ජීවිතය යනු අරුම පුදුම නවාතැනකි. මනුසත් බවක් ලැබීමම ඉතා දුෂ්කර කාර්යයකි. ඒ අතරින් කාන්තාවක් වී උපත ලැබීම යනු සැබැවින්ම අභියෝගයකි. කාන්තාවකට ජීවිතයේ එක් කුඩා සංධිස්ථානයක් වැරදුණහොත් එය ඇගේ ජීවිතය පසුපස අඳුරු සෙවණැල්ලක් මෙන් හඹා එනු ඇත. ඇයව රිදවනු ඇත. ඉන් නොනැවතී ඇගේ දූ දරුවන් ඇතුළු මුළු පවුලටම එය සාපයක් වන අවස්ථාද දැකගත හැකිය. මෙය මේ මහ පොළොව මත ඇති කුරිරු යථාර්ථයකි. මේ යථාර්ථය අපූරු වචනවලින් චිත්ත රූප මවමින්ද, විටෙක කියවන්නා වූ අප හඬවමින්ද තවත් විටෙක අමුතුම ලෝකයකට රැගෙන යමින්ද පාඨකයාට උපරිම රසාස්වාදයක් ලබාදෙන පොතක් වශයෙන් ප්‍රීති රන්දෙනියගේ ‘භානුට පිස්සු’ නවකතාව හඳුන්වා දිය හැකිය.
‘භානුට පිස්සු’ නවකතාව රස කර කියවූවන් අතර මමද එක් අයෙක් වීමේ භාග්‍ය ලද්දෙමි. සැබවින්ම මෙය මහ පොළොවේ යථාර්ථය හරි අපූරුවට ගෙත්තම් කරන්නක් බවනම් කිව යුතුමය. මේ සටහන තබන්නා වූ මොහොතේදී පවා භානුමතියගේ අහිංසක ඇස් මා හමුවේ මැවී පෙනේ. ඉඳහිට වයලට් නෝනා ද පැමිණ මාගේ මතකයෙහි එබිකම් කරන්නීය. තමාගේ වරද පාපොච්චාරණය කරන්නීය. සැබවින්ම කියවූ පොත් අතර ඉතාම විශිෂ්ට ගණයේ පොතක් ලෙස මෙය හඳුන්වාදීමට අවසර පතමි. අද හදසර හෘදයාංගම කතාබහ ‘භානුට පිස්සු’ නවකතාවේ රචිකාවිය වූ ප්‍රීති රන්දෙනිය සමඟ මෙසේ දිගහැරෙන වගයි.
‘භානුට පිස්සු’ ගැන වචනයක් කතා කරමු?
‘භානුට පිස්සු’ කියන්නේ මගේ හත්වැනි නවකතාව. ඇත්තටම මට එහෙම විශිෂ්ට නවකතා ලියන්න පුළුවන්ද, විශිෂ්ට නවකතාකාරියක්ද කියලා මම දන්නේ නැහැ. නමුත් මගේ හිතට එන දේවල්, දැකපු දේවල්, සත්‍ය තොරතුරු හැමදේම එකතු කරගෙන ඒ ඔස්සේ ලේඛන කලාව කරගෙන යනවා. දැන් ළඟ ළඟම සාහිත්‍ය උත්සවය එනවා. සමහරු සාහිත්‍ය උත්සවය මූලික කරගෙනම පොත් රචනා කිරීමේ යෙදෙනවා. නමුත් මේ නවකතාව සාහිත්‍ය උත්සවය වෙනුවෙන් ලියපු පොතක් නෙමෙයි. ටිකක් කාලය අරගෙන හිතලා ලියපු කතාවක්.
මේ අපූරු නවකතාව ලියන්න පාදක වුණු සිදුවීමක් තියෙනවද?
ඇත්තටම මේ නවකතාව ලියන්න මට අත්දැකීම් තියෙනවා. උමතු ස්ත්‍රියක් මම ආශ්‍රය කරලා තියෙනවා. ආශ්‍රය කළා කියන්නේ, ඒ වගේ අය හැසිරෙන විදිහ, කතා කරන මම දන්නවා, දැකලා තියෙනවා. ඒ වගේ පුද්ගලයන්ව මේ සමාජයෙන් මොන තරම් ප්‍රතික්ෂේප වෙනවද, මානසික සංකූලතා තියෙන පුද්ගලයන්ට මේ සමාජයෙන් කොච්චර තාඩන පීඩන එල්ල වෙනවද, මේ හැමදේම ගැන මට අත්දැකීම් තියෙනවා. මම ඒ දේවල් දැකලා තියෙනවා. සැබෑ ජීවිතයේ මම දැකපු චරිතවලින් මේ කතාවට අවශ්‍ය පසුබිම සහ චරිත මගේ මනසේ නිරායාසයෙන්ම ගොඩනැගිලා තිබුණා. මේ පොතේ ඉන්න චරිතයම නෙමෙයි. නමුත් මේ චරිතයට සමාන ලක්ෂණ තියෙන චරිත සැබෑ ලෝකයේ මට හමුවෙලා තිබෙනවා. ඉතින් මේ වගේ දේවල් දැකලා ඒ ගැන අදහසක් හිතට ආවාම ඒක නොලියා ඉන්න බැරි තැනකදී තමයි ‘භානුට පිස්සු’ නව කතාව ලියන්න පටන්ගත්තේ.
‘භානුට පිස්සු’ තුළින් ඔබ සමාජයට දෙන්න උත්සාහ කරන පණිවුඩය ගැන කතා කළොත්?
ඇත්තටම මම මේ නවකතාව තුළින් බණ කතාවක්වත්, මෙහෙම කරන්න ඕනෑ කියලා කතාවක්වත් කියන්න හදනවා නෙමෙයි. මම ඉතාම තදින් ධර්මය විශ්වාස කරනවා. එතකොට කර්මය ගත්තොත් අපි කරන දේ අනුව තමයි අපිට හොඳ හෝ නරක ප්‍රතිඵල ලැබෙන්නේ. හොඳ දෙයක් වැපිරුවොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. නරක දෙයක් වැපිරුවොත් ඒකෙන් ලැබෙන ප්‍රතිඵලයත් නරකයි. ඒක මගේ හිතට ගොඩක් තදින් කා වැදුණු දෙයක්. මට මේ චරිත ගොඩනගනකොට ඒක ඉස්මතු කරලා පෙන්වන්න හිතුණා. ඒ කියන්නේ අපේ වපුරන දෙය තමයි ලබාගන්නේ කියන එක. ඒක තමයි මට දෙන්න උවමනා කරලා තිබුණු පණිවුඩය.
මේ නවකතාව ඔබගේ ලේඛන දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ ගැන කතා කරමු?
ඒක තීරණය කරන්න මම බාරදීලා තියෙන්නේ ආදරණීය පාඨකයන්ට. ඔවුන් නවකතාව කියවලා මේක හොඳයිද නැද්ද කියලා ලැබෙන ප්‍රතිචාරවලින් තමයි ‘භානුට පිස්සු’ නවකතාව මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක්ද නැද්ද කියන දේ තීරණය කරන්න වෙන්නේ. එකිනෙකාගේ කියවීමේ රසය විවිධාකාර නිසා හැමදෙනාටම මේ නවකතාව රුචිද අරුචිද කියලා මම දන්නේ නැහැ. කොහොම වුණත් නවකතාව කියවලා පාඨකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ඇත්තටම මට ගොඩක් වටිනවා. ඒ වගේම මම හිතනවා මේ නවකතාවට හොඳ ප්‍රතිචාර ලැබේවි කියලා.
ප්‍රිති ලේඛන කලාවට යොමුවුණු විදිහ ගැන කතා කළොත්?
ඇත්තටම ලේඛිකාවක් වෙන්න ඕනෑ කියලා හීනයක් මට කවදාවත් තිබුණේ නැහැ. මගේ ජීවිතයේ මඟහැරුණු තැන් කිහිපයක් තිබුණා. මොකද මම නිළියක් වෙන්න ඕනෑ කියලා බොහොම ආසාවෙන් සිනමා ලෝකයට ආපු කෙනෙක්. නමුත් මට ඒක මඟහැරුණා. සමහර විට ඒ නිසා ඇතිවුණු හිතේ දුකට ලේඛනයට යොමුවෙන්න ඇති කියලා හිතනවා. ඇත්තටම විවාහයෙන් පස්සේ දරුවෝ තුන්දෙනෙකුගේ වගකීම තනියම දරන්න සිද්ධ වුණා. මහත්තයාට දුර පළාත්වල රූගත කිරීම්වලට යන්න සිද්ධ වුණා. ඒ දේවල් එක්ක පවුලේ ලොකු වගකීමක් දරන්න එයාට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඉතින් ඒ වගකීම් එක්ක මට මඟහැරුණු දේවල් එක්ක ලේඛනයට මාව පෙළඹුණා වගේ හැඟීමක් තමයි මට තියෙන්නේ. නිළියක් වීමේ සිහිනය බොඳ වුණත් කලාවෙන් ඉවත් නොවී එහිම ජීවත් වෙන්න මට අලුත් දොරටුවක් විවර වුණා කියලා මම විශ්වාස කරනවා.
ඔබට ලැබෙන පාඨක ප්‍රතිචාර ගැනත් කතා කරමු?
ඇත්තටම මට හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. ඒ නිසාම තමයි මට මෙච්චර දුර එන්න පුළුවන්කම ලැබුණේ. හොඳ ප්‍රතිචාර නොලැබුණානම් මම ලියපු පළවෙනි පොතෙන්ම “අයියෝ මට ලියන්න බැහැ” කියලා පැත්තකට දාලා නිකන් ඉන්න තිබුණා. හැබැයි එහෙම වුණේ නැහැ. මුල ඉඳලම මට හොඳ පාඨක ප්‍රතිචාර ලැබුණා. මගේ පොත් කියවන හැමෝම කතා කරලා කිව්වේ “පුදුම ලස්සනයි, ඔයාට ගොඩක් ලස්සනට ලියන්න පුළුවන්, ඔයාට අපිට දැනෙන්න ලියන්න පුළුවන්” කියලා. ඒ කියන්නේ පාඨකයාට සංවේදී වෙන්න, පාඨකයා සතුටුවෙන විදිහට මම ලියනවා කියලා. ඔවුන් කියන තව දෙයක් තමයි මේ පොත්වල තියෙන චරිත, අපි දැකලා තියෙන ඇත්තම ලෝකයේ ජීවත්වෙලා ඉන්න චරිත විදිහටම ගොඩනගලා තියෙනවා කියන එක. “අනේ නියමයි. ඇත්තම ජීවිතයේ මේ වගේ චරිතයක් තිබුණා. ඔයා කොහොමද මේක ලිව්වේ” වගේ ප්‍රතිචාර මට නිරන්තරයෙන් ලැබෙනවා. මම ලිව්වා ‘කැට කිරිල්ලී’ කියලා පොතක්. එකේ තියෙන්නේ ලංකාවේ ජීවත්වෙලා විවාහවෙලා ඕස්ට්‍රේලියාවට යන දියණියකට සිදුවන දෙයක්. ඒක සත්‍ය සිදුවීමක්. ඉතින් මම ඒක බොහොම ලස්සනට ගලපලා ලිව්වා. ‘කැට කිරිල්ලී’ පොත කියවපු අම්මලා දෙන්නෙක් මට හමුවෙලා මගේ අතින් අල්ලගෙන කිව්වා, “මගේ දුවගෙ කතාව ඔයා කොහොමද ලිව්වේ” කියලා. ඒ අවස්ථාවේ ඒ අම්මලාට ඇඬුණා. “අනේ මගේ දුවටත් මේ වගේම දෙයක් වුණා. ඔයා කොහොමද බලාගෙන හිටියා වගේ ඒ සිදුවීම්, ඒ අවස්ථා ඒ විදිහටම ලිව්වේ” කියලා ඇහුවා. එතකොට ඒක සමාජයේ පොදු අත්දැකීමක් බවට පත්වෙලා තියෙනවා. ඉතින් මෙහෙම ලැබෙන හොඳ ප්‍රතිචාරත් එක්ක මම තවත් ඉදිරියට ලියන්න පෙළඹිලා තියෙනවා. එතකොට තමයි මට දැනෙන්නේ මම ලේඛිකාවක් කියලා. මොකද “පාඨකයන්ට දැනෙන්න ලියන්න පුළුවන්, මම ලියන දේවල් හරිම ආසාවෙන් කියවන්න පාඨකයන් පිරිසක් ඉන්නවා” කියන්නේ ඇත්තටම ලේඛිකාවකට සතුටු වෙන්න හොඳ හේතුවක්.
තාක්ෂණයේ දියුණුවත් එක්ක අද වෙනකොට බොහෝ දෙනා මුද්‍රිත පොත් කියවීමෙන් ඈත්වෙලා. බොහෝ දෙනා මුද්‍රිත පොත් වෙනුවට pdf කියවන්න පුරුදුවෙලා. මේ ගැන ප්‍රිතිගේ අදහස මොකක්ද?
පෞද්ගලිකව ගත්තොත් මට කොහොමත් තාක්ෂණයත් එක්ක රැඳෙන්න අමාරුයි. අලුත් දේවල් එක්ක ඉදිරියට යන්න ඕනෑ කියලා මම හොඳටම දන්නවා. නමුත් මම හැදුණු පරිසරයත් එක්ක, ගහකොළ සතා සිවුපාවා එක්ක ගැවසෙන්න මම හරිම ආසයි. මට තාක්ෂණයත් එක්ක මුහුවෙන්න, පොතක pdf එකක් කියවන්න කැමැත්තක් නැහැ. අපි පොතක් අරගෙන කියවනකොට ඒ පොතේ සුවඳ විඳින ගමන් ඒකට සමවැදිලා විඳින රසය අලුත් තාක්ෂණයේ නැති හින්දා වෙන්න ඇති. හැබැයි මම හිතනවා මේ ක්‍රමය අලුත් පරම්පරාවට ගොඩක් හොඳයි කියලා. මොකද බස් එකේ කෝච්චියේ යන ගමන් අපිට පොතක් කියවන එක හරි අමාරුයිනේ. නමුත් ජංගම දුරකතනයෙන් pdf එකක් කියවන්න තරුණ පිරිසට පුළුවන්. මොකද අපේ කාලයේ වගේ වෙලාව අරගෙන එළියට ගිහිල්ලා, ගහක් යට වාඩිවෙලා, නිස්කලංකව පොතක් කියවන අවස්ථාව වර්තමානයේ තරුණ පරම්පරාවට අහිමිවෙලා තිබෙනවා. ඉතින් මම හිතනවා ඒක නරක දෙයක් නෙමෙයි. මොකද තාක්ෂණික දියුණුවත් එක්ක අපිට ටික ටික ඒකට හුරුවෙන්න වෙනවනේ. ඉතින් මම හිතනවා අලුත් පරම්පරාව මේ විදිහට හරි කියවීමට යොමුවෙන එක වටිනවා කියලා.
ඔබගේ අනාගත සැලසුම් හා බලාපොරොත්තු ගැන කතා කළොත්?
මට ඉදිරි බලාපොරොත්තු කියලා එහෙම කිසිම දෙයක් නැහැ. මට තිබුණු ලොකුම බලාපොරොත්තුව මගේ දරුවෝ තුන්දෙනා. දැන් එයාලා විවාහ වෙලා දරුවෝ ලැබිලා සතුටින් එයාලගේ ජීවිත හදාගෙන ඉන්නවා. ඒක මට ලොකු සතුටක්. ඇත්තටම කියනවනම් අපි දැන් මැදි වයසත් පහුකරලා අන්තිම කාලෙට ඇවිත් ඉන්නේ. මේ ජීවිත කාලය සතුටින් ගත කරලා අවසානයේදී සුවදායක මරණයක් බලාපොරොත්තු වෙනවා. ඒක තමයි මගේ පළවෙනි බලාපොරොත්තුව. ජීවත්වෙලා ඉන්නකම් නිදුක් නිරෝගීව ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. වෙන විශාල බලාපොරොත්තු නම් මගේ ජීවිතේ නැහැ.
• මංගලා පවිත්‍රානි