ඔබ වැඩියෙන්ම කැමති රංගනයටද... ගායනයටද?
ඒකනම් මට හරියටම කියන්න බැහැ. මා තුළ ඉන්න ඒ දෙන්නාටම මම එක වගේම කැමතියි. මම මුලින්ම පටන් ගත්තේ සංගීතයයි. ප්‍රසංගයක් කරමින් ඉඳිද්දී ධම්මික තිසේරා මහතා “රඟපාමුද?” කියලා අහලා මාව රංගනයට එකතු කර ගත්තා. අද මම රංගනයටත් ගායනයටත් එක විදිහට කැමතියි. මම පාසල් වේදිකා රංගනයට දායක වෙලා තියෙනවා. රංගනයට මට පොඩි උණකුත් තිබුණා. ඉස්සර නිශාන්ත ද අල්විස් මහතාගේ “තුරු සෙවණ” රංගන වැඩමුළුවටත් මම සහභාගි වුණා.
මංජු රඟපානවාට ඒ කාලේ ගෙදරින් කැමැත්තක් තිබුණාද?
රංගන වැඩමුළුවක් ගැන පුවත්පත් දැන්වීමක් දැකලා ඒක මම තාත්තාට කියද්දි “පිස්සුද... ඔහේ නළුවක් වුණොත් ලෝකෙම මිනිස්සු නළුවෝ වෙනවා” කියලා තාත්තා කිව්වා. තාත්තා නළුවෝ කියලා දැකලා තිබුණේ විජය කුමාරණතුංග මහතා, ජෝ අබේවික්‍රම මහතා, ගාමිණී ෆොන්සේකා මහ තා වැනි හොඳ හැඩිදැඩි උස මහත අයයි. මම තනියම කොළඹට ඇවිත් ඒ විෂය යම්තාක් දුරකට හැදෑරුවා. අපේ පවුලේ කිසිම කෙනෙක් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණු අය නෙමෙයි.
ඔයාගේ පවුල් පසුබිම ව්‍යාපාරික ක්ෂේත්‍රයට නැඹුරුයි. එහෙම නේද?
ඔව්. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. හැබැයි තාත්තා කලාවට හරිම ආසා කළා. තාත්තා හොඳ සංගීත රස විඳින්නෙක්. පාසලේදි වුණත් මට සංගීතය කරන්න ලොකු අවස්ථාවක් ලැබුණේ නැහැ. මම ඉගෙන ගත්තේ කිතුල්ගල සහ ගිනිගත්හේන අතර තිබූ කළුගල මහා විදුහලේ. තනියම මට බස් එකක එන්න පුළුවන් කාලෙදි මම කොළඹ ඇවිත් කරක් ගහලා කොහොම හරි ගායකයෙක් වුණා.
ඒ අවස්ථාව ලැබුණේ කොහොමද?
ඒ කාලේ නාවලපිටිය සංගීත කණ්ඩායමක් තිබුණා. ඒ සංගීත කණ්ඩායමේ හිමිකරුට ශබ්දවාහිනී කට්ටලයක් තිබුණා. එයා කොළඹ සංගීත කණ්ඩායම්වලට ඒවා කුලියට දුන්නා. ඒ බඩු එහෙට මෙහෙට අරගෙන යන ගෝලයා විදිහට වැඩ කළේ මමයි. ඌරන්පොළ තිබුණු පොඩි සංගීත කණ්ඩායමක් හඳුනාගත්ත මම ඒ සංගීත කණ්ඩායමට එකතු වුණා. ඔය විදිහට සංගීත කණ්ඩායම් කිහිපයකම මම වැඩ කළා. එතැනදී චාමර රණවක අයියාගේ ‘ආයුබෝවන් ශ්‍රී ලංකා’ සංගීත කණ්ඩායම පටන් ගනිද්දී මට ඒකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. චාමර අයියාගේ ආයුබෝවන් ශ්‍රී ලංකා ඔස්සේ බොහෝ පිරිසක් මාව හඳුනා ගත්තා.
සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ වුණාට ගෙදරින් අකමැත්තක් තිබුණේ නැද්ද?
නැහැ. මගේ තාත්තා මම සංගීතය කරනවට හරිම කැමතියි. තාත්තා මම නළුවෙක් වෙනවට අකමැති වුණාට ගායකයෙක් වෙනවට කැමැත්තක් තිබුණා. සංගීතය වෙනුවෙන් තාත්තා මට සෑහෙන වියදම් කරලා තියෙනවා. අපි පාසලේදී සංගීත ප්‍රසංගයක් කළා. ඒකෙදි මට සින්දුවක් කියන්න අවස්ථාව දෙන්නම් කියලයි සංවිධායකවරු කිව්වේ. තාත්තා මට අලුත් ඇඳුමක් මස්සවලා දුන්නා. හැබැයි ඒ ප්‍රසංගයේදී මට එක ගීතයක්වත් ගායනා කරන්න අවස්ථාව දුන්නේ නැහැ. එදා මම ගොඩාක් දුක් වුණා. මටත් වඩා දුක් වුණේ මගේ තාත්තා කියලයි මට හිතෙන්නේ. තවත් සංගීත ප්‍රසංගයක වේදිකාවට නගින්න හදනවාත් එක්කම සංවිධායක කණ්ඩායමේ හිටපු කෙනෙක් මට කැමති නැහැ කියලා මාව බස්සලා තිබුණා. ඒ වගේ කලකිරුණු අවස්ථා කිහිපයක් මගේ ජීවිතයේ තියෙනවා. ඒ නිසා මගේ තාත්තා මට සින්දු කියන්න ඕනෑ නිසා අපේ පුංචි ගමට සල්ලි වියදම් කරලා සංගීත කණ්ඩායමක් ගෙන්නුවා. මුලින්ම ගිනිගත්හේනට flashback සංගීත කණ්ඩායම ගෙන්නුවෙත් අපේ තාත්තා. ඒකටත් හේතුව වුණේ මට සින්දු කියන්න අවස්ථාව ලබා දීමයි.
නාවලපිටියේ ඉඳන් කොළඹට යන එන එක ලොකු මහන්සියක් නේද?
ඔව්... ඇත්තම කිව්වොත් අද මේ ඉන්න තැනට එන්න මම ලොකු කට්ටක් කෑවා. මම අදටත් එන්නේ පාරේ බස් එකේ. ඒ කාලේ කොළඹ අපි දන්න කියන කෙනෙක් හිටියේ නැහැ. බස් එක තමයි ඒ කාලේ මගේ ජීවිතේ. වැඩි කාලයක් නිදාගත්තෙත් බස්වලමයි. ඒ කාලේ ඒක ලොකු කට්ටක්. මම රඟපෑ මුල්ම ටෙලිනාට්‍ය රූගත කිරීම්වලදි සබන් කෑල්ල, ‘බෙඩ්ෂීට්’ එක ගෙනියන්න ඕනෑ කියලා මම දැනගෙන හිටියෙවත් නැහැ. මුලින්ම රූගත කිරීම් තිබුණේ බණ්ඩාරවෙල. මම ඇඳ උඩින් මගේ බෑග් එක තිබ්බා කියලා නාට්‍ය නිෂ්පාදක කණ්ඩායමේ කෙනෙක් මට නොසෑහෙන්න බැන්නා. එදා ඒ කෙනා මගේ බෑග් එක පවා විසි කළා. මට නිදාගන්න ඇඳක් ලැබුණේ නැහැ. මම බිම නිදාගන්න හදද්දී කැමරා කරන්න ගිය අලුත් කෙනෙක් මට එයාගේ ඇඳට කතා කළා. ඔන්න පළවෙනි දවසේ ඒකෙ නිදාගත්තා. දෙවැනි දවසේ නිදාගන්න හදද්දී “මචං මට සනීප නෑ වගේ. උඹට බිම නිදාගන්න අවුලක් නැද්ද?” කියලා ඇහුවා. ඉතින් සීතලේ ගැහි ගැහී මම දවස් තුනක් බණ්ඩාරවෙල බිම නිදාගත්තා. එයා කැමරා ශිල්පියෙක් නිසා අපි වගේ ආධුනිකයෙක් ළං කරගන්න එපා කියලා අධ්‍යක්ෂවරයා ඒ මල්ලිට කියලා තිබුණා. ඒකයි ඒ මල්ලි බොරු ලෙඩක් දාලා මාව බිමට කළේ. ඒ වගේ ජීවිතේ පුදුම කට්ටක් කෑවා. හැබැයි ඒ ටෙලිනාට්‍ය මොන යම් හේතුවක් නිසා විකාශය වුණේ නැහැ. මේක කලාවක්. මිනිසුන්ගේ හිත් රිදවලා මේ කලාව කරන්න සොබාදහමවත් ඉඩ දෙන්නේ නැහැ.
මංජු දියණියන් දෙදෙනකුගේ පියෙක්. එහෙම නේද?
මගේ තාත්තා තමයි කලාවට එන්න මට මූලිකම හේතුව සහ උදව්ව වුණේ. මගේ තාත්තා සුනිල්. අම්මා චාලට්. මට නංගි කෙනෙක් ඉන්නවා. මගේ බිරිඳ දුනේෂා. අපිට දරුවන් දෙන්නෙක් ඉන්නවා. මගේ තාත්තාගෙන් සහ බිරිඳගෙන් ලැබෙන සහයෝගය නිසයි මම අද මේ තැන ඉන්නේ. මගේ තාත්තා අදටත් මට උදව් කරනවා. ඒ හයිය නිසාමයි අදටත් මම මේ කලා ක්ෂේත්‍රයේ රැඳී ඉන්නේ. ඒ වගේම මගේ බිරිඳ දෙන නිදහස, ඒ විශ්වාසය නිසා අදටත් මම කලා කටයුතුවල නිරත වෙනවා.
• දිශානි ජයමාලි
• සුමුදු හේවාපතිරණ