2025 අගෝස්තු 02 වන සෙනසුරාදා

සිනමා ශාලා තිබුණු පලියට චිත්‍රපට ගේන්නත් බැහැ

 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 19

මුලින්ම අපි ඔබ ගැන තොරතුරු බිඳක් කතා කරමු?

මම ජනිත් ප්‍රසන්න විතානගේ. මම මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාර කටයුතු කරනවා. මම ව්‍යාපාර කටයුතුවලට යොමුවුණේ මගේ පියාගේ මාර්ගයෙන්. මගේ පියා 1972 වර්ෂයේ තමයි සිනමා කර්මාන්තයට යොමු වුණේ. ඔහුගේ පළවෙනි සිනමා ශාලාව ‘සුරයියා’ ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාගල ප්‍රදේශයේ ආරම්භ වුණා. මගේ ගම නුවරඑළිය වුණාට මම ගියේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට. පාසල් අධ්‍යාපනය නිම කරලා, උසස් අධ්‍යාපන කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවට ගියා. ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපන කටයුතු නිමා කරලා ලංකාවට ආවට පස්සේ මගේ පියාගේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වුණා. මට සහෝදරයෙක් සහ සහෝදරියක් ඉන්නවා. ඒ දෙදෙනාම වෛද්‍යවරුන් වශයෙන් කටයුතු කරනවා.

පසුගිය දිනෙක නුවර නගරයේ සිනමාහල් හතරක් විවෘත වුණා. ඒ ගැන කතා කළොත්?

මෙහෙම කියන්නම්කෝ. ව්‍යාපාරයක් වශයෙන් ගත්තොත් කොරෝනා වසංගතය හේතුවෙන්ම මුලින්ම වැසුණු ව්‍යාපාර අංශයක් තමයි සිනමා ශාලා. කොරෝනා වසංගතය අවසන් වෙලා අවසානයටම විවෘත වුණු ව්‍යාපාර අංශය වුණෙත් සිනමා ශාලා. ඒ කාලය වන විට මම ශ්‍රී ලංකාවේ චිත්‍රපට ප්‍රදර්ශන සංගමයේ ලේකම් හැටියට කටයුතු කළා. දැනුත් මම ඒ තනතුරේම කටයුතු කරනවා. කොරෝනාවලින් පස්සේ 2022 වසරේදී සිනමා ශාලා නැවත වතාවක් විවෘත කළා. ඉන්පසුව මම මගේ පෞද්ගලික ව්‍යාපාර කටයුතුත් ටික ටික කරගෙන ආවා. පසුගිය ජූලි මස 19 වැනිදා මහනුවර ‘කමර්ෂල් කම්ප්ලෙක්ස්   සෙන්ටර්’ එකේ හතරවැනි මහලේ සහ පස්වැනි මහලේ JP Cineplex නමින් සිනමා ශාලා හතරක් විවෘත කළා. මේ සිනමා ශාලා හතර Platinum, Silver, Gold, Luxe වශයෙන් නම් කරලා තියෙනවා. මේ සිනමා ශාලා හතර එකිනෙකට වෙනස් සහ එකිනෙකට ආවේණික අංගෝපාංග සහ තාක්ෂණය සහිතවයි නිර්මාණය කරලා තියෙන්නේ.

සිනමා ශාලා හතරක් කියන්නේ ඉතා සංකීර්ණ ව්‍යාපෘතියක්. මේ වගේ දෙයක් කරන්න හිතුවේ ඇයි?

මම මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ සිටම මගේම සිනමා ශාලාවක් හදන්න ලොකු බලාපොරොත්තුවක් තිබුණා. මම හිතනවා ඒ හීනය මම දකින්න ඇත්තේ මගේ පියා සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා හිටපු නිසා කියලා. මගේ අම්මාට මාව ලැබෙන්න ඉන්නකොටත් වැඩිපුරම ඉඳලා තියෙන්නේ සිනමා ශාලාවල. ඉතින් ඒ ආභාෂය මටත් ලැබිලා තියෙනවා. මම උසස් අධ්‍යාපනය හදාරන්න ඕස්ට්‍රේලියාවට ගිය කාලයේ එහේ තියෙන සිනමා ශාලාවලයි, ලංකාවේ තියෙන සිනමා ශාලාවලයි ලොකු වෙනසක් දැක්කා. ඉතින් මට ඒ තාක්ෂණයත් එක්ක නවීන පන්නයේ සිනමා ශාලාවක් හදන්න ලොකු අවශ්‍යතාවක් ඇතිවුණා. ඒකත් මට කරන්න උවමනාව තිබුණේ මහනුවර. 2015 දී මම සිනමා ශාලාවක් හදන්න අවශ්‍ය පසුබිම නිර්මාණය කරගෙන ඒක හදන්න අවශ්‍ය ස්ථානයක් හෙව්වා. මම මහනුවර නගර සභාවත් එක්ක සම්බන්ධ වෙලා මේ කාර්යය කරගෙන යනකොට මගේ තාත්තා මට නිරන්තරයෙන් අවවාද උපදෙස් ලබා දුන්නා. 2019 දී මහනුවර නගර සභාව විසින් ඉදිකරපු මහනුවර ‘කමර්ෂල් කම්ප්ලෙක්ස්   සෙන්ටර්’ කියන බිල්ඩින් එකේ හතරවැනි සහ පස්වැනි මහලේ සිනමා ශාලා හතරක් හදන්න යෝජනාවක් තිබුණා. ඒ යෝජනාවත් මගේ අදහසක් අනුව තමයි ක්‍රියාත්මක වුණේ. මගේ ලොකුම බලාපොරොත්තුව වුණේ අති නවීන පහසුකම් සහිත සිනමා ශාලා කොළඹ ආශ්‍රිත නගරවලට පමණක් සීමා නොකර ගම්වල සිටින සිනමා ලෝලීන්ටන් පරිපූර්ණ සිනමා අත්දැකීමක් ලබාගන්න අවස්ථාව උදා කරලා දෙන එක.

මේ සිනමා ශාලාවල විශේෂත්වය මොකක්ද?

සිනමා ශාලා හතරේ විශේෂත්වය වෙන්නේ 2024 අති නවීන තාක්ෂණය භාවිත කරලා තියෙනවා. මෙහි පළවෙනි සිනමා ශාලාව Platinum ලෙස නම් කරලා තියෙනවා. එහි විශේෂත්වය වන්නේ ප්‍රේෂණ යන්ත්‍රය RGB 4K වර්ගයේ Laser Projector එකක් භාවිත කිරීම. මෙවැනි Projectors දැනට ලංකාවේ සිනමා ශාලා දෙකක පමණයි තියෙන්නේ. මෙම සිනමා ශාලාවේ ශබ්ද පද්ධතිය ලෙස 48 channel dolby atmos ශබ්ද පද්ධතියක් භාවිත කරනවා. මේ සිනමා ශාලාව තමයි තාක්ෂණය අතින් උපරිම මට්ටමේ තියෙන සිනමා ශාලාව.

අපේ දෙවැනි සිනමා ශාලාව Gold ලෙස නම් කරලා තියෙනවා. එහි 4K Christie Projector එකක් භාවිත කරනවා. 7.1GBL ශබ්ද පද්ධතියක් භාවිත කරනවා. තුන්වැනි සිනමා ශාලාව Luxe ලෙස නම් කර තියෙනවා. මෙහි විශේෂත්වය වෙන්නේ කොළඹට පමණක් සීමා වුණු සුව පහසු රසවින්දනය අපි කොළඹින් පිටට ගෙනත් තියෙනවා. තවත් විශේෂත්වයක් තමයි Elano Recliner වර්ගයේ සුව පහසු ආසන හතළිස් දෙකක් තියෙනවා. ඒ වගේම 2K Christie Projector එකක් සහ 7.1QSC ශබ්ද පද්ධතියක් භාවිත කරලා තියෙනවා. අපේ හතරවැනි සිනමා ශාලාව නම් කරලා තියෙන්නේ Silver නමින්. ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරපු Tricks ශබ්ද පද්ධතියක්, 7.51 Dolby එකක් ඇතුළු සුවිශේෂතා මේ සඳහා භාවිත කරලා තියෙනවා. සිනමා ශාලා හතරෙන් දෙකකට Laser 4k Projector යොදාගෙන තියෙනවා. තවත් සිනමා ශාලා දෙකකට Laser 2k Projector යොදාගෙන තියෙනවා. මේ සිනමා ශාලාවල විශේෂත්වය තමයි සිනමා රසවින්දනය උසස් තත්ත්වයෙන් ලබාගන්න පුළුවන් නවීන තාක්ෂණය භාවිත කරලා තිබීම.

මේ ව්‍යාපෘතියේදී මුහුණ දුන් අභියෝග ගැනත් කතා කරමු?

ලොකුම අභියෝගය වුණේ ලංකාවේ ව්‍යාපාර පටන් ගැනීමේදී ඒවාට අනුමැතිය ලබාගැනීමේදී ඇතිවන ගැටලු‍. දෙවැනියට අපි මුහුණ දීපු ගැටලු‍ව තමයි කොවිඩ් වසංගතය හේතුවෙන් ලංකාවට භාණ්ඩ ආනයනය කිරීමේදී අපි ඩොලර් ප්‍රශ්නයකට මුහුණ දුන්නා. මේ කාලය වෙනකොට සිනමා ශාලාවකට අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍ර හෝ අවශ්‍ය කරන අනෙකුත් උපකරණ කිසිවක් ලංකාවේ නිෂ්පාදනය වුණේ නැහැ. අපිට සියලු‍ දේ ආනයනය කරන්න සිද්ධ වුණා. ඒ වෙලාවෙදි මතු වුණු ගැටලු‍ව තමයි, අපිට කිසිම භාණ්ඩයක් පිටරටකින් ගේන්නත් බැහැ. අපේ භාණ්ඩ යවන්නත් බැහැ. මගේ මේ ව්‍යාපෘතිය කල් යන්න ඒකත් එක හේතුවක් වුණා. අවුරුදු දෙකක් විතර විවිධාකාර ගැටලු‍වලට මුහුණ දීලා අපිට අවසානයේදී මේ සිනමා ශාලා විවෘත කරගන්න හැකියාව ලැබුණා.

ඔබට අනුව ප්‍රශස්ත රසවින්දනයක් සඳහා සිනමා ශාලාවක තිබිය යුතු පහසුකම් මොනවාද?

මම JP Cineplex හිමිකරුවා විදිහට නෙමෙයි, චිත්‍රපට ප්‍රදර්ශන සංගමයේ ලේකම් හැටියට මේකට උත්තර දෙන්නම්. ශ්‍රී ලංකාවේ චිත්‍රපට කර්මාන්තය දෙස බැලු‍වාම ලොකු කඩා වැටීමක් තිබුණා. ඒකට හේතු කිහිපයකුත් තිබුණා. එක පැත්තකින් සිනමා ශාලා හිමියන් සහ චිත්‍රපට නිෂ්පාදකයන් යන දෙපාර්ශ්වයම වගකියන්න ඕනෑ. මොකද හොඳ චිත්‍රපට නිෂ්පාදනය වෙන්න ඕනෑ. ඒ චිත්‍රපට ප්‍රදර්ශනය කරන්න හොඳ සිනමා ශාලා තියෙන්නත් ඕනෑ. චිත්‍රපටයක් හැදුණු පලියට ඒක ප්‍රදර්ශනය කරන්නත් බැහැ. සිනමා ශාලා තිබුණු පලියට චිත්‍රපට ගේන්නත් බැහැ. චිත්‍රපට කර්මාන්තයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් තමයි චිත්‍රපට අධ්‍යක්ෂ, නිෂ්පාදක සහ සිනමා ශාලා හිමිකරුවා. ලෝක සිනමාව නවීන තාක්ෂණයත් සමඟ දියුණු වෙනකොට අපි ඒ සමඟ දියුණු වෙන්න ඕනෑ. දැන් තමයි අපේ සිනමා ශාලා අති නවීන තාක්ෂණය භාවිත කරන තත්ත්වයට ආවේ. විශේෂයෙන්ම කොළඹ අවට සහ නාගරික ප්‍රදේශවල තියෙන සිනමා ශාලා. හැබැයි ගම්වලට ගියාම අපිට ඒ තත්ත්වය දැකගන්න නැහැ. ශාලා මිල අධිකයි. ප්‍රේක්ෂකයෙක් චිත්‍රපටයක් බලන්න එනකොට එයාට 18% බද්දක් එකතු වෙනවා. උදාහරණයක් විදිහට ප්‍රවේශ පත්‍රය රුපියල් සීයයි නම් අර බද්දත් එක්ක මිල රුපියල් එකසිය දහටක් වෙනවා. ඒ මත අපි බද්දෙන් නිදහස් වුණා. මොකද ඒ 18% ප්‍රේක්ෂකයා විසින් ගෙවපු නිසා. අපි කියන්නේ නැහැ, අපිව සියලුම බදුවලින් නිදහස් කරන්න කියලා. නමුත් කඩා වැටීගෙන එන කර්මාන්තයක් නැවත නගා සිටුවීමේදී රජය මැදිහත්වීමකින් සහන ලබා දෙනවානම් ඒක ඇත්තටම වටිනවා. ලංකාවේ සිනමා ශාලා පන්සීයකට ආසන්න සංඛ්‍යාවක් තිබුණා. නමුත් දැන් ඉතුරු වෙලා තියෙන්නේ එකසිය හතළිස් තුනයි. ඒවාගෙනුත් ප්‍රශස්ත මට්ටමේ පහසුකම් තියෙන්නේ කිහිපයක විතරයි. හැබැයි මේවා නවීකරණය කරන්න අවශ්‍ය මට්ටමේ පහසුකම් දුන්නොත් ඒක කරන්න කැමති කට්ටියත් ඉන්නවා. මම කියන්නේ ලංකාවේ සියලු‍ම සිනමා ශාලා අද තියෙන 2K තාක්ෂණයට හරි 4K තාක්ෂණයට හරි දියුණු වෙන්න ඕනෑ. ඉස්සර අපිට චිත්‍රපටයකදී 32 Reels එනවා. දැන් අපිට 32 Reels එන්නේ නැහැ. දැන් තනිකර එන්නේ Digital Format.

මේ Digital Format එක ක්‍රියාත්මක කරන්න ලංකාවේ ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි 2K තාක්ෂණය. අනික E Cinema. දැන් මේ 2K තාක්ෂණයට රජයෙන් මීට වැඩිය සහනයක් ලැබෙනවානම් හොඳයි. මම කියන්නේ කිසිම සිනමා ශාලාවකට නිකන් දෙන්න කියලා නෙමෙයි. යම්කිසි කෙටි කාලයකට පමණක්වත් බදු මුදල් අවම කරලා මේ කර්මාන්තය නගා සිටුවන්න සහයෝගයක් ලැබෙන්න ඕනෑ. මොකද අපිට අතිදක්ෂ අධ්‍යක්ෂකවරු ඉන්නවා. අතිදක්ෂ නිෂ්පාදකවරු ඉන්නවා. එයාලා නිර්මාණය කරන ඇතැම් චිත්‍රපට අපිට ප්‍රදර්ශනය කරන්න බැහැ. මොකද අපිට ඒවාට අවශ්‍ය තාක්ෂණය නැති නිසා. ඒ වගේම තමයි සැප පහසු ආකාරයට සහ උසස් රසවින්දනයක් ලබන්න පුළුවන් ආකාරයේ චිත්‍රපටය ශාලාවක් සකස් කරන්න අවශ්‍යයි. කොහොම වුණත් මේවාට චිත්‍රපට ප්‍රදර්ශකයන් සහ ශාලා හිමියනුත් වග කියන්න ඕනෑ.

අනාගතයේදී සිනමා ක්ෂේත්‍රයට ඔබගේ දායකත්වය කෙබඳු වේවිද?

අනාගතයේදීත් අද වගේම සිනමාවට විශාල සේවයක් කරන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට මගේම තිර පිටපතක් තියෙනවා. මේ අලු‍තෙන් විවෘත කරපු සිනමා ශාලා ඇරුණාම මට තවත් සිනමා ශාලා තුනක් තියෙනවා. ඊට අමතරව අනාගතයේදී තවත් සිනමා ශාලා කිහිපයක් විවෘත කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. බොහෝ විට ලබන අවුරුද්දේ විවෘත කරන්න හැකි වේවි.

• මංගලා පවිත්‍රානි
• අන්තර්ජාලයෙනි