ආදිත්‍යා... ජාත්‍යන්තර කිරුළක් හිමිවුණා. මුලින්ම හදසර අපේ සුබ පැතුම්?
අනේ... ගොඩක් ස්තූතියි.
ඔයා දිනාගත්ත මේ කිරුළ ගැන අපිට කියන්න?
මට Miss Tourism universe තරගාවලියට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. ඒ තරගාවලියේදි Queen International කිරුළ දිනාගන්න මට පුළුවන් වුණා. මේ තරගාවලිය පැවැත්වුණේ පිලිපීනයේදි.
මේ තරගාවලියට ආදිත්‍යා සහභාගි වුණේ කවදාද?
පිලිපීනයේදී පැවැත්වුණු මෙම තරගාවලිය වෙනුවෙන් මම දින දහයක් පමණ ඒ රටේ හිටියා. අවසන් තරගය අගෝස්තු 8 වැනිදා ඒ රටේදි පැවැත්වුණා.
ඔයාට මේ සඳහා සහභාගි වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
මම මීට පෙර ලංකාවේදි මේ වගේ තරගාවලියකට සහභාගිවෙලා තිබුණේ නැහැ. මේ මුල්ම අවස්ථාවයි. මම රුක්මල් සේනානායක මහතා යටතේ නිරූපණ ශිල්පය හැදෑරුවා. ඔහුගේ නිර්දේශ කිරීමක් අනුවයි මට මේ තරගාවලියට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණේ.
මේ ආදිත්‍යා ජාත්‍යන්තර තරගාවලියකට සහභාගිවුණු පළමු අවස්ථාවයි. පිලිපීනයේදි ලබපු අත්දැකීම් කොහොමද?
ඒ තරගාවලියට රටවල් දාහතක් සහභාගිවෙලා තිබුණා. ඒ නිසා ගොඩක් තරගකාරී තරගයක් වුණා. මීට පෙර මට ඒ සම්බන්ධයෙන් අත්දැකීමක්වත් තිබුණේ නැහැ. හැබැයි ඒ සහභාගිවුණු හැම තරගකාරියක්ම හරිම හොඳයි. හරිම මිත්‍රශීලියි. රටවල් දාහතක අය වුණත් අපි හැමෝම හරිම සහයෝගයෙන් හැමදේම කරගත්තා. අත්දැකීම් නැති නිසා ඒ කාලය ටිකක් අමාරු කාලයක් වුණා. හැබැයි ඒ හැම දෙයක්ම මැද අවසානයේදී රටට කීර්තියක් ගේන්න මට පුළුවන් වුණා. ඒ ගැන ගොඩක් සතුටුයි.
ඒ සඳහා සූදානම් වුණේ කොහොමද?
නිරූපණ ක්ෂේත්‍රයට මම තාමත් ආධුනිකයි. ඒක මට අලුත් තැනක්. හැබැයි රුක්මල් සේනානායක මහතා මාස අටක් තිස්සේ ඒ සඳහා පුහුණුවීම් කළා. බොහෝ අය අවුරුදු පහක් දහයක් වගේ කාලයක් මේ ක්ෂේත්‍රයේ ඉඳලා අත්දැකීම් අරගෙන තමයි මේ වගේ තරගාවලියකට ඉදිරිපත් වෙන්නෙ. නමුත් මේ මාස අට පුරාවට අපි ගොඩක් මහන්සි වුණා. කකුල් රිදෙනකම් ඇවිදලා තියෙනවා. නින්දක් නැතිව මහන්සි වුණා. වෙන රටකට ගියාමත් අපි ඉන්න ඕනෑ විදිහක් තිබුණා. මම නියෝජනය කළේ මගේ රට. ඒ නිසා ලංකාවට කැළලක් නොවන විදිහට අපි හැසිරෙන්න ඕනෑ. ඒක ලොකු වගකීමක්. කොහොම හරි ඒ හැමදේමත් එක්ක මට මගේ රටට ජයග්‍රහණය ගෙන එන්න පුළුවන් වුණා. අපිට ඉලක්කයක් ආසාවක් තියෙනවනම් ඒ දේ කොහොම හරි ලබාගන්න හැකියාව තියෙනවා.
ආදිත්‍යා ගායිකාවක්. ඒ වගේම නිවේදිකාවක්. දැන් නිරූපණ ශිල්පිනියක්. මේ හැරවුම සිදුවුණේ කොතැනින්ද?
ඉස්සර ඉඳන්ම මගේ රටට දෙයක් කරන්න මට ඕනෑ වුණා. ගායිකාවක් විදිහට බොහෝ දෙනා මට ආදරේ කළා. ඒ වගේම මා තුළ ඉන්න නිවේදිකාවටත් බොහෝ දෙනා ආදරය කරනවා. ඒ වෙනුවෙන් මගේ රසික රසිකාවියන්ට ගොඩක් ස්තූතියි. නිරූපණයටත් මම පොඩි කාලේ ඉඳන් හරි ආසයි. නමුත් ඒ දේ මට කරන්න පුළුවන් කියලා මම දැනගෙන හිටියේ නැහැ. ඇත්තම කිව්වොත් මා තුළ ඉන්න නිරූපණ ශිල්පිනියත් මුලින්ම හඳුනාගත්තේ මගේ අම්මා. මා තුළ තියෙන දක්ෂතාවන් හැකියාවන් හැමදෙයක්ම මුලින්ම හඳුනාගත්තේ මගේ අම්මා. ඉතින් ඒ වෙනුවෙන් අම්මට ගොඩක් ස්තූතියි.
පුංචි කාලේ ආසා වුණේ කවුරු වෙන්නද?
පුංචි කාලේ මට එක එක හීන තිබුණා. කාලයක් දොස්තර කෙනෙක් වෙන්න හීන දැක්කා. නමුත් කාලයත් එක්ක මම කලාවට ආසා බව මම තේරුම් ගත්තා. මම ඉගෙනීමටත් ගොඩක් ආසා කළා. සමහර විට ඉදිරියට මා තුළ ඉන්න ගායිකාව, නිවේදිකාව, නිරූපණ ශිල්පිනියට අමතරව තවත් කෙනෙක් වෙන්න ඉඩ තියෙනවා. ඕනෑම කෙනෙක්ට ඕනෑම දෙයක් තෝරාගන්න පුළුවන්. නමුත් ඒ දේවල් සම්බන්ධයෙන් හොඳින් ඉගෙන ගන්න ඕනෑ. මමත් මේ හැමදේම පටන්ගත්තේ කිසිම දෙයක් දන්නේ නැතිවයි. අද වෙද්දි ඒ හැමදේම හිමිහිට ඉගෙන ගනිමින් මගේ බලාපොරොත්තුවලට ළං වෙන්න මට පුළුවන් වෙලා තියෙනවා. තවත් මට බොහෝ දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඒ හැමදේම ඉගෙන ගන්න මම ආසයි.
ගායිකාවක් වුණු ඔයාට නිරූපණ ක්ෂේත්‍රය අලුත්. ඒ අභියෝගයට මුහුණ දුන්නේ කොහොමද?
නිරූපණ ක්ෂේත්‍රය පැත්තෙන් මුලින්ම මට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණේ ජාත්‍යන්තර තරගාවලියකටයි. ඒක මට ලොකු අභියෝගයක් වුණා. රටවල් දාහතේම තරගකාරියන්ගේ එකම ඉලක්කය වුණේ තරගය ජයග්‍රහණයයි. ඉතින් මගේ හිතේ බයක් තිබුණා. ඒ වුණාට මගේ හිතේ විශ්වාසය වගේම ආත්ම ශක්තියත් තිබුණා. අපිට දිනන්නනම් ඕනෑම අභියෝගයක් බාරගන්න පුළුවන් වෙන්න ඕනෑ. ඒ නිසාම අද මට ජයග්‍රහණය ලබන්න පුළුවන් වුණා.
අවසානයේ ආදිත්‍යාගේ ජයග්‍රහණය නිවේදනය කරද්දි මොකද හිතුණේ?
ඇත්තටම මට නිහතමානී ආඩම්බරයක් දැනුණා. ඒක මගේ ජයග්‍රහණයක් විතරක් නෙවෙයි, මගේ රටට ලැබුණු ජයග්‍රහණයක්. ඉතින් ඒ අභිමානය මම හැමදාම ආරක්ෂා කරනවා. ඉදිරියට තවත් ඉගෙනගෙන නිරූපණ ක්ෂේත්‍රයේ වගේම ගායන ක්ෂේත්‍රය පැත්තෙනුත් මගේ රටේ නම බබළවන්න බලාපොරොත්තු වෙනවා. මගේ අලුත් ගීතයත් ඉදිරියේදී රසවිඳින්න අවස්ථාව ලැබේවි.
• දිශානි ජයමාලි