යෂ්... රංගන ශිල්පියෙක් වන ඔයා අද නිවේදකයෙක් වෙලා. ඒ ගැන අපි මුලින්ම කතා කරමු?
ඔව්... මම මේ දිනවල සිරස නාලිකාවේ විකාශනය වන Sirasa catch point වැඩසටහනේ නිවේදකයා ලෙසින් කටයුතු කරනවා. ඒක වෙනස්ම විදිහේ අත්දැකීමක්. මීට පෙර මම වැඩසටහන් කිහිපයක්ම කරලා තිබුණා. හැබැයි මේ තරම් දැවැන්ත වැඩසටහනක් කළ පළමු අවස්ථාව මෙයයි. ඒක මම ජීවිතේ ලබපු ලොකු අවස්ථාවක්. ඇත්තටම ලොකු අභියෝගයක්. මම ඒ අභියෝගය සතුටින් බාරගත්තා. ඒ වගේම මේ වෙද්දි ඒ වැඩසටහන සතුටින් කරගෙන යනවා.
මේ වෙද්දි තියෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තම කිව්වොත් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ආසියාවෙන්ම ගත්තොත් මේ වගේ වැඩසටහනක් කරන පළමු අවස්ථාව මෙයයි. ඉතින් ඒ වගේ වැඩසටහනකට සහභාගි වෙන්න ලැබීම ගැන ඇත්තටම ලොකු සතුටක් හිතේ තියෙනවා.
පාසලේදී ඔයා නිවේදන කටයුතුවලට සම්බන්ධ වෙලා හිටියද?
මම ඉගෙන ගත්තේ මුනිදාස කුමාරතුංග විදුහලේ. පාසලේදී මම ජීවිතේට නිවේදන කටයුතු කරලා තිබුණේ නැහැ. රඟපානවා, සින්දු කියනවට වඩා නිවේදනය කියන්නේ ඒ කාලේ මට කරන්නම බැරි දෙයක්. නිවේදනය කරන්න පටන් ගත්ත වෙලාවේ ඉඳන් මගේ කකුල් දෙකම වෙව්ලනවා. මම පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා. ඉතින් අනිවාර්‌යෙන්ම පාසලේ උත්සවවලදි කතා කරන්න ඕනෑ. හැබැයි බැරිම දේත් ඒකමයි. මට මතකයි එක දවසක් ගුරු දිනයට මට කතාවක් කරන්න තිබුණා. මම වේදිකාවට නැගලා “සභාවෙන් අවසරයි, අපි ළමයි විදිහට ගුරුවරුන්ට හොඳට සලකන්න ඕනෑ, ස්තූතියි” කියලා වේදිකාවෙන් බැස්සා. හැමෝම පුදුම වෙලා මගේ දිහා බලාගෙන හිටියා.
අද වෙද්දි යෂ් නළුවෙක්, ගායකයෙක් වගේම නිවේදකයෙක්. මේ අතරින් ඔයා වැඩියෙන්ම කැමති කෙනා කවුද?
මා තුළ ඉන්න රංගන ශිල්පියාට මම හරි ආසයි. මම නළුවෙක්. මේ නිවේදන කටයුතු කරන්නෙත් මම නළුවෙක් නිසයි. ඒකත් එක රංගනයක්. මම ආස වුණෙත් රංගන ශිල්පියෙක් වෙන්න. ඒ නිසා මම නළුවා කියන කෙනාට මුල් තැන දෙනවා.
යෂ්ට දැවැන්ත සිනමා නිර්මාණයක ප්‍රධාන චරිතය ලැබුණා කියලයි ආරංචිය?
ඔව්... මට ධනුෂ්ක රත්නායක නම් සුන්දර අධ්‍යක්ෂවරයාගේ සිනමා පටයක ප්‍රධාන චරිතය රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒකෙ රූගත කිරීම් සියල්ල අවසානයි. බොහෝ දුරට ලබන වසර මුලදී ඒක තිරගත වේවි. ඒක ඇත්තටම දැවැන්ත නිර්මාණයක්. එහි පිටපතේ සිට වැඩේ ඇතුළත සියල්ල දැවැන්තයි කියලා පෙනේවි. ඒ සිනමා පටය ගැන ලොකු බලාපොරොත්තුවක් හිතේ තියාගෙන ඉන්නවා. මම ප්‍රධාන චරිතය කරන පළමු සිනමා පටය මෙයයි. ඒ වැඩේ බලන්න ජනවාරි වෙනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නවා.
ඒ වෙනුවෙන් ඔයා ලොකු මහන්සියක් කැපවීමක් කළා කියලයි ආරංචිය?
ඔව්... ඒ සිනමා පටය වෙනුවෙන් මම සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. සිරුරේ බාහිර පෙනුමේ සිට වෙනස් වුණා. අවුරුදු එකහමාරක් දෙකක් තිස්සේ ඒ නිර්මාණය වෙනුවෙන් මම මහන්සි වුණා. චිත්‍රපටයට දායක වෙන්න පෙර මගේ බර කිලෝග්‍රෑම් අනූවක් විතර තිබුණා. ඒ නිර්මාණය වෙනුවෙන් මම කිලෝ හැත්තෑ හයක් දක්වා බර අඩුකර ගත්තා.
මේ දිනවල යෂ් දායක වෙන නිර්මාණ මොනවාද?
මේ දවස්වල ‘විසේකාරී’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒ වගේම ‘ආලේ’ කියන ටෙලිනාට්‍යයටත් සම්බන්ධ වුණා. සිනමා පට දෙකකට ආරාධනා ලැබුණා. තවම ඒ නිර්මාණ රූගත කිරීම්වලට දින වකවානු යොදාගෙන නැහැ. මේ දවස්වල මූලික තැන දීලා තියෙන්නේ සිරස නාලිකාවේ විකාශය වෙන catch point වැඩසටහනටයි. ඒක වගකීමකින් කරන වැඩක්. ඒ නිසා ඒ කටයුතු එක්ක කාර්යබහුල වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් මම දැනුම හොයාගෙන යනවා.
අද ඔයා ඇතුළේ ගායකයෙක්, නළුවෙක්, නිවේදකයෙක් ඉන්නවා. මේ හැබෑවෙලා තියෙන්නේ පුංචි කාලේ දැකපු හීනයක්ද?
පුංචි කාලේ නළුවෙක් වෙන්න හීන දැක්කා. නිවේදකයෙක් ගායකයෙක් වෙන හීනයක් හිතේ අහල පහලකවත් තිබුණු දෙයක් නෙවෙයි. ගායකයෙක් වීම ‘හුස්ම සුවඳ’ ගීතයෙන් හැබෑවක් වුණා. ඒකට අනුර ජයන්තට ස්තූති කරන්නම ඕනෑ. ඒක අනුර අයියා මගේ උපන්දිනයට දීපු තෑග්ගක්. මීට පෙර වැඩසටහන් කිහිපයකම නිවේදනයට ආරාධනා කළත් මම ඒවාට සහභාගි වුණේ නැහැ. පුංචි කාලේ මම මගේ පවුලේ අයගේ රංගනය දැකලා රඟපාන්න ආසා කළා. ඒකත් එක්ක රටේ ජනප්‍රිය පුද්ගලයෙක් වෙන්න පුංචි කාලේ මගේ හීනයක් ආසාවක් තිබුණා.
ඉටුකරගත්ත ලොකුම බලාපොරොත්තුව මොකක්ද?
හැම නළුවෙක්ම සිනමාවට සම්බන්ධ වෙන්න ආසයි. මගේ හිතෙත් ඒ බලාපොරොත්තුව තිබුණා. ඉතින් ඒක මේ වසරේ හැබෑ කරගන්න පුළුවන් වුණා. ඒක මගේ ජීවිතේ තිබුණු ලොකුම බලාපොරොත්තුවයි. ඒ හීනය ලබන වසරේදී දකින්න පුළුවන් වේවි.
මේ තැනට එන්න දුක් විඳින්න ඇති?
ඔව්... ඇති තරම් දුක් විඳලා තියෙනවා. මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ 2014 අවුරුද්දේ. මම සිනමා නිර්මාණයක ප්‍රධාන චරිතය කරන්නේ 2025 වසරේ. වසර දහයක් මේ තැනට එන්න අසීමිත දුකක් වින්දා. අවුරුදු දහයක් කියන්නේ ලොකු කාලයක්. ඔය අතරේ එක ටෙලි නිර්මාණයකින් මට හැමදේම එපා වුණා. ඒ වෙලාවේ මගේ පවුලේ අය, ධනුෂ්ක රත්නායක ඇතුළු මගේ යාළුවෝ මගේ ළඟම හිටියා. ධනුෂ්ක අයියා මාව තාත්තා කෙනෙක් දරුවෙක් පරිස්සම් කරනවා වගේ පරිස්සම් කළා. එයාලගේ හයියත් එක්ක වැටුණු තැන්වලින් මම නැගිට්ටා.
ඉදිරියට තියෙන බලාපොරොත්තු මොනවාද?
සිනමාවට වැඩි කාලයක් දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ජාත්‍යන්තර නිර්මාණයකට දායක වෙන්න ආසාවෙන් ඉන්නවා. මගේ ජීවිතයේ හීන නෑ, හැබැයි ඉලක්ක තියෙනවා.
• දිශානි ජයමාලි