොවීන්ට, ග්‍රාමීය ජනතාවට ඔහු සලසාලන ආර්ථිකමය සහනය සහ ශක්තිය මෙතෙකැයි විවරණය කරන්නට ඉතින් මම වදන් නොසොයමි. රත්තරන් හදවතක් දරාගත් මේ ආදරණීය මිනිසාට අනේක වාරයක් ඉවත නොහල ලාංකිකත්වය සහ මනුෂ්‍යත්වය වෙනුවෙන් මම ස්තූතියැයි කියමි.
තවද මෙම ව්‍යාපාරික ජාලයට අනාගතයේ තවත් බොහෝ දෑ විවිධ ව්‍යාපාර ප්‍රභේද ඔස්සේ නිශාන්ත එක් කරනු නියතය. ඒ නිශාන්ත යනු ජීවිතයේ කන්ද මුදුනටම නගින්නට පියගැටපෙළ නිමවන මිනිසෙක් මිස එකදු පඩියක් හෝ පඩිපෙළෙන් අත්නොහරින මිනිසෙකු ලෙස මගේ කියවීම තුළ මම හඳුනාගන්නා නිසාමය.
krystal Holding LTD අධිපති - නිශාන්ත ආරියවංශ ගැන ලියන ඊළඟ පරිච්ඡේදය මම නිශාන්ත තුළ හුස්මක් ගන්න සෞන්දර්යාත්මක අමුතු මිනිසා හඳුනාගත් පරිච්ඡේදයයි. අධිමාත්‍ර යන නාමය ප්‍රසංගයකට එක් කරමින් අධිමාත්‍ර නමින් ප්‍රසංගයක් මුල්වරට නවසීලන්තයට කැටුව ආ රසවතා ඔහුය. නුරා වසන්තය නිමවමින්, දාංගලේට කවුළු පියන්පත් හරිමින් ප්‍රසංග සඳහා දැනෙන අමුතු ලස්සන නම් තබන්නට ඇති සුමට හැකියාව ගැන නිශාන්ත කිසිවක් නොකීවත් අපට දැනේ.
එක්තරා කාලයකදී තරුණයන් හා එක්වී අවුරුදු උත්සව, දන්සල්, තොරණ ආදී මිශ්‍රිත සංස්කෘතියක් නවසීලන්තයේ නිමවන්නට දායකත්වය දුන් නිශාන්ත ක්‍රිස්ටල් ඉවෙන්ට් ඔස්සේ කලාව හා යාවූ ආදරය නවසීලන්තය පුරා විහිදුවමින් සිටී. නාද බෑන්ඩ්, නදීමාල් නවසීලන්තයට මුල්වරට පැමිණෙන්නේ නිශාන්ත නිර්මාණය කළ අවකාශය තුළය. මේ වනවිට තවත් ප්‍රසංග ගණනාවක් වෙනුවෙන් නිශාන්ත සූදානම්ය. තවත් ව්‍යාපාරික සහ කලා කටයුතු රැසක් සඳහාම නිශාන්ත සූදානම්ය. ඒ අතරෙහි ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ කාර්යයක්ද නවමු ප්‍රවේශයක් තුළ ඔහු නිර්මාණය කර ඇත. එහෙත් ඒ සියල්ල අබිමුව අප්‍රමාණ කාර්යබහුලත්වය තුළ ඔහු හුස්මක් වැටෙන නිසා ජීවත්වන මිනිසෙකු නොවී හුස්මක් ගන්න බව දැනෙන්නට ජීවත්වන මිනිසෙකු ලෙස ජීවිතය ආදරයෙන් විඳින කියවන මිනිසෙකි. තවද අලි ඇතුන් කෙරේ අසීමිත ආදරයක් දක්වන නිශාන්ත ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් එතෙර හිඳ නවමු ප්‍රවේශයක් ඔස්සේ සංචාරකයන් හරහා දැනෙන යමක් කිරීමටද මේ වනවිට සැලසුම් කරමින් සිටී.
GLOBAL FEDERATION ඔස්සේ ලාංකික ආර්ථිකයට ශක්තියක් වෙන්නට යත්න දරන නිශාන්ත ආරියවංශ පැවසූ මේ වදන් මම එලෙසින්ම සටහන් කර තබමි.
‘Event’ මුදලාලි කෙනෙක් කියන්නෙයි ‘Event’ සංවිධායකවරයෙක් කියන්නෙයි දෙන්නෙක්. මට කවදාවත් ‘Event’ මුදලාලි කෙනෙක් වෙන්න ඕනෑ නෑ. ලාභය අරමුණු කිරීම ව්‍යාපාරයක් පවත්වා ගැනීමේදී අත්‍යවශ්‍යයි. මොකද ව්‍යාපාරයේ පැවැත්මට එය තීරණාත්මක සාධකයක්. ඒත් ජීවිතයේ එකම පරමාර්ථය මුදල් සහ ලාභය නොවිය යුතුයි. මම හැමවිටම මිනිසුන්ට සහ මනුෂ්‍යත්වයට වටිනාකමක් දෙන මනුස්සයෙක්. අනිත් එක අපි යම් දෙයක් කරනවානම් ඒ දෙයට ගෞරවය සහ ආදරය පුද කළ යුතුමයි. මම මගේ හැම ව්‍යාපාරයක්ම කරන්නේ ඒ ගෞරවය සහ ආදරය පෙරදැරිවයි. නොවැම්බරයේ තව අලුත් වැඩක් වෙනුවෙන් මම ලංකාවට එනවා. ඒ ගැන අපි නොවැම්බරයේම කතා කරමු. අනික් කාරණය මම ප්‍රසංග සඳහා ගෙන්වන හැම කලාකරුවෙකුටම මට හැකි උපරිමයෙන් ගෞරවයෙන් සහ ආදරයෙන් සලකනවා.
යමක් ගොඩනැගීමටත් වඩා වරෙක අසීරු වන්නේ එය පවත්වාගෙන යාමයි. එහි ගුණාත්මක වටිනාකම සුරක්ෂිත කර ගැනීමයි. ආදරය යනු ආදරයම මිස අන් කවරක්දැයි තේරුම් ගැනීමයි. ඒ ඔස්සේ ජීවිතයට අරුත් සැපයීමයි. මා නිශාන්තගේ මනුෂ්‍යත්වයෙන් උණුහුම් පිරිමි පපුව විනිවිද හඳුනාගන්නේ ඒ සියල්ලෙහි අසංවාදී රසයයි. සුවඳයි.
• සංජීවිකා සමරතුංග