2025 අගෝස්තු 16 වන සෙනසුරාදා

සම්මාන තියා චිත්‍රපටයක මංගල දර්ශනයට ඇරයුම්පතක්වත් අපිට නෙදෙන අය ඉන්නවා - Haroon Shaideen

 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 35

හරූන් එක්තරා සිත්තරෙකි. එහෙත් ඒ සිත්තරා, සිත්තර මවාලන්නේ පින්සලෙන් නොවේ. සංකල්පනාත්මක සිහිනයන්හි සැරිසරා සිතෙහි ඇඳි චිත්රූ ඔහු නෙක මෝස්තර රටා ඔස්සේ මවාලූයේ සරසන්නට ඉඩ ලැබෙන හිසකෙස් මතය.

මට මතකය. මම වරක් හරූන් ගැන මෙලෙස ලියා ලැබුවෙමි.

මට ඉඩ දෙන්න මෙහෙම කියන්න... මට ඔබ වනස්පතියක්. දැන් ඔයා මගෙන් අහන්න ඇයි ඔයා එහෙම කියන්නෙ කියලා. මෙහෙමයි. හරූන් ෂයිඩීන් මම ඔයාව කියවලා තියෙන විදිහට, මම ඔයා ගැන නිහඬව බලාගෙන ඉඳලා තියෙන විදිහට කෙස් කළඹක, කෙස් ගසක, කෙස් රොදක ඔයාගේ හිතේ උපදින අමුතුම කලාවක් ඇඟිලි තුඩු අගිස්සක තවරාන ඔයා සරසන ආකාරයට ඔයා කියන්නෙම කේශාලංකාරය කියන ඉසියුම් කලාවේ මහා වනස්පතියක්. ඒ කලාව ලාංකික සිනමාවට ඔයා මුහු කරපු තැන්හි මතකාවර්ජන කොයිතරම් සුන්දරද කියලා සිහිපත් වෙද්දි ඇත්තටම හරූන් ඔයා විතරක් නෙවෙයි, ලලිත් ධර්මවර්ධන, සෑම් පෙරේරා, සරත් රණවීර වැනි කේශාලංකාරයේ ප්‍රවීණයන් ඇයි කවදාවත් ලංකාවේ සිනමා උළෙලකදී සම්මානනීයව ඇගයුණේ නැත්තේ කියන ප්‍රශ්නය හිතට නැගෙනවා. මට හිතෙන්නේ හරූන් බුද්ධ වර්ෂ, ක්‍රිස්තු වර්ෂ ආදී ඈත යුගයන්හි ප්‍රස්තුත ඔස්සේ නිමැවූ සිනමා රූපකාරකයන්හි ඒ යුගමය හැඩතල, වර්ණ පිළිබිඹු කරන්න කේශාලංකාරය තුළින් නළු නිළි උවනට පෞර්ෂයට ලබාදෙන වටිනාකම සුන්දරත්වය ඇයි ඒ සිනමා උළෙලවල්හි සම්මාන නිර්දේශ කරන පාර්ශ්වයන්ට කවදාවත් නොවැටහුණේ කියලා මට හිතෙනවා. ඇත්ත හරූන් ඒ සම්මාන ඇගයුම් ප්‍රශංසා මල්මාල නොලද්දත් ඒ සිනමා රූපකාරක රසවිඳි සුවහසක් ප්‍රේක්ෂක හදවත්හි ඔබ සහ ඔබ වැන්නවුන් ජනනය කළ ඒ කලාවෙහි මතක රසභාව රැඳී තියේවි හිත්වල. ඔයා දන්නවද හරූන් මමම ඒකට හොඳම උදාහරණයක්. මොකද යශෝධරා චිත්‍රපටය බලපු මගේ මතක ද්වාරය අදටත් යශෝධරා ළඟ විවර වෙන තැනක් තියෙනවානම් ඒ සඳළු තලයක සිට පහළ බලන යශෝධරාවගේ හිසකෙස් විලාසය... ඉතින් ඒ මනරම් නිමැවුම් මවාලූ දෑත් මත සම්මාන නොරැඳවීම අහෝ දුකක් කියලා තමයි ලංකාවේ සිනමා උළෙලවල් ගැන කතා කරද්දි මට හිතෙන්නේ. ඇත්තටම ලංකාවේ සිනමාව කියන්නෙම ඛේදවාචක මහ ගොඩක් එක්ක කතා කරන්න තියෙන මාතෘකාවක්. ඒ අතරින් කේශාලංකාර ශිල්පියෙක් සම්මානයකින් පුද නොකිරීම ලංකාවේ සිනමා උළෙලවල් ගැන කතා කරන මාතෘකාවකදී කතා නොකර අත්හරින්න බැරි ප්‍රස්තුතයක්. හරූන් ඔබ ගැන එදවසක මා ලියා තැබුවේ ලියා තැබිය යුතුම පෙරවදනක් වග ඉඳින් මම විශ්වාස කරමි.

අද ලාංකික සිනමාව තුළ කේශාලංකාර ශිල්පියකුට සාධාරණ තැනක් හිමිවී තියෙන බව ඔබ විශ්වාස කරනවද?

ඇත්තටම ඒක හුඟාක් සංවේදී සහ ගැඹුරු ප්‍රශ්නයක්. පිරිවැය සම්බන්ධ ගැටලු හුඟාක් තියෙනවා. කේශාලංකාර ශිල්පියකුගේ කාර්යභාරය හරිම වගකීම් සහගතයි. ඒ වගේම ඒ වෙනුවෙන් අපි විශාල මහන්සියක් දරනවා. එහෙත් අපි දරන මහන්සියට, අපි වැය කරන කාලයට අතිශය සාධාරණ ගෙවීමක් සිදුවෙනවා හරි අඩුයි. හුඟාක් වෙලාවට සිදුවෙන්නේ අපි කියන මිල එක්ක තර්ක කරන එක. ඒ මිල අඩු කරන්න කතා කරන එක. හැබැයි විදේශීය කේශාලංකාර ශිල්පියෙක්ගේ දායකත්වය ලබාගන්නවානම් ඒ විදිහේ සාකච්ඡාවලට යන්නෙ නෑ. ගාණ අඩු කරන්න කතා කරන්නෙ නෑ. මිලියන දහයක් ඉල්ලුවොත් මිලියන දහය වුණත් නොපැකිලිව ගෙවනවා. සිනමාවක කේශාලංකාර කරද්දි අපි හිතමු ඉතිහාස කතාවක නම් ඒ යුගයන්හි විලාසිතා තමයි අපි ප්‍රතිනිර්මාණය කරන්නෙ. එතැනදි යම් හැදෑරීමක් අවශ්‍යයි. ප්‍රේක්ෂකයන්ට ඒ හිසකෙස් විලාසිතා විහිළුවක් හෝ නොගැලපීමක් ලෙස දැනෙන්න බෑ. ඉතින් කේශාලංකාර ශිල්පියකුගේ වගකීම සහ කාර්යභාරය කොයිම වෙලාවකවත් සීමාසහිත නෑ. එවැනි පසුබිමක් තුළ තමයි බොහෝ තැන්වල ඉතා අඩු මිලට අපේ හැකියාව සහ නිර්මාණශීලීත්වය හෑල්ලුවට මිල කරන්න හදන්නේ.

ඔබ සිනමා නිර්මාණ සෑහෙන සංඛ්‍යාවක කේශාලංකාර ශිල්පියා ලෙස කටයුතු කළ කෙනෙක්. කවදාවත් එකම හිසකෙස් විලාසිතාව නිර්මාණවලට යොදාගත්තෙ නැද්ද?

නැහැ කවදාවත් නැහැ. මම කිසිම නිර්මාණයක් copy – paste කරලා නෑ. මට තේරුම් කරලා කියන්න නොතේරෙන දෙයක් තියෙනවා. ඒ තමයි යම් සිනමා නිර්මාණයක් හෝ වෙනත් නිර්මාණයක පිටපත බලලා ඒ යුගය ගැන හිතද්දි එක්වරම මගේ හිතේ ඒ යුගයේ හිසකෙස් විලාසිතා මෙහෙමයි කියලා චිත්‍ර මැවෙනවා. ඒ චිත්‍ර ඔස්සේ තමයි මම විලාසිතා මවන්නේ. මගේ හිතේ ඇඳුණු ඒ චිත්‍ර ඇත්තටම ඒ ඒ යුගයන් එක්ක සමගාමියි. මම හිතන්නේ ඒ දැනීමේ ශක්තිය මා ලද කුමක් හෝ වාසනාවක් කියලා.

ඔබ ඉන්දීය නළු නිළියන් කිහිප දෙනකුගේම කේශාලංකාර සිදුකළ ප්‍රවීණ කේශාලංකාර ශිල්පියෙක්. කොහොමද ඔවුන්ගෙන් ඔබ ලද සහ අදටත් ලබන ඇගයීම්?

ඒ ඇගයීම්නම් පුදුමාකාර මානසික තෘප්තියක්. යශෝධරා චිත්‍රපටයේ වගේම කදිර දිව්‍යරාජ චිත්‍රපටයෙත් මම කේශාලංකාර කළා. ඒ ඇතැම් නළු නිළියන් මට කියපු දෙයක් තමයි ලස්සනටම ඔවුන්ගේ හිසකෙස් විලාසිතාවක් කළේ මම කියලා. ඔයා ඉන්න ඕනෑ අපේ රටේ... ඔයා අපේ රටට ආවොත් ඔයාට වැඩ හුඟාක් තියෙනවා කියන එක එයාලා කියපු දෙයක්. මම ඉන්දීය මෝස්තර නිරූපණ ශිල්පීන් සමඟ වෙළෙඳ දැන්වීම්වල පවා කටයුතු කරලා තියෙනවා. ලංකාවේ පූජා උමාශංකර් ඇතුළු හුඟාක් නළු නිළියන් මම හිසකෙස් විලාසිතාවන්ගෙන් හැඩගන්වලා තියෙනවා. ජීවිතයේ සතුට හරිහම්බ කරන එකම දේ මුදල් නෙවෙයි. ප්‍රධානතම දෙයත් මුදල් නෙවෙයි. තව කෙනෙක්ගේ සතුට තුළින් ලබන සතුට කියන එක ඇත්තටම මම මගේ ජීවිතයේදී අත්වින්ඳ ප්‍රායෝගික යථාර්ථයක්.

ඔබ නිතරම සැහැල්ලුවෙන් සහ සිනහවෙන් කාලය ගත කරන කෙනෙක්. නිර්දය ලෙස අනික් අය විවේචනය නොකරන කෙනෙක්. ඔබේ ‘කොලිටි’ එක මම වඩාත්ම දකින තැනක් තමයි ඒ. අනික් අයගේ සතුට ජයග්‍රහණය නොඉවසන, හේතු විරහිතව පවා මිනිසුන් විවේචනය කරන හිම මනුෂ්‍ය චරිත ගැන හරූන්ට තියෙන්නෙ කොහොම හැඟීමක්ද?

මම නිතරම ධනාත්මක දේවල් සහ සුන්දර දේවල් ගැන හිතන්න සහ කතා කරන්න කැමති කෙනෙක්. මම විශ්වාස කරනවා ඍණවාදීව හිතෙන කෙනෙක්ට සුන්දර නිර්මාණශීලී දේවල් නිර්මාණය කරන්නත් බෑ. ලස්සන නෑ කියන ඕනෑම කෙනෙක්ට මම කියන්නේ මේ ලෝකයේ ඕනෑම කෙනෙක්ට ලස්සනම කෙනා තමන් වෙන්න ඕනෑ කියලා. සමහර අය වියපත් වෙද්දි, දරුවන් ලබද්දි, ජීවිතය සහ ජීවත්වීම අත්හැරලා දානවා. කවදාවත් මැරෙනතුරු ජීවිතය අත්හරින්න එපා. ඇත්තටම ඍණාත්මකව හිතන, අනුන්ගේ දේවල් හොයන, විවේචනය කරන මිනිසුන්ව මම මගේ හදවතින්ම ප්‍රතික්ෂේප කරනවා. තමන්ගේ ජීවිතය අයිති තමන්ට. පොදු සමාජයට හිරිහැරයක් පීඩනයක් හෝ අසාධාරණයක් නොවන විදිහට තමන්ගේ ජීවිතය විඳින්න, තමන්ගේ හීන හොයාගෙන යන්න හැම කෙනකුටම අයිතියක් තියෙනවා. ඇත්තටම ඇතුළාන්තයෙන් හිස්, නිසරු, විඳවන මිනිස්සු තමයි ඒ විදිහට අනික් අයගේ දේවල් හොයන්නේ සහ බලපෑම් කරන්නේ. මධුවිතකට ‘සෙට්’ වුණත් අනික් අයගේ දේවල් කතා කරන, විවේචනය කරන, දේශපාලනයම කතා කරන මිනිස්සුන්ට ඇයි බැරි නිහඬවම සතුටින් තමන්ගේ ජීවිතය විඳින්න. ලස්සන දේවල් ගැන කතා කරන්න. චිත්‍රපටයක් ගැන කතා කරන්න.

ලංකාවේ සිනමා සම්මාන උළෙලකදිවත් කේශාලංකාර ශිල්පියකුට ඇගයීමක් ලැබෙනවා මම දැකලා නෑ. සමහර විට ඔවුන් ඔවුන්ගේ දායකත්වය ලබාදුන් චිත්‍රපටයක මංගල දර්ශනයටවත් ඔවුන්ට ඇරයුමක් නෑ. ඇයි එහෙම වෙලා තියෙන්නේ?

ඇත්තටම හරිම කනගාටුවක් සහ සාධාරණ දුකක් දැනෙනවා ඒ පසුබිම සිහිපත් වෙද්දී. ඇත්තටම අපි කොච්චර මහන්සි වුණත් චිත්‍රපටයක මංගල දර්ශනයට අපට ආරාධනාවක් නොලැබෙන අවස්ථා තියෙනවා. ඇත්තටම ඒක හරිම ඛේදනීය තත්ත්වයක්. කේශාලංකාර ශිල්පය කියන්නෙ කලාවක්. සිනමා කෘතියකට එයින් ලැබෙන ආලෝකය පෞරුෂය විශාලයි. ඒත් සමහරු කේශාලංකාර කලාව හෝ ශිල්පය ගණන් ගන්නෙ නැහැ. මේකප් ‘ආර්ටිස්ට්’ කෙනෙක් හිටියොත් මදිද? ඇයි ‘හෙයාර් ඩ්‍රසර්’ කෙනෙක් කියලා අහන සිනමා අධ්‍යක්ෂවරුන් ඉන්නවා. සෑම් පෙරේරා, නුදුරු දිනකදි අප අතරින් වියෝ වූ ලලිත් ධර්මවර්ධන, සරත් රණවීර, රුචිර කහඳ, තුෂාර වැනි මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ නම් නාමාවලියක් මේ මොහොතේ මට සිහිපත් වෙනවා. ඔවුන්ට අද වනතුරු ලැබුණු ඇගයීම මොකක්ද? මොකුත් නෑ. මම මේ කතා කරන්නෙ මගේ ක්ෂේත්‍රය නිර්මාණය කරන සියල්ලන් වෙනුවෙන්. සමහර විට චිත්‍රපටයකදි එක් කලා ශිල්පියෙක්ගේ හිසකෙස් සකසන්න අපි පැය ගණන් මහන්සි වෙනවා. මම මුලින් කීවා වගේ අපි එහෙම වැඩ කරන සමහර චිත්‍රපටවල මංගල දර්ශනයටවත් අපිට ඇරයුම්පතක් එන්නෙ නෑ. මට එහෙම වෙලා තියෙනවා. චිත්‍රපටයට කිසිම සම්බන්ධයක් නැති අය පවා ඒ මංගල දර්ශනවලට යද්දි මැරීගෙන වැඩ කරපු අපිව නොසලකා හරින තැන් තියෙනවා. මට එහෙම වෙලා තියෙනවා.

• සංජීවිකා සමරතුංග
• ඉසුරු පෙරේරා