සිනමාමය ප්‍රේමයත් කලාවේ තවත් ශානර හා යා වූ ආදරයත් ‘අවකාශ Entertantment’ ලෝකයට තිළිණ කරන්නට මග සදාලූ වග ඉඳින් මම විශ්වාස කරමි. ස්තූතියත් ගෞරවයත් සම්මිශ්‍රණය වූ ආදරණීය මල් මිටක් මා සමිතගේත් හසිතගේත් දෑත් මත රඳවන්නේ කිසිදු මොහොතක හුදු ලාභ ඉපයීමේ හෝ ව්‍යාපාරික අරමුණු තුළට පමණක් ලඝු නොවී සිනමාව, වේදිකා නාට්‍ය, ගීතය වැනි කලා ශානරයන් කෙරෙහි ළය ලෙයට දැනෙන්නට ඉපදුණු ළෙන්ගතුකම අවකාශ තුළ සොඳුරු හදගැස්මක් යා කොට කලාත්මක ආමන්ත්‍රණයක් ඔස්සේ මුදාහරින්නට හසිත බස්නායක සහ සමිත ද මැල් ඔස්ට්‍රේලියාවේ සිට දෙවුර දරන වගකීම සහ ප්‍රයත්නය නියත වශයෙන්ම ප්‍රසංශනීය වන හෙයින්මය. සැබැවින්ම සවිමත් කර්මාන්තයක් ලෙස ගොඩනගන්නට යත්න දරන සහ ගොඩනැගෙනු ඇතැයි නුදුරු සුබවාදී සිහින දකින ලාංකික සිනමාව වෙනුවෙන් අවකාශ ඔස්සේ සමිත සහ හසිත ඉටුකරනු පිණිස වග වූ මෙහෙවර මෙතෙකැයි මෙපමණකැයි වදන් වියමනකට ලඝු කරන්නට කිසිදු මොහොතක මම නොවෙහෙසෙමි. මක් නිසාද යත් මුදල යන ඒකකය මත සියල්ල තීරණය කරන බහුතර මානව මානසිකත්වයන් තුළ මෙහෙවර හුදෙක් මුදලට පමණක් ලඝු නොකළ, රාමු නොකළ මිනිසුන් හමුවීම විරල යථාර්ථයක් වන නිසාමය.
දුරාතීතයේ එක්තරා දවසක කොළඹ ආනන්ද විද්‍යාලයේ පන්ති කාමරයක අකුරු උගනිමින් සිටි සමිත ළඟ පුටුවේ පහේ ශිෂ්‍යත්වය සමත් වී සපැමිණි තවත් කොලු පැටියෙක් ඉඳගත්තේය.
හමුවීම් අහම්බකාරක වග මම කිසිදා විශ්වාස නොකරමි. මිත්‍රත්වයන් තුළ හදවතකට හදවතක් සංවේදනාවන් ඔස්සේ යා වන තැන් කිසිදා හිස්තැනක් නොවන වග මම විශ්වාස කරමි. එදා ආනන්දයේ පන්ති මිතුරා හා බැඳි කළණ මිතුදමේ මිහිමය අවකාශ Entertainment නිමැවෙන තැන දක්වා සපැමිණියේ එහෙයින්ම නොවේදැයි ඉතින් නොඅසා කෙළෙසකදැයි සිතේ.
සමිත මට කියන්න අවකාශ Entertainment හි ආරම්භය සනිටුහන් වුණේ කොහොමද?
කොවිඩ්වලින් පසුව මෙහෙ පැවැත්වූ පළමු ප්‍රසංගය වුණේ කසුන් කල්හාරගේ ප්‍රසංගය. එදා මම, හසිත සහ රුක්මාල් නිරෝෂන් අපේ මිත්‍රයා කසුන්ගේ ප්‍රසංගය රසවිඳලා එද්දි හසිත මගෙන් ඇහුවා අපිත් මෙහෙම දෙයක් කරන්න, කැමති නැද්ද කියලා. මම වගේම හසිතත් කලාවට ආදරෙයි. ඒ මොහොතේ අප හා සිටි අපේ මිත්‍රයා රුක්මාලුත් කලාවට සිනමාවට ආදරෙයි. මම හසිත අහපු ප්‍රශ්නයට දුන්නෙ මෙහෙම උත්තරයක්. මම එකපාරටම කීවා අපි කරමු මම කැමතියි කියලා. ඒ කතාව අතරතුරේ අපි තුන්දෙනා මැක්ඩොනල්ඩ් අවන්හලකට ගිහින් කතා කර කර කන ගමන් කතා කළේ මේ මාතෘකාවමයි. රුක්මල් ඒ වෙලාවේ කීවා මම ලංකාවෙදි බැලුවා ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය කියලා වේදිකා නාට්‍යයක්, ඒ නාට්‍ය ඔස්ට්‍රේලියාවට ගේන්න, ඒක හොඳ නාට්‍යයක් කියලා.
සචිත්‍ර රාහුබද්ධ ලියා අධ්‍යක්ෂණය කළ චාන්දනී සෙනෙවිරත්න, කෞශල්‍යා ප්‍රනාන්දු, නිල්මිණී සිගේරා, සමාධි ලක්සිරි, අමා විජේසේකර, සුජානි මේනකා, උමා අසේනි, තුෂී සමරසේකර සහ රන්දි කළුආරච්චි රංගන හුස්ම දායාද කළ ස්වතන්ත්‍ර නිර්මාණයක් වූ ඇෆ්‍රොඩයිට් මල් කොල්ලයේ එක් විශේෂත්වයක් වූයේ එය නිළියන් නව දෙනෙක් පමණක් වේදිකාවට කැන්දූ නළු රංගනයෙන් වියුක්ත වූ වේදිකා නාට්‍යයක් වීමය.
අහන්න...
එදා කලකට පසු... සත්තකින්ම දැනෙන්නට ගෙවී ගිය දවස් බොහෝමයක එකතුවක් වූ කාලයකට පසු ඔස්ට්‍රේලියානු වේදිකාවක් ආමන්ත්‍රණය කළ ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය ගැන දවසක් දා සචිත්‍ර කියූ වචන අහුරකට ඉඩහසරක් නොදී කොහොමදැයි මට සිතේ.
“ඉතිහාසය දෙස ආපසු හැරී බලන විට ලෝකයේ සම්භාව්‍ය නාට්‍ය යුගයේ ආරම්භය සිදුවන්නේ ග්‍රීසියෙන්. ග්‍රීසියේ දේව ඇදහිල්ල ප්‍රබලව තිබුණා. එහි තිබුණා දේව සභාවක්. ග්‍රීසිය යනු බහුදේව ආගම් ව්‍යාප්ත වූ රටක්. ඇපලෝ යනු හිරු දෙවියා. ඇතීනා යනු යුක්තියේ, සාධාරණයේ සංකේතය. ඇෆ්‍රොඩයිට් යනු කාන්තාව සංකේතවත් වන දෙවඟන. සුන්දරත්වයේ දෙවඟන යනුවෙන්ද හඳුන්වන්න පුළුවන්. මගේ නාට්‍යයේ කියැවෙන්නේ ස්ත්‍රිය ගැන. එය සංකේතවත් කිරීම සඳහා තමයි මම ඇෆ්‍රොඩයිට් යන වචනය යෙදුවේ.
ඉන්පසු මල් කොල්ලය යන වචනය යෙදුවේ පහත සඳහන් කාරණය නිසා. අපි ජීවත් වෙන්නේ අපේ හීන මංකොල්ල කන සමාජයක. වර්තමානයේ ජීවත් වන මිනිස්සුන්ට හීන නැහැ. අද දවසේ ජීවත් වන්නේ කෙසේද කියා පමණයි ඔවුන් සිතන්නේ. ලෝකයේ වෙනත් රටවල එසේ නැහැ. ඔවුන්ට විවේකයක් තියෙනවා. ඔවුන් ඉඩ ලද සෑම අවස්ථාවකම සංචාරය කරනවා. විනෝද වෙනවා. එහෙත් අපේ රටේ එවැනි වාතාවරණයක් නැහැ. අපේ ජන සමාජය ඉතා කාර්යබහුලයි. උදෑසන රාජකාරියට යනවා, හවස ගෙදර එනවා. නිවසට පැමිණි වෙලාවේ සිට එහි වැඩ කටයුතුවල නිරත වෙනවා. ඒ නිසා මිනිස්සුන්ගේ හිතේ තිබුණු හීන සියල්ල බොඳ වෙලා.
කාන්තාව කැමති නිතරම ලස්සනට ඉන්න. දරු පවුල සමඟ සතුටින් ඉන්න. එහෙත් ඒ සියලු දෑ අද දුරස් වෙලා. ඒ බලාපොරොත්තු ඉටුකර ගැනීම ගැටලුවක් බවට පත්වෙලා තියෙනවා. කාන්තාව ඒ ගැටලු විසඳා ගන්නේ කෙසේද? එම ගැටලුව විමසා බැලීම තමයි මගේ නාට්‍ය නිර්මාණයෙන් කියැවෙන්නේ. කාන්තාව කේන්ද්‍ර වූ නිසා මංකොල්ලය වෙනුවට මල් කොල්ලය ලෙස නම් කළා. ඒ අනුව තමයි ‘ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය’ බිහිවන්නේ.
අහන්න... මට අවැසි වූයේ කලකට පසු ඔස්ට්‍රේලියානු වේදිකාවක් දැනෙන වේදිකාමය හුස්මකින් ස්වරවත් කරන්නට සමිත සහ හසිත කැන්ඳාගෙන සපැමිණියේ නිකම්ම නිකම් නාට්‍යයක් නොව ජන වින්දනය උදෙසා රසසාර සුභාවිත නාට්‍යමය රසාංගයක් වග ඔබට කියන්නටය.
ඉතින් ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය මෙල්බර්න් වේදිකාවක දිගහැරුණු දවසෙහි සහ ඒ දවසට පෙර දවස්හි මතකය මේ මොහොතේ ඔබ සිහිපත් කරන්නේ කොහොමද?
ඇත්තටම පුදුමාකාර සතුටකින්. ඒ සතුටට හේතු හුඟාක් තියෙනවා. ඒ වෙද්දි සෑහෙන කාලෙකින් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්වලට වේදිකා නාට්‍යයක් ගෙන්වලා තිබුණෙ නැහැ. එහෙම පසුබිමක තමයි අපි මේ වේදිකා නාට්‍ය ගේන්න තීරණය කළේ. ඒත් අපිට ඒ නාට්‍ය ගෙන්වන්න සැලසුම් කරද්දි බහුතරයක් අයගෙන් ලැබුණේ ඍණාත්මක ප්‍රතිචාර. හුඟාක් අය කීවේ ප්‍රවේශ පත්‍ර දෙසීයක්වත් විකිණෙන එකක් නෑ කියලා. එහෙම කියන්න එක හේතුවක් එදා පෙබරවාරි 11 වැනිදා මෙල්බර්න්වල තවත් ප්‍රසංග දෙකක් පැවැත්වීමට තිබුණා. එහෙත් අපි ඒ අභියෝගයට මුහුණ දෙන්න තීරණය කළා. ප්‍රවේශ පත්‍ර දෙසීයක්වත් විකිණෙන එකක් නෑ කීවට අපි ප්‍රවේශ පත්‍ර හත්සිය තිහක් විතර විකිණුවා.
ජීවිතය කියන්නෙම එක්තරා අභියෝගයක්. අරාජිතවීම් පෙනි පෙනී වුවත් අපරාජිතව සොයා යා යුතු දෙයක්. එය එසේ නොවේදැයි මට යළිත් සිතන්නට සමිතගේ වචන යළි යළිත් බල කරයි.
ඉතින් එදා කොහොමද ප්‍රේක්ෂකාගාරයෙන් ලැබුණු ප්‍රතිචාර?
මුළු ප්‍රේක්ෂකාගාරයම සතුටු වුණා. ප්‍රතිචාර හරිම ධනාත්මකයි. අපි පුදුම සතුටක් සහ ජයග්‍රාහී හැඟීමක් භුක්ති වින්දා. වේදිකා නාට්‍යය ශිල්පිනියන්ම නව දෙනෙක්. එවන් විශාල පිරිසක් සමඟ නාට්‍ය කණ්ඩායමක් ගෙන්වලා වේදිකා නාට්‍යයක් තිරගත කිරීම සරල දෙයක් නෙවෙයි. ඒත් හසිතත් මමත් ඒ දේ කළා. අපිට ධනාත්මකව ආශිර්වාද කළ පිරිසකුත් එදා අපි එක්ක හිටියා.
අවකාශ Entertantment... ඉතින් ඊට පස්සේ?
ඊට පසු හසලක තුෂාර ගෙන්වලා ළාමක ලෝකය කළා. ඒ අපේ දෙවැනි තිරගත කිරීම. තෙවැනි ප්‍රාසාංගික අත්දැකීම අපි ලබා දුන්නේ නෙතට උළෙලක් ප්‍රසංගය සමඟ. එය අපිට සුවිශේෂීයි. ඇත්තටම එය සහෘද ශ්‍රාවකයන්ටත් ඉතා සුවිශේෂී වුණා. මොකද අවුරුදු විසිපහකට පසුව තමයි දීපිකා ප්‍රියදර්ශනී පීරිස් සහ කරුණාරත්න දිවුල්ගනේ ඒ දෙන්නා වෙනුවෙන්ම වෙන්වූ වේදිකාවක ගී ගැයුවේ. ප්‍රසංගයට සතියකට විතර කලින් ප්‍රවේශ පත්‍ර සියල්ල විකිණී අවසන් වුණා. ප්‍රවේශ පත්‍ර වෙනුවෙන් තවත් ඉල්ලීම් තිබුණා. ඒත් ඉඩක් තිබුණෙ නැහැ. නෙතට උළෙලක් තුළ ඇත්තටම අපි එවන් සුවිසල් ජයග්‍රහණයක් භුක්ති වින්දා.
ඇත්තටම නෙතට උළෙලක් ප්‍රසංගය කරද්දි මේ වගේ ශාස්ත්‍රීය දේකට මිනිස්සු එයිද කියන ප්‍රශ්නය මුලින් තිබුණා. ඒත් ලොකු ප්‍රේක්ෂකාගාරයක් ඒ රසය හොයාගෙන ආවා.
ඉතින් හමුවෙතැයි සිතූ බාධක අභිබවා යාමට ඉඩ ලැබීමේ සතුට දැනෙන්නෙ කොහොමද?
ඒ සතුට කොතෙක්දැයි සමිතගෙන් හෝ හසිතගෙන් අසන්නටවත් එය මෙතෙකැයි නිර්වචනය කරන්නටවත් මම නොවෙහෙසෙමි.
උපාධිධාරීන් ලෙස වරම් ලබන්නට සාර සිප් සොයා ඔස්ට්‍රේලියාවට පැමිණි ගමනේ සුවිශේෂී කඩඉමක් වූ අවකාශයෙහි සමිත-හසිත මිත්‍ර මිශ්‍රිතය තුළ මුදාහල සොඳුරු දෑ බොහෝ හමුවෙත්. දීපිකා-දිවුල්ගනේ ගී යාත්‍රාව මෙන්ම නිරෝෂා විරාජිනී සහ චන්දන ලියනාරච්චි පළමු වතාවට ඔවුන් වෙනුවෙන්ම නිමාවූ ඔස්ට්‍රේලියානු වේදිකාවට කැඳවීමද එවන්ම සොඳුරු කර්තව්‍යයකි. ඒ “සිනා තොටක්” සමඟය.
ඇත්තටම අපි ලාබය ගැන විතරක් බලලා නොවෙයි හැමදේම කරන්නේ. චිත්‍රපට ගෙන්වද්දිත් එහෙමයි. රාණි චිත්‍රපටය අපි මෙහෙට ගෙනාවේ රාණි නරඹලා නෙවෙයි. ස්වර්ණා මල්ලවාරච්චි වැනි අද්විතීය නිළියක් රඟපාන චිත්‍රපටයක් ගැන අපට තවත් නැරඹුම් සහතිකයක් ඕනෑ වුණේ නෑ. ඒ වගේම දැන් ක්ලැරන්ස් - රිදම් ඔෆ් ද ගිටාර් එක්කත් ජයග්‍රාහී ගමනක් අපි යනවා.
ඒ සමිතය.
සමිත චිත්‍රපටයක් ගෙන්වද්දි චිත්‍රපටයක නිෂ්පාදකවරයා සමඟ අවකාශ Entertainment ගිවිසුම් ගතවීම සිදුවෙන්නෙ කොහොමද?
විධි තුනක් යටතේ අපි ඒ ගිවිසුම් ගතවීම සිදු කරනවා. මමත් හසිතත් සැමවිටම නිෂ්පාදකවරයා දෙස ඉතාමත් සාධාරණ දෘෂ්ටිකෝණයකින් බලනවා. ආදායම සම සමව බෙදාගැනීමේ නිශ්චිතය තුළ වුවත් නිෂ්පාදකවරයාට වැඩි ලාභ ප්‍රතිශතයක් හිමිකර දීමේ ක්‍රමවේදයකට යාම වුවත් අපි සිදුකරන්නට නොපැකිලෙන දෙයක්. ඒ වගේම ඩොලර් හත අටක් එක ආසනයකට දෙන විදිහට වගේම තිරගත වීමකට එකඟ වූ මුදලක් ගෙවීමේ පදනම යන ක්‍රම ත්‍රිත්වය යටතේ අපි ගිවිසුම්ගත වෙනවා.
මමත් හසිතත් හැමවිටම හරිම සහයෝගයෙන් සහ හැමදේම අප දෙදෙනාගේ එකඟතාව මත තමයි සිදු කරන්නේ. රාණි චිත්‍රපටයට අපට හිතාගන්න බැරි තරම් ධනාත්මක ප්‍රතිචාර සහ ආකර්ෂණයක් ලැබුණා. හැමවිටම අපි අපේ ගුණාත්මක වටිනාකම රැකගෙන තමයි කටයුතු කරන්න උත්සාහ කරන්නේ. මෙතෙක් ආ ගමනේ සාර්ථකත්වයට සැබැවින්ම එය විශාල පිටිවහලක් වුණා. ඒ වගේම අපිට ආශිර්වාද කළ වචනයකින් හරි උදවු කළ හැම කෙනෙක්ටම අපි හදවතින්ම ස්තූතියි කියනවා.
අවකාශ Entertantment ගෙන්වන චිත්‍රපටයක් තිරගත වීමෙන් පසු ප්‍රේක්ෂකයන් විඳින ජන රසවින්දනය තුළින් ඔබත් හසිතත් අත්විඳින්නේ කොහොම හැඟීමක්ද?
සමහර හැඟීම් මම හිතන්නේ වචනවලින් විස්තර නොකර ඉන්න එක තමයි ඒ හැඟීමට කරන්න හැකි උපරිම සාධාරණය. මිනිසුන් එන්නේ අපි ගැන විශ්වාසයෙන් සතුට අත්විඳ රසය අත්විඳ විසිර යන්න. ප්‍රසංගයක් නැරඹුවත් චිත්‍රපටයක් නැරඹුවත් ඔවුන් පැමිණෙන්නේ ඒ සැහැල්ලුව, ඒ වින්දනය, ඒ රසය විඳ රැගෙන යන්න. මෙතෙක් අපි ඔවුන් දෙස බලා විඳි සතුට, තෘප්තිය, ආත්ම වින්දනය මටවත් හසිතටවත් කවදාවත් වචනවලට රාමු කරන්න බෑ.
අවකාශ Entertainment සීමාව ඔස්ට්‍රේලියාවට විතරක්මද?
ඔව්. මටවත් හසිතටවත් Global Distributors ලා වෙන්න අවශ්‍ය නෑ. ඔස්ට්‍රේලියාවේ ඕනෑම ප්‍රාන්තයකට අවකාශ හා විවෘත වෙන්න අපි සූදානම්. එහෙත් වෙනත් රටවල්වලත් අපි වගේම ප්‍රසංග සංවිධායකවරු ඉන්නවා. ඉන්නවා වගේම තව තවත් සාධාරණ නිවැරදි සහ මානුෂික ප්‍රසංග සංවිධායකවරු බිහිවේවා කියන ප්‍රාර්ථනය අපේ තියෙනවා. එය අපිට සතුටක්. ඉතින් ඔස්ට්‍රේලියාවෙන් පිට රටවල්වල මේ වගකීම දරන අයගේ අයිතිය ඔවුන් සතු විය යුතුයි. ඒ නිසා අවකාශ Entertantment ඔස්ට්‍රේලියාවට විතරක් සීමා වෙන්න අපි හරිම සතුටින් තීරණය කළා. කිසිම කෙනෙකුට අසාධාරණයක් කරන්න අපි කැමති නෑ. ඒ වගේම සිනමා නිෂ්පාදකවරුන් අධ්‍යක්ෂවරුන් වෙනත් රටක චිත්‍රපට ගෙන්වන කෙනෙක් ගැන අපෙන් ඇහුවොත් ඒ අය හා අපට ඇති සම්බන්ධතා මත හඳුන්වා දී ඔවුන්ට අපට හැකි උපරිම සහයෝගය ලබා දෙන්නත් අපි සූදානම්. කලාවට සිනමාවට අපේ ඇති ආදරය තුළ මම මුලින් කීවා වගේ සියල්ල මුදල් මත පදනම් නොවිය යුතුයි යන සිතුවිල්ල මගෙත් හසිතගෙත් හදවත් තුළ තියෙනවා.
විශ්වීය සිනමාව විෂයෙහි ඔබගෙත් හසිතගෙත් අධ්‍යනය කොහොමද?
අපි විදේශීය චිත්‍රපට බලනවා. ඇත්තටම චිත්‍රපට ගෙන්වීම කියන කාර්යයෙන් එහාට සිනමාව හා බැඳෙන්න, සිනමාව තුළ භූමිකාවන් නිර්මාණය කරගන්න අපිට බලාපොරොත්තුවක් තියෙනවා. ඒ ගැන මේ මොහොතේ තවදුරටත් කතා කරන්න මම හදිස්සි නොවී ඉන්නම්.
සිනමාවෙන් මෙපිට අවකාශ Entertainment ඉදිරි සැලසුම් ගැන කතා කරන්න කැමතිද?
තරුණ පරපුර ඉලක්ක කරගෙන ධ්වනි නමින් ප්‍රසංගයක් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම තවත් සුන්දර සැලසුම් හුඟාක් තියෙනවා.
අවකාශ Entertantment ඇරඹුම සනිටුහන් වූයේ 2023 වසරේදීය. සපැමිණි ගමනෙහි දුර දවස් තත්ත්පර ඇසුරෙන් බැලූ සඳ බොහෝ නොවුණත් ඒ බොහෝ නොවූ කාලය තුළ හසිත සහ සමිත කළ කී දෑ සහ කරන්නට කියන්නට පේවී වී, වග වී හිඳින දෑ බොහෝ වෙත්. ආදරය, මනුෂ්‍යත්වය, ශාස්ත්‍රිය සුන්දරත්වය සහ රන්වන් අරමුණු හද රඳවාගෙන අසිරිමත් අවකාශයක සරන රසවතුනි... ලොවක් අබිමුව සම්මානනීය වන සිනමාමය සම්ප්‍රාප්තියක් තුළ සරන්නට ඔබට දිනෙක හැකිවනු ඇත යන්න අපගේ විශ්වාසයයි.
• සංජීවිකා සමරතුංග
• අන්තර්ජාලයෙනි