ඇය තිරයේ වේදිකාවේ සිනහ පිරුණු දිදුලන තාරකාවක්. නමුත් ජීවන කරළියේ ඇගේ කතාවේ අවසානය කිසිවෙකු තවම හරි හැටි නොදත් හුදෙකලා ඛේදවාචකයක්. අප මෙලෙසින් ගෙනහැර දක්වන්න සූදානම් වන්නේ පාකිස්ථාන සිනමා සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ නැගී එන දක්ෂ නිළියක් වූ හුමයිරා අස්ගර් අලීගේ අබිරහස් මරණය පිළිබඳ ලොව කැළඹූ කතාවයි. පසුගිය දෙසතිය තුළ ඇගේ රසිකයන් මෙන්ම සමස්ත සමාජයම දැඩි කම්පනයකට ලක් කළ මෙම සිදුවීම තරමක් අදහා ගැනීමට පවා අපහසු වූවක්.
අපූරු රූ සපුවකට හිමිකම් කී 32 හැවිරිදි හුමයිරාව පාකිස්ථාන කලා ක්ෂේත්‍රයේ නවමු බලාපොරොත්තුවක් ලෙසින් හඳුන්වනු ලැබුවා. දුටුවන් මන බඳින ඇගේ රූප සොබාව, ලක්ෂ සංඛ්‍යාත රසික රසිකාවියන් පිරිසක් ඇය වටා රොද බඳින්නට හේතු වුණා. වේදිකා නාට්‍ය සහ නිරූපණයෙන් කලාවට පිවිස පසුව රූපවාහිනි සහ සිනමා නිර්මාණවලට අවස්ථාව ලද නිළියක් වූ හුමයිරාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය බවට පත් වූයේ 'Tamasha Ghar' නම් රියැලිටි වැඩසටහනයි. එමගින් ඇයට විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමි වුණා.
පසුව පාකිස්ථානයේ ජනප්‍රියත්වයට පත් වූ Jalaibee' සහ 'Love Vaccine' වැනි චිත්‍රපටවලට ඇය රංගනයෙන් එක්වුණා. ඊට අමතරව 'Just Married', 'Ehsaan Faramosh' වැනි ජනප්‍රිය ටෙලිනාට්‍යවල හුමයිරාගේ රංගනයත් කැපී පෙනෙන එකක් බවට පත් වුණා. හුමයිරා අස්ගර් අලී පාකිස්ථානයේ ප්‍රකට සම්මාන උළෙලකදී “හොඳම නැගී එන තාරකාව” (Best Emerging Talent & Rising Star) ලෙස සම්මානයට පාත්‍ර වුණේ 2023 වසරෙදී. ඊට අමතරව ජාතික කාන්තා නායකත්ව නම් සම්මානයෙනුත් (National Women's Leadership Awards) ඇය පිදුම් ලැබූ බව කියවෙනවා.
කොහොම නමුත් මේ ජනප්‍රියත්වය ක්‍රමයෙන් හීන වූ බවක් ඇතැම් පාර්ශ්ව සඳහන් කර තිබෙනවා. 2024 වන විට ඇය ගත කර ඇත්තේ තරමක හුදෙකලා ජීවිතයක්. දීප්තිමත් ලෙස බැබළුණු තාරකාවක් ක්‍රමයෙන් අතුරුදන් වුණේ ඇයි කියලා ඇතැම් අය ප්‍රශ්න කරලා තියෙනවා. එහෙත් පාකිස්ථානයේ ජනප්‍රිය චරිත විවාහය හෝ වෙනත් කාරණා පදනම් කරගෙන සිය වැඩවලින් සහ සමාජ මාධ්‍යයෙන් කාලෙකදී ඉවත් වීම සාමාන්‍ය දෙයක්. ඒ නිසාම ඇගේ අතුරුදන් වීම පිළිබඳ කාරණ එතරම් බරපතළ දෙයක් බවට පත්වෙලා නැහැ.
හුමයිරා සමාජ මාධ්‍යවලින් අතුරුදන් වුණේ 2024 ඔක්තෝබර් මාසයේදී. ඇගේ අවසන් WhatsApp පණිවිඩය සටහන් වෙන්නෙත් 2024 ඔක්තෝබර් 7 වැනිදා. කොහොම නමුත් මෙහෙම කාලය ගෙවී යද්දී ඇය පිළිබඳ ගොඩක් දෙනෙක්ට අමතක වෙලා ගියා. ඒත් මේ නිළියගේ අතුරුදන් වීම පිළිබඳ ප්‍රශ්නයක් මතු වුණු එකම එක පුද්ගලයෙක් හිටියා. ඔහු තමා ඇය ජීවත් වූ මහල් නිවාසයේ හිමිකරු. හුමයිරා 2024 වසරේ සිට නිවාස කුලිය නොගෙවීම නිසා ඔහු අපහසුතාවට පත්වෙලා හිටියා. හුමයිරා සම්බන්ධ කර ගැනීමට නිවාස හිමිකරු බොහෝ විට උත්සාහ දරා තිබෙනවා. ඒත් අවසානයේදී නිවසින් ඉවත් කිරීමට අධිකරණ නියෝගයක් ලබාගත් හිමිකරු පොලිසිය සමඟ ජූලි 10 වැනිදා ඇගේ නිවසට ඇතුළු වෙන්න තීරණය කර තිබුණේ කිසිම ප්‍රතිචාරයක් නොලැබුණු නිසා.
නිවසේ හිමිකරු සමඟ පැමිණි පොලිස් නිලධාරීන් හුමයිරාගේ නිවසට ඇතුළු වීමට උත්සාහ කළත් ප්‍රධාන දොරටුව ඇතුළතින් අගුළු දමලා තිබුණා. අසල්වාසීන්ද ප්‍රදේශයේ පැවති දැඩි දුර්ගන්ධයක් ගැන මැසිවිලි නගලා තිබුණා. ඒත් ඇත්තටම ඒකට හේතුව කවුරුත් හොයාගෙන තිබුණේ නැහැ. අවසානයේදී පොලිසිය දොර කඩාගෙන නිවසට ඇතුළු වුණා. ඔවුන්ට දක්නට ලැබුණේ අතිශය බිහිසුණු සිත් කම්පා කරවන දර්ශනයක්. නිවසේ මැද පොළොවේ තිබුණේ හුමයිරා අස්ගර් අලීගේ දිරාපත් වූ සිරුරයි. සිරුරේ මස් දියවී ගොස් ඇට පෑදුණු, සම ඇලුණු දිරාපත් වූ මේ සිරුර හැමදෙනා තුළම ඇති කළේ විශාල කම්පනයක්.
මේ අනුව මේ මරණය පිළිබඳ විමර්ශන ආරම්භ වුණා. මුලින්ම විමර්ශකයන් අනුමාන කළේ මරණය සිද්ධවෙලා දවස් විස්සක් විතර ගතවෙලා ඇති කියලා. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අනුව මරණය සිදුවී ඇත්තේ මාස අටක් හෝ දහයකට පමණ පෙර බවට සැක කෙරුණා. ඊට හේතු වුණේ මේ සිරුර දිරාපත් වී තිබුණු ප්‍රමාණයයි. ඇයගේ දුරකථන දත්ත හා සබැඳි තොරතුරු සමඟ මේ කාල වකවානුව ගැලපෙන බව විමර්ශනවලින් අනාවරණය වුණේ මේ අතරතුරදී. ඒ අනුව දැනට විශ්වාස කරන විදිහට මේ මරණය සිද්ධවෙලා තියෙන්නෙ 2024 ඔක්තෝබර් මාසයේදී විය යුතුයි.
ඒත් අදටත් මේ මරණය සිද්ධ වුණේ කොහොමද කියන එක අබිරහසක්. දැනට විමර්ශකයන් පෙන්වා දෙන ආකාරයට නිවස තුළට කිසිවෙක් බලහත්කාරයෙන් ඇතුළු වූ බවට කිසිදු සලකුණක් තිබිලා නැහැ. ඒ වගේම දොර ඇතුළතින් තමා අගුළු දමලා තියෙන්නෙ. ඒ නිසා මුලදී මෙය අපරාධයක් නොවන බවට සැක කෙරුණා. මේ අතර මෙම මරණය සැක සහිත බවට අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වුණා. ෂහ්සායිබ් සොහෙයිල් නම් පුද්ගලයෙක් තමා හුමයිරාගේ මරණය ඝාතනයක් බවට සැක කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කරලා තියෙන්නෙ. ඒ නිසාම විමර්ශන මේ වෙනකොට ටිකක් සංකීර්ණ වෙමින් තියෙන බව තමා කියවෙන්නෙ.
පොලිසිය ජීව විද්‍යාත්මක හා DNA පරීක්ෂණ සඳහා නියැඳි ලබාගෙන තියෙනවා. අදාළ වාර්තා ලැබෙනතුරු මේ මරණය පිළිබඳ පැහැදිලි නිගමනයකට පැමිණීම පහසු නැති බව තමා පාකිස්ථාන තොරතුරු මූලාශ්‍ර කියා සිටින්නෙ. ඉතින් අවසන් වාර්තා ලැබෙනතුරු මරණයේ අබිරහස එලෙසම පවතිනවා. මෙම පෙත්සම හේතුවෙන් පොලිසිය ඇගේ දුරකථන සහ අනෙකුත් ඩිජිටල් උපාංගවල දත්ත නැවත පරීක්ෂා කිරීම අරඹා තියෙන බව වාර්තා වෙනවා. ඇය මිය යාමට පෙර අවසාන සබඳතා පැවැත්වූයේ කා සමඟ ද යන්න තවදුරටත් විශ්ලේෂණය කරන බව තමා පොලිසිය පවසන්නෙ.
කොහොම නමුත් මෙහි අවාසනාවන්තම කතාව වෙන්නෙ හුමයිරාගේ මරණය පිළිබඳව මේ තරම් කාලයක් යනතුරු කිසිවෙකුටත් නොදැනීම. ඇත්තටම ඇගේ අතුරුදන් වීම පිළිබඳ ඒ හැටි ලොකු පැමිණිල්ලක්වත් ලැබිලා නෑ. සමීප මිතුරන් ආශ්‍රය නොකිරීම, පවුලෙන් වෙන්ව සිටීම, හුමයිරා පිළිබඳ කිසිවෙක් සොයා බලන්න ඉදිරිපත් නොවීමට හේතුවක් විදිහට සඳහන් කරන්න පුළුවන්. තනිවම ජීවත් වූ ඇයට සමීපතමයන් හෝ මිතුරන් සිටියේ නැතිදැයි මේ වෙනකොට පාකිස්ථාන සමාජ මාධ්‍යවල බොහෝ දෙනා ප්‍රශ්න කරනවා. ඒත් අවසාන කාලයේ ඇය පිළිබඳ යම් අවබෝධයක් තිබූ අය කියන්නෙ ඇය සමීපව කිසිවෙක් ආශ්‍රය කර නොමැති බවයි.
හුමයිරාගේ පවුලේ අය ජීවත් වූයේ ලාහෝරයේ. ඒත් ඇය ජීවත් වෙලා තියෙන්නේ කරච්චියේ මහල් නිවාසයක. හුමයිරාගේ සිරුර බාරගන්නවත් ආරම්භයේදී කවුරුත් ඉදිරිපත් නොවූ බව පාකිස්ථාන මාධ්‍ය සඳහන් කරලා තිබුණා. ඒත් අවසානයේදී ඇගේ සහෝදරයා ඒ සඳහා ඉදිරිපත් වුණා. ඔහු මේ සම්බන්ධව ප්‍රකාශයකුත් සිද්ධ කළා. හුමයිරාගේ සහෝදරයා කියලා තියෙන්නේ ඇය තම කටයුතු තනිවම කර ගැනීමට කැමති වූ බව සහ ඇය හුදෙකලා වූ බව ඔවුන් නොදන්නා බවයි. ඇත්තෙන්ම මේ ප්‍රකාශ සහ තොරතුරු රසිකයන්ගේ ඔළුව විකාර කරවන බව පැහැදිලියි.
මේ සිදුවීමෙන් පසුව පාකිස්ථාන කලා ක්ෂේත්‍රයේ අභ්‍යන්තරයේ ලොකු කතාබහක් නිර්මාණය වුණා. සමහරු මේ සිදුවීම සම්බන්ධව අදහස් පළ කරමින් කියා සිටියේ මෙම ක්ෂේත්‍රයේ බොහෝ සබඳතා වෘත්තීය මට්ටමින් පමණක් පවතිනවා කියලා. කලාකරුවන් එකිනෙකා සමඟ කතා කරන්නේ වැඩ කරන අවස්ථාවලදී පමණක් බවත්, පෞද්ගලික ජීවිතය පිළිබඳව කිසිවකු සොයා නොබලන බවත් රූපවාහිනි වැඩසටහන්වලදී පවා කියවුණා. ඇත්තෙන්ම මේ තත්ත්වය ඇතැම් තරුණ නළු නිළියන් පිළිබඳව ලෝකය පුරා දකින්න ලැබෙන ඛේදවාචකයක්. ඔවුන් බොහෝ දෙනා හුදෙකලාවේ සිටිනවා. ඉතින් ඔවුන් අතරින් සමහරකුගේ අවසානය මීට සමාන ඛේදවාචකයක් බවට පත් විය හැකියි.
ඇත්තෙන්ම මෙය හුදෙක් තවත් එක් මරණයක් කෝ ඝාතනයක් පිළිබඳ කතාවක් ලෙසින් අපි තේරුම් නොගත යුතු බව අවසානයේ සටහන් කර තැබිය යුතුයි. මෙම සිදුවීම ජනප්‍රියත්වයේ මුදුනට පැමිණි තාරකාවකට පවා තම ජීවිතයේ අවසානයේදී මෙවන් හුදෙකලා මරණයකට ගොදුරු විය හැකි බවට සත්‍ය ලොවට කියාපානවා. හුමයිරාගේ තවමත් සක්‍රීය වී පවතින සමාජ මාධ්‍ය පරීක්ෂා කළොත් අනුගාමිකයන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඇය වටා සිටිනවා. ඒත් මිතුරෙක් ඥාතියෙක් සොයා නොබැලූ ඇයට අතුරුදන් වී හුදෙකලාව මරණය වැළඳ ගන්නට දැන් සිදුවී හමාරයි. ඒ නිසාම හුමයිරාගේ කතාව අපට කියා දෙන්නේ සමීප සබඳතාවල ඇති අගය නොවේද?
• චමිඳු නිසල් ද සිල්වා