විඩාබර දෑසට සහ මනසට සුන්දර සන්සුන් වර්ණ ගෙන එන්නේ භාවනාත්මක නිදහසකි, සුවයකි, සංයමයකි. මේ වර්ණ ඒකරාශී වී මවන්නා වූ හැඩතල චිත්‍ර සහ මෝස්තර අද වනවිට භාවමය වටිනාකම්වලින් ඔබ්බට ගොස් ආර්ථික වටිනාකම්වලද හිනිපෙත්ත දක්වා වර්ධනය වී තිබේ. ඉතින් නුදුරේදීම පැවැත්වීමට නියමිත, සිත් නෙත් සනසන මෝස්තර නිර්මාණ සහ සිතුවම් එකතුවක් REFLECTIONS නමින් එළිදැක්වීමට පෙරමං බලන, ප්‍රවීණ පිරි සැලසුම් නිර්මාණ ශිල්පී සහ විලාසිතා නිර්මාණ ශිල්පී සාලිංග ගුණසේකර සමඟ හදසර සිදුකළ සුහද කතාබහයි මේ.
ඔබ ගැන කෙටි හැඳින්වීමක් කරන අතරතුර මෝස්තර නිර්මාණකරණයේ ආරම්භය ගැන මතක සටහනක් තබමු?
මගේ නම සාලිංග ගුණසේකර. මම අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයෙන්. මම චිත්‍ර කලාව ඉගෙනගත්තේ දිවංගත ලයනල් රණවීර ගුරුතුමා යටතේ. මම පාසල් කාලයේ සමස්ත ලංකා නාට්‍ය තරග රාශියකින් ජයග්‍රහණ ලැබුවා. ජාත්‍යන්තර රන් පදක්කම් ලැබුවා. තාමත් ආනන්ද විද්‍යාලයේ චිත්‍ර අංශයෙන් වැඩිම ජයග්‍රහණ ගණනක වාර්තාව තියෙන්නේ මට. පසුව චිත්‍ර ගුරුතුමාගේ මගපෙන්වීම අනුව කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. එහිදී මම බහුශික්ෂණාත්මක නිර්මාණ පිරි සැලසුම් විශේෂවේදී උපාධිය ලබාගත්තා. එහිදී සරත් සූරසේන මහතා හඳුනාගන්න ලැබුණා. ඔහු ජාතික මෝස්‌තර මධ්‍යස්ථානයේ හිටපු සභාපති. ඔහුගේ මගපෙන්වීම අනුව මම පිරි සැලසුම් නිර්මාණකරණයේ යෙදුණා. විශ්වවිද්‍යාලයේ ඉන්න අවධියේම මම ඔහුගේ බොහෝ ව්‍යාපෘතිවලට දායක වුණා. ඒ ඔස්සේ අත්දැකීම් රාශියක් ලැබුවා. විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු අවසන් වූ බටලියේ ජාතික කෞතුක වස්තු ආයතනයේ කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කළා. එහි වසරක සේවයෙන් පසුව බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන පිරි සැලසුම් උපදේශක වශයෙන් කටයුතු කළා. එවකට අධ්‍යක්ෂිකා වශයෙන් කටයුතු කළ බස්නාහිර පළාත් සභාවේ විනීතා සෙනෙවිරත්න මහත්මියගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. මගේ නිර්මාණ කටයුතුවලට ඇයගෙන් ලොකු නිදහසක් ලැබුණා. ඒ අනුව මම ලංකාවේ ප්‍රථම වරට අත්යන්ත්‍ර පේෂ කර්ම රෙදිවලින් වෙළෙඳපොළට නව නිර්මාණ රාශියක් කළා. ඒ එක්කම මම විශ්වවිද්‍යාලයේ ඉන්න අතරතුර ලංකාවේ ඉපැරණි මෝස්තර නිර්මාණ ශිල්පී ක්‍රමයක් වන උඩුදුම්බර රටා වියමන ගැන පර්‌යේෂණයක් කළා. ඊට පසුව මම උඩුදුම්බර රටා අනුව නව නිර්මාණ කළා. බස්නාහිර පළාත් සභාවේ ඉන්න කාලේ ‘විචිත්‍ර වියමන්’ නමින් ප්‍රදර්ශනයක් පවා කළා. ඊට පසුව බස්නාහිර පළාත් සභාවේ අනුග්‍රහය ඇතිව Oxford Dyeing Pvt. Ltd. ආයතනයේ සමාරම්භක උත්සවයේ විලාසිතා දැක්මට මගේ බොහෝ නිර්මාණ ඉදිරිපත් කළා. එය මගේ ප්‍රථම විලාසිතා දැක්ම විදිහට සලකන්න පුළුවන්. මම විවාහයෙන් පස්සේ බ්‍රිතාන්‍යයට ආවා. පසුව මම ලන්ඩන් හිදී පශ්චාත් අධ්‍යයන කටයුතුවල නිරත වුණා.
සංස්කෘතිය අතින් හාත්පසින්ම වෙනස් විදේශ රටකදී නිර්මාණකරණයට ලැබුණු ඉඩකඩ සහ එයින් ඔබ ලද තෘප්තිය ගැන කතා කළොත්?
වර්ණ සහ මෝස්තර අතර සැරිසැරීම, මම පුදුමාකාර මානසික තෘප්තියක් ලබපු දෙයක්. අදටත් ලබන දෙයක්. ඇත්තටම මගේ මෝස්තර නිර්මාණ ශිල්පය ඇඳුම්වලට විතරක් සීමා වුණේ නැහැ. මම විවිධ නිර්මාණ කළා සහ කරනවා. ලංකාවේ ඉඳලා එංගලන්තයේ පදිංචියට ගිය පසුව යම් යම් තැන්වලදී ජීවිතය වෙනස් වුණත් මේ ශිල්පයට මගේ තිබුණු ආදරය සහ ආශාව අඩු වුණේ නැහැ. ජීවත්වෙන රට, සංස්කෘතිය, හිතමිතුරු බැඳීම්වල ස්වභාවය කොහොම වුණත් ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික අතීත සැරසිලිවලට, සංස්කෘතික අංග සහ වර්ණවල තිබුණු හිත නිවන ස්වභාවය කවදාවත් වෙනස් වුණේ නෑ. මම එංගලන්තයට ඇවිත් අපේ තියෙන හැඩතල සහ තාක්ෂණය කියන දේ නව ලෝකයට ගලපාගන්නේ කොහොමද කියන එක ගැන පර්‌යේෂණ කළා. අපේ තාම තියෙන්නේ පාරම්පරික රටා. එතැනින් එහාට යන දේවල් සෑහෙන්න තියෙනවා. මම අවුරුදු 30කට කලින් යනකොට තිබුණු නිර්මාණවලට එහා ගිය දෙයක් තාම දකින්නේ නැහැ. හැබැයි ඉන් එහා හුඟාක් දුර යන්න පුළුවන් කියන එක මම හිතනවා. ඒ නිසා ඉදිරියේදී ලංකාව එක්ක වැඩ කරන්න අවස්ථාව ඇවිත් තියෙනවා. මම හිතනවා මම නවත්වපු තැනින් ගොඩක් දුර යන්න පුළුවන් කියලා.
නුදුරේදීම පැවැත්වීමට නියමිත මෝස්තර නිර්මාණ සහ චිත්‍ර ප්‍රදර්ශනය ගැන කතා කරමු?
ලයනල් වෙන්ඩ්ට් හිදී තමයි මෙය පැවැත්වෙන්නේ. අගෝස්තු 29 සවස ආරාධිත අය වෙනුවෙන් මේ නිර්මාණ එළිදැක්වීම සිදුකරලා 30 සහ 31 දෙදින ලයනල් වෙන්ඩ්ට් හි The Harold Peiris Gallery හිදී පොදු රසිකත්වයට මේ නිර්මාණ බැලීමේ අවස්ථාව අපි සලසා දී තියෙනවා.
අවසාන වශයෙන් විවෘත ආරාධනාවක් කරනවද ඔබ කලාවට ආදරය කරන රසිකයන්ට?
මම මගේ නව නිර්මාණ වෙළෙඳපොළට යෝග්‍ය වන ආකාරයෙන් කරලා තියෙන ආකාරය බලන්න සහ පර්‌යේෂණ මට්ටමින් අත්හදා බලපු මගේ චිත්‍ර නිර්මාණ රසවිඳින්න 30 සහ 31දෙදින ලයනල් වෙන්ඩ්ට් හි The Harold Peiris Gallery එකට පැමිණෙන්න කියලා අපේ කලා රසිකයන්ට විවෘත ආරාධනාවක් කරනවා.
2025 අවුරුද්දේ මෝස්තර නිර්මාණ සහ චිත්‍ර නිර්මාණ එකතුවක් කරන්න පසුබිම හැදුණේ කොහොමද?
මගේ යෙහෙළියක් වන සරෝජා ධර්මදාස සමඟයි මම මේ ප්‍රදර්ශනය කරන්නේ. මේ අවුරුද්දේ මම ලංකාවට එනවා කිව්වාම ඇය තමයි කිව්වේ එහෙනම් අපි අපේ නිර්මාණ එකතුවකින් ප්‍රදර්ශනයක් කරමු කියලා. මම බොහොම කැමති වුණා ඒකට. මොකද මගේ එංගලන්තයේ ඉන්න මිතුරන් පවා මගෙන් ඉල්ලීමක් කළා මගේ නිර්මාණ එළිදැක්වීමක් කරන්න කියලා. ඒ අය මට නිතර දෝෂාරෝපණ පවා කළා, මම මගේ තියෙන නිර්මාණශීලී හැකියාවන්ගෙන් ලංකාවට වැඩක් කරන්නෙත් නැහැ, මෙහෙට වැඩක් කරන්නෙත් නැහැ කියලා. අවුරුදු 30කට පස්සේ මගේ නිර්මාණ දැක්මක් මේ විදිහට එළිදක්වන්න මේ සියල්ල හේතු වුණා.
නිර්මාණකරණයේදී මානසික නිදහසේ අවශ්‍යතාව සාලිංග දකින්නේ කොහොමද?
කවර නිර්මාණ කටයුත්තක නියැලුණත් මානසික නිදහස, සන්සුන් බව කියන්නේ අත්‍යවශ්‍යම දෙයක්. හිත ප්‍රශ්නවලින් පිරිලා පීඩාකාරී මානසික තත්ත්වයක ඉන්නකොට නිර්මාණ කරන්න බැහැ. ඕනෑම නිර්මාණයක් මුලින්ම ඉපදෙන්නෙ හිතේ. ඕනෑම කලා කෘතියක්, ඕනෑම වර්ණ සංයෝගයක් මුලින්ම ඉපදෙන්නේ මනසේ. ඒ මනසේ උපදින දේ තමයි නිර්මාණයක් විදිහට උපදින්නේ සහ චිත්‍රණය වෙන්නේ. ඉතින් අවුල්සහගත පීඩාකාරී මනසක කොහොමද සුන්දර දේවල් උපදින්නේ. ඉතින් මේ නිර්මාණකරණයේදී මට අවශ්‍ය වන පළමුවෙනි දේ තමයි මානසික සුවතාව.
වර්ණ කියන්නේ ඇස වගේම මනසත් පිනවන, සන්සුන් කරන හරි අපූරු භාෂාවක්. වර්ණ ගැන සාලිංගගේ කියවීම මොනවගේද?
ඇත්තටම හැම වර්ණයක්ම කතා කරන භාෂාවක්. වර්ණ ඔස්සේ කරන සන්නිවේදනය හරිම ප්‍රබලයි. ඒවා මිනිසුන්ගේ මානසිකත්වය සහ හැඟීම් දැනීම් කෙරෙහි ධනාත්මක වගේම ඍණාත්මක බලපෑමකුත් සිදු කරනවා. ඒ නිසාම වර්ණ කතා කරන්නේ කොයි විදිහටද, ඒ සන්නිවේදනය මොන තරම් ප්‍රබලද කියන අවබෝධය ගොඩක් වටිනවා. උදාහරණයක් විදිහට බොහෝ දෙනාගේ මතයක් තියෙනවා, කළු වර්ණය කියන්නේ අසුබ වර්ණයක්, පරාජිත වර්ණයක් වශයෙන්. ග්‍රාමීය ප්‍රදේශවල යුවතියන්ට, දරුවන්ට කළු වර්ණය අඳින්න එපා කියන තැනට වෙනකම් ඒ විශ්වාසය ප්‍රබල වෙලා තියෙනවා. ඒත් කළු කියන්නේ නිරූපණ ශිල්පයේදී වගේම නිර්මාණකරණයේදීත් ඉතාමත් සුන්දර ලෙස ගැලපෙන අවස්ථා සඳහා යොදාගත හැකි වර්ණයක්. ඇත්තටම වර්ණ පිළිබඳ විග්‍රහයේදී මනෝවිද්‍යාත්මක පසුබිමකුත් පවතිනවා. ඒත් මමනම් හිතන්නේ මෝස්තර නිර්මාණකරණයේදී හැම වර්ණයක්ම සුන්දර ලෙස ගැලපෙන අවස්ථා තිබෙනවා. එවැනි අවස්ථාවලදී ඒ වර්ණ එක් කරන්නේ පුදුමාකාර සුන්දරත්වයක්. නිර්මාණ ශිල්පියෙක් විදිහට මේ සියලු විශ්වාසයන්ගෙන් ඔබ්බට ගිහින් මේ හැම වර්ණයකටම මම හරි ආදරෙයි.
• මංගලා පවිත්‍රානි