2025 අගෝස්තු 09 වන සෙනසුරාදා

කිසිදු කලාකරුවකුට දේශපාලනයෙන් බැහැර වෙන්න බැහැ

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 15

‘අටවෙනි බුවනෙක’ දොරට වඩින්න නියමිතයි. වචනයක් කතා කරමු?
‘අටවෙනි බුවනෙක’ කියන්නෙ මගේ අලු‍ත්ම වේදිකා නාට්‍ය. ‘සඳුදා වැටෙන්නේ සිකුරාදාට’ වේදිකා නාට්‍යයෙන් පස්සේ එළිදැක්වෙන මගේ අලු‍ත්ම නාට්‍ය තමයි මේ. ‘අටවෙනි බුවනෙක’ දොරට වඩින්නේ අගෝස්තු මාසයේ. 14 සහ 15 දින දෙකේ බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් හිදී සවස 7.00ට මංගල දර්ශනය පවත්වන්න නියමිතව තිබෙනවා. මෙදින විශේෂත්වය තමයි ආරාධිත අමුත්තන් කියලා විශේෂ පිරිසක් නැහැ. සියලු‍ වේදිකා නාට්‍ය ප්‍රේක්ෂකයන්, ආරාධිතයන් ලෙස ගෙන අපි විවෘත ආරාධනයක් කරලා තියෙනවා මේ දින දෙකේදී ‘අටවෙනි බුවනෙක’ නරඹන්න එන්න කියලා.

මේ වගේ වේදිකා නාට්‍යයක් කරන්න හිතුණේ ඇයි? මේ සම්බන්ධ පසුබිම් කතාවක් තියෙනවද?
ඔව්... ඇත්තටම අපේ රටේ දේශපාලන ප්‍රවාහයේ පාලකයන්ගේ සහ ජනතාවගේ විශාල වෙනස්කම් රාශියක් දැකගන්න පුළුවන් වුණු කාලසීමාවක් වශයෙන් ගෙවී ගිය අවුරුදු දෙක තුන අතර කාලය අපිට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන් 2022 වසරේ මැයි මාසයේ 09 වැනිදා ගැන කතා කළොත් ඒක අපි කාටවත් අමතක කරන්න බැරි සුවිශේෂී දවසක්. එතෙක් පැවති පාලක ධූරාවලියේ බලය උඩු යටිකුරු වුණු දවසක් විදිහට ඒ දවස හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය පුරවැසියන්ගේ එතෙක් කාලයකට දේශපාලනඥයන් පිළිබඳව තිබුණු ගෞරවය, බය, පක්ෂපාතීත්වය කණපිට හැරුණු දවසක් විදිහට මැයි 09 හඳුන්වන්න පුළුවන්. මොකද, ඊට පෙර අරගලය තිබුණා. දේශපාලන ආධාරකරුවන් යොදවලා බලය පෙන්නලා ඒ අරගලය නැවැත්වුවාට පස්සේ තරුණ කණ්ඩායම් සහ සිවිල් පුරවැසියන් එකතුවෙලා ලබාගත් ජයග්‍රහණයේ දිනය විදිහට මේ දවස හඳුන්වන්න පුළුවන්. ඇත්තටම ඒ කාලය ප්‍රතිප්‍රහාර එල්ල කිරීම්, ජීවිත හානි සිදුවීම්, දේපළ හානි සිදුවීම් වැනි බරපතළ ඛේදවාචකයක් සිදුවුණු කාලයක්.
ඉතින් මේ දවසේ දේශපාලනඥයන්ගේ සහ සාමාන්‍ය පුරවැසියන්ගේ හැසිරීම තුළ අතිශය නාටකීය අවස්ථා, නාට්‍යවේදියෙක් විදිහට මම දැක්කා. ඒ කාලයේ පැවති මේ සිද්ධි දාමය තමයි ‘අටවෙනි බුවනෙක’ ලියන්න මම හේතු පාදක කර ගත්තේ.

‘අටවෙනි බුවනෙක‘ නිෂ්පාදනයේදී මුහුණ දුන් අභියෝග ගැන කතා කරමු?

පොදුවේ මුහුණ දීපු ගැටලු‍ විදිහට ගත්තොත්, කාලාන්තරයක් පටන් තියෙන ගැටලු‍වක් තමයි අපිට නාට්‍ය පුහුණු වෙන්න රංග ශාලා නැතිවීම. ඒක ඉතින් විසඳෙන්නේ නැහැ. ඒ ගැටලුව එදත් තිබුණා, අදත් තියෙනවා. ඒ හැරුණාම මෙවර මුහුණ දුන් ගැටලු‍ව තමයි, ‘අටවෙනි බුවනෙක’ වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය ප්‍රදර්ශනය කරන්න අගනුවර රංග ශාලාවක් සති අන්තයේ වෙන් කරවාගන්න අපි ජනවාරි මාසයේ සිට උත්සාහ කළා. නමුත් අපිට සති අන්තයේ රංග ශාලාවක් වෙන් කරගන්න බැරි තරමට සියලු‍ම රංග ශාලා නිෂ්පාදකවරුන් විසින් වෙන් කරගෙන තිබුණා. මේ කාරණාව නිසා අපේ වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය සති අන්තයක නැතුව සතියේ දිනවල පවත්වන්න සිද්ධ වුණා. ඒක තමයි මේ නාට්‍යයේදී අපි මුහුණ දීපු ලොකුම අභියෝගය.

වර්තමානයේ ලංකාවේ වේදිකා නාට්‍ය පවතින තත්ත්වය ගැන ඔබ තෘප්තිමත්ද?

මෙහෙමයි. එක අංශයකින් තෘප්තිමත් වෙන්න පුළුවන්. තවත් අංශයකින් අතෘප්තිකර කාරණා කිහිපයකුත් තියෙනවා. තෘප්තිමත් වෙන්න පුළුවන් කාරණාවකට ගත්තොත් වේදිකා නාට්‍යවලට ප්‍රේක්ෂකයන් වැඩි වශයෙන් එන්න පටන් අරගෙන තියෙනවා. ඒක සතුටට කාරණාවක්. අනිත් පැත්තෙන් ගත්තොත් අතෘප්තිකර කාරණාව තමයි ඉතාම ගුණාත්මක ගණයේ නිර්මාණ නෙමෙයි ප්‍රේක්ෂකයන් අතරට යන්නේ. හැබැයි වේදිකා නාට්‍ය වැඩි වශයෙන් නිෂ්පාදනය වීම නම් සාධනීය ලක්ෂණයක්. මේ අවුරුද්ද ගත්තොත් අපිට සතුටු වෙන්න පුළුවන් ‘කොළඹ තොරණ’, ‘රහසිගත ලිපි ගොනුව’ වගේ උසස් තත්ත්වයේ නාට්‍ය මේ අවුරුද්දේ තිරගත වුණා.

බොහෝ දුරට වේදිකා නාට්‍ය තිරගත වෙන්නේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල. මේවා ගමට ගෙනියන්න බැරි ඇයි?

ඇත්තටම මේකට හේතු කාරණා රාශියක් තියෙනවා. සමහර කාරණා කාලාන්තරයක් පුරාවට තිබුණත් විසඳෙන ඒවා නෙමෙයි. ප්‍රධානම දේ තමයි ග්‍රාමීය ප්‍රදේශ ගත්තාම රංග ශාලා නැහැ. දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශ විතරක්ම නෙමෙයි, කොළඹින් එළියට ගියාම කෑගල්ල, කුරුණෑගල නගරවලත් ප්‍රමිතිගත රංග ශාලා නැහැ. නගර ශාලා තමයි වේදිකා නාට්‍ය පෙන්වන්න යොදාගන්නේ. ගම්මාන විතරක් නෙමෙයි, ඒ ආශ්‍රිත නගරවලත් වේදිකා නාට්‍යයක් පෙන්වන්න සුදුසු ප්‍රශස්ත මට්ටමේ රංග ශාලා නැහැ. ඉතින් මේ රංග ශාලා නැති තත්ත්වය තුළ වේදිකා නාට්‍ය ගමට ගෙන යාම ගැන බලාපොරොත්තුවක් දැන්ම තියාගන්න අමාරුයි. ඒකට අනිවාර්‌යෙන්ම රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍ය වෙනවා. මොකද, මේ නාට්‍යවේදීන්ට පමණක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම ප්‍රශස්ත මට්ටමේ රංග ශාලා ගම්මාන ආශ්‍රිතවත් ඉදිවෙනවානම් නාට්‍යවේදීන් සහ නිෂ්පාදකවරුන් වේදිකා නාට්‍ය ගම්වලට ගෙනියන්න පසුබට වෙන්නේ නැහැ. නමුත් කනගාටුවට කරුණ තමයි, මේ සඳහා කිසිදු රාජ්‍ය මැදිහත්වීමක් හෝ නොලැබෙන එක. තව දෙයක් කියන්න ඕනෑ. කුරුණෑගල, අනුරාධපුරය වගේ ප්‍රදේශවල වේදිකා නාට්‍ය සඳහා වැඩි ඉල්ලු‍මක්, ආකර්ෂණයක් තිබෙනවා. මේ වගේ ප්‍රදේශවලට ප්‍රශස්ත මට්ටමේ රංග ශාලා ලැබෙනවානම් ඇත්තටම ඒක නාට්‍යවේදීන්ට, ප්‍රේක්ෂකයන්ට වගේම කලාවට සිදුවන ඉමහත් පහසුවක් සහ විශාල සේවයක්. මොකද, මේ මූලික දේවල් සියල්ල නාට්‍යවේදීන්ට පමණක් සම්පූර්ණ කරන්න බැහැ. මේ සඳහා සංස්කෘතික අමාත්‍යාංශයේවත් මැදිහත්වීමක් තිබුණොත් වේදිකා නාට්‍ය සහ කලාව මීට වැඩිය හොඳ මට්ටමකට ගන්න පුළුවන්.

කලාව තුළින් දේශපාලනය කරළියට පැමිණීම ඔබ දකින්නේ කුමන ආකාරයටද?

කිසිදු කලාකරුවකුට දේශපාලනයෙන් බැහැර වෙන්න බැහැ. සෑම මනුෂ්‍යයෙක්ම උපතේ සිට මරණය දක්වා දේශපාලන ජීවියෙක් විදිහට තමයි හඳුන්වන්නේ. කලාකරුවකුටත් පෞද්ගලික දේශපාලන දෘෂ්ටිකෝණයක් තිබෙනවා. ඇතැම් අවස්ථාවලදී ඔහුගේ නිර්මාණ තුළින් එම දේශපාලන මතවාදය එළියට එනවා. අපි කොච්චර නෑ කියලා කිව්වත් පිටපත් රචකයකුගේ, අධ්‍යක්ෂවරයකුගේ ඇතුළේ තියෙන දේශපාලන මතවාදය, දෘෂ්ටිකෝණය, අත්දැකීම්, දේශපාලනය සම්බන්ධ සමාජ මතවාද ආදිය එළියට එනවා. මම ඒක වැරදියි කියන්නේ නැහැ. සාමාන්‍ය ජනතාවගේ ජන විඥානය අවදි කරන්න නාට්‍ය රචකයන්ගේ, අධ්‍යක්ෂවරුන්ගේ දේශපාලන දෘෂ්ටිකෝණය ඉවහල් වෙලා තියෙනවා. ඇත්තටම ඒක කලාවේ සාධනීය ලක්ෂණයක් විදිහට පිළිගන්න පුළුවන්.

අද වන විට වේදිකා නාට්‍යවලට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන කතා කළොත්?

කොවිඩ් වසංගතයෙන් පස්සේ වේදිකා නාට්‍යවලට ප්‍රේක්ෂකයන් පැමිණීම සාධනීය වශයෙන් වැඩිවීමක් සිදුවෙලා තියෙනවා. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල වගේම, කොළඹින් එපිට ප්‍රදේශවලත් ඒ වැඩිවීම අපිට පැහැදිලිව දැකගන්න පුළුවන්. අනුරාධපුරයේ එළිමහන් රංග ශාලාවක් තියෙනවා. එහි සෑම සති අන්තයකදීම නාට්‍යයක් පෙන්වනවා. ඉතින් මේ එළිමහන් රංග ශාලාව පිරී ඉතිරී යන තරමටම ප්‍රේක්ෂකයන් පැමිණෙනවා. මෙය වේදිකා නාට්‍ය කලාවේ යම් පිබිදීමක් විදිහට හඳුනාගන්න පුළුවන්.

වේදිකා නාට්‍ය නිෂ්පාදකවරයෙක් සහ අධ්‍යක්ෂවරයෙක් වශයෙන් මෙතෙක් ආ ගමන් මඟ ගැන මතක සටහනක් තබමු?

ඇත්තටම නාට්‍යවේදියෙක් වශයෙන් මා ගැන කතාබහට ලක්වෙන්න පටන් ගත්තේ 2010 වසරේ ‘බොක්ස්’ කෙටි නාට්‍යත් සමඟයි. බොක්ස් කෙටි නාට්‍ය 2010 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම වේදිකා නාට්‍ය බවට පත්වුණා. ඒත් සමඟම සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තා. ඒ කාලයේ මා ගැන කතාබහ කරන්න පටන් ගත්තා. මොකද ඒ කාලයේදී මම කෙටි නාට්‍ය තමයි රචනා කරලා අධ්‍යක්ෂණය කරන්න පටන් ගත්තේ. ඉන් පසුව මම තව නාට්‍යයක් ලිව්වා ‘මාරක ළිඳේ සවාරියක්’ කියලා. අවසානයට වේදිකාගත වුණු මගේ නාට්‍ය තමයි ‘සඳුදා වැටෙන්නේ සිකුරාදාට’ කියන වේදිකා නාට්‍ය. ඉදිරියේදී තිරගත වෙන්න තියෙන්නේ ‘අටවෙනි බුවනෙක’ කියන වේදිකා නාට්‍ය. ඉතින් මේ තමයි ආරම්භයේ ඉඳලා මෙතුවක් කාලයට මගේ ගමන් මඟ.

• මංගලා පවිත්‍රානි