ලසිත් මාලිංග කියලා කිව්වම අපි දන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහටනෙ. නිකන්ම ක්‍රිකට් ක්‍රීඩකයෙක් නෙවෙයි, මුළු ලෝකයම තවමත් ආදරය කරන, ගෞරව කරන ඔහු ක්‍රීඩා තාරකාවක්. ඒත් අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ලසිත් මාලිංග කියන ක්‍රීඩකයා ගැන නෙවෙයි, ලසිත් මාලිංග කියන අපූරු කලාකරුවා පිළිබඳව. ඔහු දැන් විටෙක සංගීතඥයෙක්, තවත් විටෙක ගායකයෙක්, තවත් විටෙක ගී පද රචකයෙක්. ඉතින් කලා ලෝකයේ තුන් ඉරියව් දස්කම් දක්වන අලුත් මාලි ගැන මේ කතාව මඟහැරලා යන්න අපිට බෑ.
ලෝක ක්‍රිකට් පිටියේ වෙනම අනන්‍යතාවයක් හා දක්ෂතාවයක් නිසාම රසික ආදරය දිනාගෙන සිටි ලසිත් මාලිංග ක්‍රිකට් පිටියට සමුදුන්නාට පසුව නිහඬ වුණේ නැහැ. බොහෝ ක්‍රීඩකයන් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තාට පස්සේ පුහුණුකරුවන් හෝ ක්‍රීඩා විස්තර විචාරකයන් බවට පත්වෙද්දී මාලිංග තෝරාගෙන තියෙන්නෙ සුන්දර අභියෝගාත්මක මාවතක්. ක්‍රීඩාව සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවෙක් විදිහට වැඩ කරන ගමන්ම මාලි මේ මාවත තෝරාගෙන තියෙනවා. මාලි කියන චරිතය පිළිබඳ දන්න ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලීන් හැමදෙනාම ඔහු මේ වගේ අමුතු වැඩ කරන එකෙන් පුදුමයට පත්වෙන්නේ නෑ. මොකද ඒ තමයි මාලිංගගේ හැටි.
ගී පද රචනයට හා ගීත ගායනයට ඔහු යොමුවී සිටින බවට මුලින්ම ආරංචි වුණාම මුල් කාලේ ගොඩක් දෙනෙක් පුදුමයෙන් පුදුමයට පත් වුණා. ඒත් වසර දෙක තුනක් ඇතුළත ඔහු තමන්ගේ ඇඟේ ක්‍රීඩාව විතරක් නෙවෙයි, කලාවත් තියෙනවා කියලා ඔප්පු කරලා පෙන්නුවා. මුල් කාලේ මාලිංග නිතරම සමාජ මාධ්‍යවල ගිටාර් වාදනය කරන සහ ගිටාර් පුහුණු වන වීඩියෝ පළ කළා. ඊට පස්සේ මාලි YouTube ඔස්සේ තමන්ගේම විදිහකට වැඩේ පටන් ගත්තා.
මුලින්ම ලසිත් මාලිංග කියන ගී පද රචකයා තමා අපිට හඳුනාගන්න ලැබුණේ. ඉතින් ඔහු මේ වගේ පබැඳුමක් කළා.
“පළමු වරටමයි අප හමුවූයේ
ඔබට මතක ඇති අද වාගේ
දොඩමළු වන්නට ඔබ හමුවී”
‘පළමු වරට’ ලෙස නම් කරපු මේ ගීතය ජනප්‍රිය ගායක රවී රොයිස්ටර් විසින් ගායනා කළා.
එම ගීතයේ රූප රචනය සඳහා ද ලසිත් මාලිංග සහ ඔහුගේ බිරිඳ රංගනයෙන් දායක වීම විශේෂත්වයක් වුණා.
ලසිත් මාලිංග තම නිර්මාණකරණය වෙනුවෙන් ලංකාවේ ජනප්‍රිය කලාකරුවෝ රැසක් තෝරගත්තා. රමියා, මංගල ඩෙනිස්, සුනීර සුමංග වගේ නව පරපුරේ ශිල්පීන් රැසක් ඉන්නවා.
මාලිංගගේ ගී පද රචනා අතරින් අතිශය ජනප්‍රියත්වයට පත්වුණු නිර්මාණය වුණේ මිනුර හල්වතුර ගායනා කරන “මා පැතුවේ” ගීතය. මේ ගීතයේ සංගීතය නිර්මාණය කරලා තියෙන්නේ කසුන් වික්‍රමසිංහ විසින්.
“මම පැතුවේ ඔබ ළඟම
හැමදාම නවතින්න
මතකයට ඉඩ දෙන්න
තියෙනවා තව දුර යන්න
හිත ඇතුළේ ආදරය
සඟවාගෙන බෑ ඉන්න
ආදරයෙන් ඔබේ ළඟට
වී ඔබටම අත දෙන්න”
මේ ගීතයට YouTube එකේ විතරක් මේ වෙනකොට මිලියන 5.7 ක නැරඹුම් වාර තියෙනවා. ඇත්තටම මේ ගීතය නව පරපුර අතර අතිශය ජනප්‍රිය ගීතයක් බවට පත් වුණා.
මාලි තමන්ගේ අතින් තමන්ගේම ගීතවලට තනු නිර්මාණය කරන බවත් මෑත කාලීනව අපිට දැකගන්න ලැබුණා. මේ වැඩවලට බිරිඳගේ සහයෝගය ලැබෙන බව මාලි සඳහන් කරනවා. ඔහුගේ ගීත බොහොමයක් ආදරය, විරහව, ජීවිත අත්දැකීම් සහ සමාජ යථාර්ථය වටා ගෙතී තිබෙනවා.
මේ වෙනකොට ලසිත් මාලිංගගේ නිර්මාණ දායකත්වය ලැබුණු ගීත ගොන්නක් පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. "Maga Heruna Mata" (මඟහැරුණා මට) (Pushpaka Priyadarshana සමඟ), "Andurata Sanda Numba" (අඳුරට සඳ නුඹ) (Adithya Weliwatta සහ Kasun Wickramasinghe සමඟ), "Obe Suwandata Pawa" (ඔබේ සුවඳට පවා) (Mihiran සමඟ) වැනි ගීත රාශියක් ඔහු නිර්මාණය කර තිබෙනවා.
මාලිංග තමන්ගේම පද රචනයෙන් සහ ගායනයෙන් “යළි සිහිවෙලා” වැනි ගීත නිර්මාණ එළි දක්වලා තිබෙනවා. කොහොම වුණත් ලසිත් මාලිංග ගායනය ගැන තමන්ටම අවංක අදහස් පළ කර තිබෙනවා. ඔහු පවසා ඇත්තේ තමාට “සංගීතමය කටහඬක්” නොමැති බවත්, නිවැරදිව ගායනා කිරීමට, ස්වරවලට ගැලපීමට සහ උස් ස්වර වාදනය කිරීමට අපහසු බවයි. අපහසු නමුත් ඔහු තමන්ගේ උත්සාහය අතහරින්නේ නෑ. ක්‍රීඩා විධි වගේම කලාව තුළත් ඔහුගේ නොපසුබට උත්සාහය ධෛර්යය කැපී පෙනෙනවා.
ලසිත් මාලිංග තවමත් ගීත ගායනා කරන අතර, ඔහුගේ නවතම ගීතය පවා ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. එයින් පෙනී යන්නේ ඔහුගේ හඬේ තිබෙන අද්විතීය බවටත්, ඔහු ගීතයට මුසු කරන හැඟීම්වලටත් රසිකයන් ආදරය කරන බවයි. "Lasith Malinga Music Plus" කියන YouTube නාලිකාවේ සහ Facebook ගිණුමේ මාලිංගගේ නිර්මාණවලට ලැබෙන ප්‍රතිචාර දැක්කම ඒක පැහැදිලියි. ඒ වගේම TikTok වැනි වේදිකාවලද ඔහුගේ සංගීත වීඩියෝ සහ ගිටාර් පුහුණුවීම් මේ වෙනකොට ජනප්‍රියයි.
කොහොම වුණත් හැමදාමත් වගේ ලසිත් මාලිංගට රසිකයන් වගේම විවේචකයොත් ඉන්නවා. ඔහුගේ නිර්මාණ කාර්යයට ගරහන, ඔහුව අධෛර්යයට පත් කරන අය ඉන්න බව පැහැදිලියි. හැමදාමත් තමන්ට එරෙහි වෙන ඕනෑම පාර්ශ්වයකට යෝකර් පන්දු යවපු මාලි මේ අයටත් පහුගිය දවසක සැර උත්තරයක් දීලා තිබුණා.
ඇත්තටම රත්ගම මාලිව වට්ටන එක කරන්න බැරි වැඩක්. අපහාස උපහාස මොන දේ තිබුණත් ඔහු තමන්ට කැමති දේ කරනවා. ඔහුගේ උත්සාහය අගය කරන අයට මේ නිර්මාණ විඳින්න පුළුවන්. බොරුවට කෑ මොර දෙන අයට කරන්න තියෙන හොඳම දේ, විඳින්න බැරිනම් විඳවන්නෙ නැතුව පැත්තකට වෙන එක.
මාලිගෙ ගොඩක් ගීත නිර්මාණවල නිර්මාණ කාර්යය ආරම්භ කරන මුල් අදියරේ කලාකරුවෙක්ගේ තියෙන ලක්ෂණ දැකගන්න පුළුවන්. ඒක ඇත්තක්. ඒ නිසා මේ ඔක්කොම නිර්මාණ අද්විතීය ප්‍රශස්ත නිර්මාණ කියලා අපිට කියන්න බෑ. ඒත් මාලිංග කියන්නේ පුහුණුවෙන් අභ්‍යාසයෙන් කැපවීමෙන් ක්‍රිකට් ලෝකය දිනපු චරිතයක්. කාලයක් යද්දී උත්සාහය සහ කැපවීම තුළින් කලා ලෝකයට හොඳ නිර්මාණ කිහිපයක් දායාද කරන්න ඔහුට බැරිවෙන එකක් නැහැ.
ඉතින් ක්‍රිකට් පිටියේ පිතිකරුවන් බිය ගැන්වූ මාලිංග, දැන් සංගීතයෙන් රසික හදවත් දිනා ගැනීමට උත්සාහ කරනවා. ඔහු මේ ළඟදි අපූරු කතාවක් කියලා තිබුණා.
“උපතින්ම දැනගෙන ආවනම් ගොඩක් වටිනවා. එහෙම නැති නිසා ගොඩක් මහන්සි වෙන්න ඕනෑ.”
ඇත්තෙන්ම ඒ කතාව සත්‍යයක්. මාලිංග දරමින් සිටින උත්සාහය අපි කාටත් පාඩමක්. නිර්මාණශීලීත්වයට ඇති ඔහුගේ කැමැත්ත, අලුත් දේවල් අත්හදා බැලීමට ඇති ධෛර්යය සහ තම අත්දැකීම් ගීත බවට පෙරළීමට ඇති හැකියාව අද මාලිංග කියන ක්‍රීඩකයාව කලාකරුවෙක් බවට පත් කරලා තියෙනවා. ඔහුගේ මේ උත්සාහය අපි හදවතින්ම අගය කරනවා.
• චමිඳු නිසල් ද සිල්වා