ආයුබෝවන් එහෙනම් අදත් අවසරයි හදසර සිනමා සාධන මැදිහත්වීම කරන්න. අපේ සිනමාව ගැන කතා කරද්දී පෙර ලිපියේදී අපි නළු නිළියන්ගේ රංගන දායකත්වය, ඔවුන්ගේ ආකල්ප සහ අධ්‍යක්ෂවරුන්ගේ භාවිතයන් පිළිබඳව විවේචනාත්මකව කතා කළා ඔබට මතක ඇති. අපි පළමු අදියරේදී සිනමාව විෂයෙහි පවතින අඩුපාඩු, ඊට සම්බන්ධ ක්ෂේත්‍රයන් ඔස්සේ දැක්කා. දැන් අපි සූදානම් වෙන්නේ එක් එක් ක්ෂේත්‍ර තෝරාගෙන ඒවායේ පවතින අර්බුද ගැටලු අඩුපාඩු හඳුනා ගනිමින් සංවර්ධනාත්මක විවේචන සිදු කරන්න.
සිනමා පටයක් නිර්මාණය වෙන්නේ කතාවක් පිළිබඳ අදහසකින්. ඒ අදහස ඊළඟට තිර පිටපතක් බවට පත් වෙනවා. ඒ නිසාම කර්මාන්තයේ හදවත බඳු වූ තිර පිටපත ගැන කතා නොකර සිනමාවේ අර්බුදය සම්පූර්ණයෙන් තේරුම් ගන්න බැහැ. චිත්‍රපටයක් සාර්ථක වෙන්න නම් ශක්තිමත්, ගැඹුරු පිටපතක් අත්‍යවශ්‍යයි. ඒත් අවාසනාවකට වගේ අද සිංහල සිනමාවේ ලොකුම අර්බුදයක් බවට තිර පිටපත පත්වෙලා.
අපි පසුගිය සතියේ සඳහන් සමහර චිත්‍රපට නිකම්ම “ෆැෂන් ෂෝ” එකක් වගේ. එහි සිනමාත්මක ගුණයට වඩා බාහිර ආකර්ෂණයට මුල්තැන දීලා තියෙනවා කියන කාරණය ඉස්මතු වෙනවා. ප්‍රේක්ෂකයාට සිනමාත්මක හැඟීමක් ඇති කරවන්න මේවාට බැහැ. අතීතය ගැන අපි උදම් අනන්නන් නොවුණත්, සිංහල සිනමාවේ එක්තරා යුගයක ඉතා සාර්ථක තිර පිටපත් රැසක් අපිට දැකගන්න ලැබුණු බව සඳහන් කරන්න ඕනෑ.
අපේ සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය ගැන කතා කරද්දී, ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුමිත්‍රා පීරිස්, තිස්ස අබේසේකර වැනි දැවැන්ත සිනමාවේදීන් ගැන අපි නිතරම උදම් අනනවා. ඒත් ඔවුන්ගේ සාර්ථකත්වයේ මූලික පදනම වූයේ ගුණාත්මක තිර පිටපත් රචකයන් බව අප අමතක නොකළ යුතුයි. එදා සිනමාවේ සිටි බොහෝ ප්‍රබල අධ්‍යක්ෂවරුන් තමන්ගේම පිටපත් රචනයට දායකවූවන් වුණා. ඒ වගේම ක්ෂේත්‍රයේම දක්ෂ පිටපත් රචකයන් රැසක් ද සිටියා. ජී.ඩී.එල්. පෙරේරා, තිස්ස අබේසේකර වගේ නම් අපිට කවදාවත් අමතක කරන්න බෑ.
ඔවුන් හුදෙක් කතාවක් ලිවීමට වඩා සිනමාත්මක භාෂාවකින් ප්‍රේක්ෂකයාගේ හදවතට කතා කරන අයුරින් පිටපත් රචනා කිරීමට සමත් වුණා. මේ පිටපත් රචකයන්ගේ ප්‍රධානම ශක්තිය වුණේ ඔවුන්ට සිනමාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් තිබීමයි. ඔවුන් හුදු කතාවක් පමණක් නොලියා චරිතවලට ජීවය දුන්නා. දෙබස් ස්වභාවික වුණා. දර්ශන හා රූප රාමු තුළින් කතාව කීමට ඔවුන් සමත් වුණා. “නිධානය” (තිස්ස අබේසේකර), වගේ නිර්මාණවල තිර පිටපත් ඒවාට පදනම් වුණු මූලික නිර්මාණවලට වඩා ප්‍රබල වුණා කිව්වොත් නිවැරදියි. තිස්ස අබේසේකර වැනි චරිත විසින් නිර්මාණය කළ තිර පිටපත් දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් සම්මානයට පාත්‍ර වූ බව සිහිපත් කරන්න ඕනෑ. ඒ වගේම තිස්ස අබේසේකරයන්ගේ පිටපත් රචනා කලාව පිළිබඳව වෙනම අධ්‍යනයක් සිදුකිරීම වර්තමානයේ ඉතාම කාලෝචිත බවත් සිහිපත් කළ යුතුයි.
විශේෂයෙන්ම සිනමා තිර පිටපත් රචනය කියන්නේ කලාත්මක වගේම ඉතා සංකීර්ණ තාක්ෂණික කටයුත්තක්. ඒ සඳහා මනා හැදෑරීමක්, ගැඹුරු අවබෝධයක් සහ නිර්මාණාත්මක පරිකල්පනයක් අත්‍යවශ්‍යයි.
නමුත් අද අපේ කර්මාන්තය තුළ පිටපත් රචකයන් අතරින් වැඩි දෙනකුට මේ හැදෑරීම හෝ පරිකල්පනය කියන දෙකින් එකක් විතරක් තමයි තියෙන්නේ. දෙකම නැති අයත් ඉන්නවා. හතු පිපෙන්න වගේ තැන තැන බිහිවෙන සිනමා නිර්මාණ දැක්කම ඒක ප්‍රත්‍යක්ෂයි. කොහොම නමුත් පොදුවේ තියෙන දුර්වලතාවය තමයි ඇතැම් තිර පිටපත් රචකයන් තිර පිටපත් ලිවීමේ තාක්ෂණික පැතිකඩ ගැන පමණක් අවබෝධයක් ඇති අය වීම සහ පරිකල්පනීය හැකියාවක් තියෙන අයට සිනමාකරණය පිළිබඳ තාක්ෂණික අවබෝධයක් නොවීම. අද වෙනකොට මේ හැකියාවන් දෙකම එකට කැටි වූ සැබෑ පිටපත් රචකයන් සිටින්නේ ඉතාම අතළොස්සක්. මේ තත්ත්වය පිටපතේ ගුණාත්මකභාවය සීඝ්‍රයෙන් පහත දමන ප්‍රධාන සාධකයක්.
පිටපතක ශක්තිය මනින ප්‍රධානම සාධකයක් තමයි චරිත ගොඩනැගීම සහ දෙබස් රචනය. අද බොහෝ සිංහල චිත්‍රපටවල චරිතවලට ගැඹුරක් නැහැ. ඔවුන්ගේ අභ්‍යන්තර ගැටුම්, පරිවර්තන හෝ ඔවුන්ගේ පසුබිම් කතා (backstories) නිසි ලෙස ගොඩනැගිලා නැහැ. ඒ නිසා ප්‍රේක්ෂකයාට චරිත සමඟ සම්බන්ධ වෙන්න හෝ ඔවුන්ගේ හැඟීම් තේරුම් ගන්න බැරි වෙනවා. චරිත ජීවමාන නොවන විට, චිත්‍රපටයත් අජීවී එකක් බවට පත් වෙනවා. උදාහරණ විදිහට මෑත කාලීන සිනමා නිර්මාණ රැසක නම් අපිට සඳහන් කරන්න පුළුවන් සහ අපි උත්සාහ කරන්නේ මේ කාරණාව පොදුවේ සාකච්ඡා කරන්න.
ඒ වගේම වර්තමාන බහුතර සිනමා තිර පිටපත්වල දෙබස් රචනයත් ඉතාම දුර්වලයි. බොහෝ විට දෙබස් ස්වභාවික නැහැ. ඒවා චරිතවලට හෝ තත්ත්වයට ගැලපෙන්නේ නැහැ. සමහර විටෙක අනවශ්‍ය ලෙස තොරතුරු කීමට උත්සාහ කරන දෙබස් දකින්න ලැබෙනවා. තවත් විටෙක ප්‍රේක්ෂකයාට තේරුම් ගැනීමට අපහසු අසම්බන්ධිත දෙබස් පවා තිබෙනවා. මෙය චිත්‍රපටයක රිද්මයට සහ ප්‍රේක්ෂක ආකර්ෂණයට විශාල ලෙස බලපානවා. “කතාවෙන් කතාව හැදෙන්න ඕනෑ” කියන මූලික පිටපත් රචනා මූලධර්මය බොහෝ විට අමතක කරලා තමා වර්තමාන පිටපත් රචකයෝ කටයුතු කරන්නෙ.
තිර පිටපත කියන්නේ හුදු කතාවක් ලිවීමක් නෙවෙයි. එය සිනමාත්මක භාෂාවෙන් කතාවක් ගොඩනැගීමක්. දර්ශන, ශබ්ද, සංගීතය, රූප රාමු තුළින් කතාව කීමට පිටපත් රචකයාට හැකියාව තිබිය යුතුයි. නමුත් අද බොහෝ පිටපත් රචකයන් මේ සිනමාත්මක භාෂාව ගැන අවබෝධයකින් තොරව කටයුතු කරන බවක් පේනවා. ඔවුන් හුදු දෙබස් සහ සිදුවීම් පෙළක් පමණක් පිටපත් කරලා සිනමාවට ආවේණික දෘශ්‍යමාන අංග නොසලකා හරිනවා. ඒ නිසා චිත්‍රපට තිරයට එන විට දෘශ්‍යමය වශයෙන් දුප්පත් සහ කම්මැලි නිර්මාණ බවට පත් වෙනවා. එහෙම වුණාම තමයි මෙලෝ රහක් නැති චිත්‍රපට බිහි වෙන්නෙ.
තිර රචකයකු යනු දර්ශන, රූප රාමු, සංස්කරණය, ශබ්දය සහ රංගනය යන සියලු අංගයන් පිළිබඳව අවබෝධයක් ඇතිව කතාවක් ගොඩනැගෙන ආකාරය දකින කෙනෙක්. නමුත් අද බොහෝ තිර රචකයන් සාකල්‍යමය දැක්මකින් තොරව කටයුතු කරනවා. ඇත්තෙන්ම කිව්වොත් තමන් මේ දේවල් ගැන දැන සිටිය යුතු බවත් ඔවුන් දන්නෙ නෑ. හැදෑරීමකින් තොර බව තමයි ඔවුන්ව මේ වගේ මානසිකත්වයකට ඇදලා දාලා තියෙන්නෙ.
ඊළඟට අද වන විට බොහෝ නිර්මාණවේදීන් තිර පිටපත් තෝරා ගැනීමේදී හෝ රචනා කිරීමේදී ජනප්‍රියත්වය පසුපස දිවීමට පෙළඹී සිටින බව පැහැදිලියි. යම් තේමාවක් හෝ යම් ආකෘතියක් ජනප්‍රිය වුවහොත්, කිසිදු හැදෑරීමකින් තොරවම ඒ හා සමාන පිටපත් රචනා කිරීමට පෙළඹෙනවා. මෙය සිනමාවේ විවිධත්වය නැති කරනවා පමණක් නොව, ගුණාත්මකභාවයටත් විශාල හානියක් සිදු කරනවා. ඇතැම් විට වෙනත් භාෂාවක හෝ සංස්කෘතියක සාර්ථක වූ නිර්මාණයක් “කොපි” කිරීමට උත්සාහ කළත් එය නිසි ලෙස අපේ සංස්කෘතියට හෝ සිනමාත්මක ආකෘතියට අනුවර්තනය කර ගැනීමට අපේ තිර පිටපත් රචකයෝ දක්ෂ වෙන්නේ නැහැ.
සැබවින්ම, පිටපත් රචනය පවා කලාවක්. වෙනත් රටක නිර්මාණයක් “අනුවර්තනය” කිරීම ගැටලුවක් නොවේ. එය ලෝක සිනමාව තුළ සාමාන්‍ය තත්ත්වයක් වෙනවා. නමුත් ලංකාව තුළ සිදුවන “කොපි” කිරීම් බොහෝ විට ලැජ්ජාවට කරුණක්. සමහර විට පැහැදිලිවම පිටපත් “කොපි” කර එය එසේ නොවන බවට ප්‍රකාශ කිරීම පවා සිදුවෙන බව අපි පහුගිය දවස්වල දැක්කා. නිකමට මතක් කළොත් පහුගිය කාලේ ජනප්‍රිය වුණු ඉතාම සැලකිය යුතු හොඳ පිටපතක් සහිත නිර්මාණයක් ගැන නිර්මාණවේදීන් කියලා තිබුණා, එය කොපියක් නොවන බව. ඒ යුරෝපයේ එක් රටක මුලින්ම නිර්මාණය කෙරුණු පසුව ජාත්‍යන්තර අවධානය දිනාගත්ත නිර්මාණයක්.
මේ සියලු අඩුපාඩු තිබියදීත් මෑතකදී බිහි වූ සාර්ථක සිංහල චිත්‍රපට කිහිපයක් දෙස බැලූ විට අපට පැහැදිලි වෙනවා, හොඳ පිටපතකට විශාල වටිනාකමක් තවමත් අපේ සිනමාව තුළ තිබෙන බව. මේ වසර තුළ බිහිවුණු නිර්මාණ කිහිපයක්ම කතා තේමාව, චරිත ගොඩනැගීම සහ දෙබස් රචනය අතින් ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනා ගැනීමට සමත් වුණා. එය හුදෙක් වාණිජමය සාර්ථකත්වයක් පමණක් නොව කලාත්මක වටිනාකමක් ද රැගෙන ආවා. මේ විවේචන අතරේ මේ දේවල් පිළිබඳ අගය කිරීමක් නොකර ඉන්න අපිට බෑ.
මේ වෙලාවේ අපි හැදෙන්න ඕනෑනම් බලන්න ඕනෑ වැඩේ හොඳට කරන ලෝක සිනමාව දිහා. පිටපත් රචනා කලාව මේ වන විට පුළුල් විෂය පරාසයක් විදිහට සංවර්ධනය වෙලා තියෙනවා. ලෝක සිනමාව තුළ තිර පිටපත් රචනයට අදාළව විශාල සම්පත් ප්‍රමාණයක් පවතිනවා. අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන තිර පිටපත් බැංකු (Screenplay Databases) සහ අධ්‍යාපනික වෙබ් අඩවි මේ අතරින් ප්‍රධානයි. The Black List, IMDb Pro, Script Pipeline වැනි වේදිකා ඔස්සේ දහස් ගණනක් තිර පිටපත් අධ්‍යයනය කිරීමට, විශ්ලේෂණය කිරීමට සහ අලුත් නිර්මාණවේදීන්ට අවස්ථා ලබා ගැනීමට පුළුවන්. මේවා හුදෙක් පිටපත් ගබඩා කරන ස්ථාන පමණක් නොවෙයි, ඒවා තිර පිටපත් රචනයේ ප්‍රමිතීන්, ප්‍රවණතා සහ සාර්ථකත්වයේ රහස් පිළිබඳව විශාල අවබෝධයක් ලබා දෙනවා.
මීට අමතරව, ලොව පුරා පිහිටි සිනමා පාසල්, විශ්වවිද්‍යාල සහ පෞද්ගලික ආයතන මගින් සංවිධානය කරන තිර පිටපත් රචනා වැඩමුළු (Screenwriting Workshops) සහ සම්මන්ත්‍රණ ඔස්සේ නවක සහ පළපුරුදු රචකයන්ට තම දැනුම යාවත්කාලීන කර ගැනීමට සහ කුසලතා වර්ධනය කර ගැනීමට අවස්ථා සැලසෙනවා. මේ සියලු සම්පත් සහ දැනුම එක්රැස් වීමෙන්, ගුණාත්මක තිර පිටපත් බිහිවීමට අවශ්‍ය පසුබිම ලෝක සිනමාව තුළ ගොඩනැගී තිබෙනවා.
ලෝක මට්ටමේ සිනමාව තුළ තිර පිටපත්වල ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා වෘත්තීමය භාවිතයන් රැසක් අනුගමනය කරනවා. පිටපතක් රචනා කිරීමේදී කතා ව්‍යුහය (Story Structure), චරිත සංවර්ධනය (Character Development), දෙබස් රචනය (Dialogue Writing) සහ තේමාව (Theme) වැනි මූලිකාංග කෙරෙහි දැඩි අවධානයක් යොමු කරනවා. "Three-Act Structure" සහ "Hero's Journey" වැනි ප්‍රකට ආකෘති අනුගමනය කරමින්, කතාවේ ගලා යාම සහ ප්‍රේක්ෂකයාගේ අවධානය නිරතුරුව පවත්වා ගැනීමට උත්සාහ කරනවා. තිර පිටපත් රචකයන් නිරන්තරයෙන් පර්යේෂණ (Research) සිදු කරන අතර, අදාළ විෂය ක්ෂේත්‍ර පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගන්නවා. ඇත්තෙන්ම මේ දේවල් අනුගමනය කරන්නන්, ශ්‍රී ලාංකික තරුණ තිර පිටපත් රචකයන් නැතුව නෙවෙයි. ඒත් ඔවුන්ගේ දැනුමට, ඔවුන්ගේ හැකියාවට තවමත් මේ විශේෂය තුළ නිසි වටිනාකමක් ලැබිලා නැහැ.
• චමිඳු නිසල් ද සිල්වා