කාංචනමාලා වඩාත් කැමති වෛද්‍යවරියක් විදිහට හඳුන්වනවාටද? ගායන ශිල්පිනියක් විදිහට හඳුන්වනවාටද?
ගායනා කරන, රඟපාන, ආදරය කරන, වෘත්තියෙන් වෛද්‍යවරියක් සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් විදිහට සේවය කරන කෙනෙක් විදිහට මාව හඳුන්වලා දෙනවනම් කැමතියි. හැබැයි මට ආදරය කරන අයට මම කාංචනමාලාම තමයි. මගේ කටහඬට ආසා යම් පිරිසක් ඉන්නවා කියලා මට දැනෙනවා. ඉතින් මම ඒගොල්ලන්ටත් හරිම ආදරෙයි. මොකද මගේ සංගීත ගමනට ධෛර්යය දෙන්නේ එයාලා. මම ගීත ගායනා කරන අතරේ ඒ ගීතවලට අදාළ රංගනයෙත් යෙදෙන නිසා, ගායනය සහ රංගනය යන මේ දෙකම එකතු වුණාම හරිම ආකර්ෂණීයයි කියලා මට අහන්න ලැබෙනවා. හදවත නිවාලන කටහඬක් තියෙනවා කියලා මට ගොඩක් දෙනා කියනවා. ඉතින් මට හරිම සතුටුයි. වෛද්‍ය විද්‍යාවේ අපි භාවිත කරන බෙහෙත්වලට රෝග සුවපත් කරන්න පුළුවන් වෙන්නේ යම් ප්‍රමාණයකට පමණයි. අපේ සෞඛ්‍ය තත්ත්වයේ සහ රෝගී තත්ත්වයේ විශාල කොටසක් මනස මගින් පාලනය වෙනවා. ඉතින් කෙනකුගේ මනස නිවන්න පුළුවන්නම් ඒක මට ලොකූ සතුටක්.
කලා ක්ෂේත්‍රය තුළ ආරම්භයේ පටන් මෙතෙක් ආ ගමන්මග ගැන මතක සටහනක් තබමු?
මගේ ගමනට මුල්ම අඩිතාලම වැටුණේ මගේ පවුලෙන්. සුප්පා දේවිය ලෙස ඔබ ආදරයෙන් හඳුන්වන මාලනී රණසිංහ සහ පොතේගුරු විදිහට ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳගත් ටෙරන්ස් රණසිංහ තමයි මගේ ආදරණීය මව්පියන්. ඉතින් මව්පිය ආභාෂය මට උපරිමයෙන් ලැබුණා. මට පොඩි කාලේ ඉඳලම අහන්න දකින්න ලැබුණේ එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය. නාට්‍ය, ගීත, සංගීතයට සම්බන්ධ කලාකරුවන්ගෙන් තමයි අපේ ගෙදර පිරිලා තිබුණේ. මේ දේවල් එක්ක කාලය ගතකරනකොට ගායනයට, වාදනයට, රංගනයට පොඩි කාලේ ඉඳන්ම ආසාවක් ඇතිවුණා. මම අධ්‍යාපනය ලැබුවේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන්. එහිදී මම ගායනය, වාදනය, සිතාර් වාදනය, සිංහල නාට්‍ය වගේම ඉංග්‍රීසි නාට්‍ය, ඉංග්‍රීසි කථනය, ඉංග්‍රීසි ගායනය ආදී කලා ලෝකයේ පුළුල් පරාසයක දැනුම සාර්ථකව ලබාගත්තා. 1992 වසරේ ටවර් හෝල් නාට්‍ය තරගයට අපේ පාසලෙන් ඉදිරිපත් කළ සමුද්‍රදේවි නාට්‍යයේ සමුද්‍රදේවියගේ චරිතය රඟපෑවේ මම. ඒ චරිතයට දිවයිනෙන්ම හොඳම නිළියට හිමි සම්මානය මට ලැබුණා. අන්තර් පාඨශාලීය සමස්ත ලංකා නාට්‍ය තරගයෙන් අපේ පාසලට දෙවැනි ස්ථානය ලැබුණා. ඉන් පසුව මම වෛද්‍ය පීඨයට ඇතුළත් වුණා. ඒ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා කටයුතුවලටත් සම්බන්ධ වුණා.
අනතුරුව මම කථිකාචාර්යවරියක් විදිහට පේරාදෙණිය වෛද්‍ය පීඨයෙත්, මහනුවර මහ රෝහලෙත් සේවය කළා. පසුව 2005 වසරේදී ආචාර්ය උපාධිය සඳහා ඕස්ට්‍රේලියාවට ආවා. ආචාර්ය උපාධිය සම්පූර්ණ කරලා පවුල් වෛද්‍ය විද්‍යාව සහ හදිසි අනතුරු සහ ප්‍රතිකාර අංශයේ තවදුරටත් විශේෂඥ වෛද්‍ය උපාධිය සහ පුහුණුවීම් කටයුතු ආරම්භ කරමින් විශාල කාලයක් වෛද්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කළා. 2017 වසරේ තමයි මම නැවතත් කලාවට පිවිසුණේ. ඇත්තටම මම එහෙම පටන්ගන්නෙත් මගේ අම්මා දුන්න වදන් ගෙත්තමකින්. ඒ ‘ගව් ගණන් දුර’ ගීතය. නයනසේන වන්නිනායක තමයි මේ පද පෙළ ගීතයක් බවට පත් කළේ. විශාරද දර්ශන වික්‍රමතුංග සංගීතය අධ්‍යක්ෂණය කළා. එතැනින් පටන්ගත්ත ගමනේදී මට ගීත නිර්මාණකරණය සඳහා ලංකාවේ විශිෂ්ටතම සංගීතඥයන්, පද රචකයන් සහ කලාකරුවන් බොහෝ දෙනකුගේ ආදරය සහ සහයෝගය හිමිවුණා. මේ වනවිට ගීත ගණනාවක් ගායනා කරන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම ගීත වීඩියෝවල රඟපාන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා.
ඔබේ ආකර්ෂණීය හඬ පෞරුෂයට ලැබුණු ඇගයීම් සහ සම්මාන ගැන කතා කළොත්?
මම ගායනා කළ ගීත අතරින් රසික ආදරය උපරිමයෙන් දිනාගත් ගීතයක් තමයි ‘පතිනියක් වී’ ගීතය. 2024 වසරේ අන්තර් මහද්වීපික ලෝක තරගාවලියෙන් ආසියානු මහද්වීපයෙන් පළමු ස්ථානය දිනාගන්න ඒ ගීතයට හැකියාව ලැබුණා. මේ ගීතයට සංගීතය සැපයුවේ නාලක අංජන කුමාර. පද රචනය, ජයමාලි චරිතා බණ්ඩාරගෙන්. ඒ මගේ පාසලේම සොයුරියක්. මේ ගීතය ගැන කතා කරනකොට මම විශේෂයෙන්ම මතක් කරන්න ඕනෑ, ලංකාවේ රූප රචනය කරනකොට කැමරාකරණය සඳහා උදව් කළ නාරද අමරතුංග වගේම උදේනි අල්විස් සහ ජනිත් පෙරේරා, වීඩියෝ අධ්‍යක්ෂණය සඳහා ප්‍රවීණ රංගධරයන් වන අමිත් වීරසිංහ, ප්‍රසන්නජිත් අබේසූරිය සහ ඔහුගේ පුත් රංගජිත් අබේසූරිය ඇතුළු ඔහුගේ කණ්ඩායම සහාය වුණා.
මෑතකදී මම ගායනා කරපු ගීත අතරින් වැඩිම ආදරයක් ඇගයීමක් ලැබුණේ ‘අහස දුර වග’ ගීතයට. ඒ ගීතය පද රචනය කළේ ප්‍රසිද්ධ මාධ්‍යවේදිනියක් වන සංජීවිකා සමරතුංග සොයුරියයි. සංගීතය නාලක අංජන කුමාර සැපයුවා. මේ ගීතයට ඇත්තටම මමත් ගොඩක් ආදරෙයි. මේ පද රචනය මුලින්ම දැක්කේ මගේ අම්මා. දැකලා ඇය මට කීවා, දුවේ හරිම ලස්සන පද රචනයක් සංජීවිකා දුව ලියලා, මේක ගීයකට පෙරළුණානම් ලස්සනට තියේවි කියලා. ඒ අනුව තමයි මම ඇයට කතා කළේ. මට ඇයව හමුවුණේ 2023 දී මගේ ‘සඳ පහන් රෑ’ සංගීත ප්‍රසංගය වෙලාවෙදි. ඉතාම සුහද කෙනෙක් විදිහට මම ඇයව හඳුනාගත්තා. ඉතින් මම හිතුවා වගේම ඒ කවි පෙළ ගීතයක් විදිහට පරිවර්තනය කරන්න ඇය අවසර දුන්නා. ඒ විදිහට ආදරයෙන්ම හැදුණු ගීතයක් නිසා මේ වනවිට විශාල වශයෙන් රසික ආදරයට පාත්‍රවෙලා තියෙනවා. මේ ගීතය වෙනුවෙන් ජපානයේදී රූප රචනයක් කරන්න මට අවස්ථාව ලැබුණා. 2025 සකුරා මල් පිපෙන කාලයේදී ජපානයේ ටෝකියෝ නුවරදී මේ ගීතය සඳහා ලස්සන රූප රචනයක් නිර්මාණය වුණා.
වෛද්‍යවරියක් කියන්නේ ජීවිත රැසක වගකීම දරන කෙනෙක්. කලාව සහ වෛද්‍ය වෘත්තිය සමබරව පවත්වාගන්නේ කොහොමද?
ඇත්තටම මේ අමාරුවෙන් විශාල මහන්සියකින් ආපු ගමනක්. 2016 වසරේදී මම විශේෂඥ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළා. එදා ඉඳලා අද දක්වාම මම සතියේ දවස් හතම රැකියාව කරනවා. විවිධ කටයුතු සඳහා දායක වෙන නිසා ඒ කටයුතු සියල්ල කරගන්න මම වැඩ කරන ආයතනය මට ගොඩක් උදව් කරනවා. හැබැයි මම ඕස්ට්‍රේලියාවේ ඉන්න හැම දිනයක්ම වැඩ කරනවා. හදිසියේ දරුවකුගේ හරි කාගේ හරි අසනීපයකට නිවාඩුවක් ගත්තොත් මිස මම පුළුවන් හැම වෙලාවෙම වැඩ කරනවා. එතකොට මට ලැබෙන නිවාඩු මම යොදාගන්නේ කලා කටයුතු සඳහා. සමහර වෙලාවට මම සිකුරාදා ඕස්ට්‍රේලියාවෙන් පිටත්වෙලා සෙනසුරාදා ගීත පටිගත කිරීමක් හෝ රංගන කටයුතුවල යෙදිලා ආපහු ඕස්ට්‍රේලියාවට ආපු අවස්ථා තියෙනවා.
කාංචනමාලා මේ වන විට ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ. ඔබට දේශීය සහ විදේශීය රසිකයන්ගෙන් ලැබෙන ආදරය ගැනත් කතා කරමු?
ඔව්... ඇත්තටම විවිධ රටවල විවිධ ජාතීන් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා. ඉතින් එයාලට මම ගායනා කරන ගීතවල වචන තේරෙන්නේ නැතත් ගොඩක් අය මගේ ගීත අගය කරනවා. මට හරි සතුටුයි. එයාලා කියන දේ තමයි, මගේ කටහඬ ඔවුන්ගේ හදවත නිවාලනවා කියලා. එයාලා ඇස් පියාගෙන අහගෙන ඉන්නවා. මගේ කටහඬින් ගීතයක් ගායනා කිරීම හවස් වරුවට ඒ අයට හරිම සුවයක් බවට පත්වෙලා තියෙනවා. චීනය, ජපානය, යුරෝපීය රටවල්, තුර්කිය, ඇමෙරිකාව, ඉන්දියාව, පකිස්ථානය වගේ විවිධ රටවල්වල අය වැඩ කරන තැන්වලදි වගේම දරුවන්ගේ ක්‍රීඩා කටයුතුවලට ගියාම හමුවෙන අයත් මගේ ගීත හරිම ආසාවෙන් අහනවා. දැන් මගේ ගීත සියල්ලක්ම ඉංග්‍රීසි පරිවර්තනයකුත් එක්ක තමයි යන්නේ. ඉතින් ලෝකය ලංකාවේ ගීත අහනවා කියලා දැනගන්න එකත් ඇත්තටම ලොකු සතුටක්.
ඔබේ මව මාලනී රණසිංහ. සුප්පා දේවියට වාර පන්දාහක් රඟපාලා වාර්තාවක් තබපු කෙනෙක්. ඒ ගැනත් කතා කරමු?
මගේ මව මාලනී රණසිංහ සහ පියා ටෙරන්ස් රණසිංහ දෙදෙනාම ශ්‍රී ලාංකික කලාවට අතිශයින් ආදරය කරපු දෙන්නෙක්. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍යයේ පොතේගුරු චරිතයත්, සුප්පා දේවියගේ චරිතයත් 1961 සිට වසර 31ක් වාර පන්දහසක් නොකඩවා රංගනයෙන් දායක වෙමින් ලෝකයේ දීර්ඝතම කාලයක් නොකඩවා එකම චරිතය රඟපෑ යුවළ ලෙස 2001 වසරේදී මගේ මව්පියන් ගිනස් වාර්තා පොතට ඇතුළත් වුණා. ඉතින් ඒක ඔවුන්ගේ ආදරයට කැපවීමට ලෝකයෙන් ලැබුණු සම්මානයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ආචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් සමඟ ඒ නාට්‍ය හදන තැන ඉඳලා වේදිකා නාට්‍යවලට අවශ්‍ය ඇට මාල, අනෙකුත් ආභරණ සෑදීම ඇතුළු නාට්‍යයේ සියලුම වැඩ කටයුතු සඳහා මගේ මව්පියන් විශාල කැපකිරීමකින් කටයුතු කළා.
වර්තමානයේ මෙරට කලාව පවතින තත්ත්වය ගැන ඔබේ අදහස කොහොමද?
ලංකාවේ විශාල පිරිසකට කලා කටයුතුවලට හැකියාව තියෙනවා. පුංචි දරුවන් ඉතාම ලස්සනට ගීත ගායනා කරනවා අපි දකිනවා. ඒවා සහජයෙන් ලැබෙන හැකියාවන්. සමහර හැකියාවන් ඇත්තටම හිතාගන්න බැහැ, ඒ දරුවන් කොයිතරම්නම් දක්ෂද කියලා. විවිධාකාර නාට්‍ය නිර්මාණය වෙනවා. පවතින ආර්ථික තත්ත්වය නිසා කලාකරුවන් බොහොම අසීරු ගමනක් තමයි යන්නේ. නමුත් ඔවුන් සතුටින් දායක වුණු වටිනාකමක් ඇති කලා නිර්මාණ බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ඒ ගැන ඉතාම සතුටුයි. මොකද කලාව කියන්නේ රටක අනන්‍යතාවය. කලාවෙන් තමයි මිනිස්සුන්ගේ ගතිගුණ, එකිනෙකාට දක්වන ආදරය ගෞරවය, සහකම්පනය ඇති කරන්නෙ. මට මේ වෙලාවේ මතක් වෙනවා, අපේ විශිෂ්ට කලාකරුවෙක් වූ ජයලත් මනෝරත්නයන් කීවා “පොළොවට අඩි තුන හතරක් උඩින් තියෙන වේදිකාවට ඔබත් එන්න. ඔතැනට නොපෙනෙන බොහෝ දේ මෙතැනට පේනවා” කියලා. මම හිතන්නේ ඔහු ඒ කියන්නෙ කලාවත්, වේදිකාවත් එක්ක ජීවත් වෙනකොට අපිට ජීවිතය පේන්න ගන්නවා. මිනිසුන්ව පේන්න ගන්නවා. අපි මේ කොහෙද යන්නේ කියලා පේන්න ගන්නවා. ඒකෙන් ලොකු නිවීමක් ඇතිවෙනවා.
ඔබේ අනාගත සැලසුම් සහ බලාපොරොත්තු ගැනත් කතා කරමු?
දිගටම ගීත ගායනයේ යෙදෙනවා. පුළුවන් වෙලාවට සිංහබාහු නාට්‍යයටත් සම්බන්ධ වෙන්න මම එනවා. රඟපෑම් කටයුතු ආසාවෙන් ඉදිරියටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ගීතය ගැන තවදුරටත් ඉගෙනගන්න කැමැත්තක් තියෙනවා. අගෝස්තු 24 වැනිදා පැවැත්වෙන ලෝක අන්තර් මහද්වීපික සංගීත තරගයේ ප්‍රතිඵලය ආසාවෙන් බලාගෙන ඉන්නවා. මේ වතාවෙත් ලංකාවට සම්මානයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
• මංගලා පවිත්‍රානි