Rizana චිත්‍රපටයේ රිසානා ඔබ කියලා දැනගත් මොහොතේ ඔබට දැනුණු හැඟීම මොකක්ද?
මුලින්ම මම මේ චිත්‍රපටය තෝරාගැනීමේ පරීක්ෂණයට සහභාගි වුණා. එදා මම වගේම ගොඩක් ගැහැනු ළමයි ඒකට සහභාගි වුණා. ඒ අයව දැක්කාම ඇත්තටම මම ගොඩක් බය වුණා. ඊට පෙර මම වෙළෙඳ දැන්වීම් වගේම කෙටි චිත්‍රපට කරලා තිබුණා. හැබැයි මම ලොකුවට රංගනය ගැන දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා මේකෙන් මාව තේරෙන්නේ නැහැ කියලයි මම හිතාගෙන හිටියේ. හැබැයි මට මේකට උත්සාහ කරලා බලන්නවත් ඕනෑ වුණා.
මේ චිත්‍රපටයට කෙනෙක්ව තෝරගන්නවා කියලා විදුෂිකා දැනගත්තේ කොහොමද?
මගේ යාපනයේ වජිවාරන් කියන අයියා මට ෆේස්බුක් එකේ තිබුණු පෝස්ට් එකක් එවලා තිබුණා. ඒක මම බැලුවා. ඒක දැකලා මම ඒ අංකයට කතා කළා. ඒකෙදි දේශප්‍රිය සර් එක්ක මම මුලින්ම කතා කළා. ඒ සර්ගේ යාළුවෙක් තමයි තිරුවා සර් කියලා කියන්නේ. තිරුවා සර් තමයි මේ චිත්‍රපටය දමිළ නළු නිළියන්ට පරිවර්තනය කළේ. ඒ දෙන්නා එක්ක මම කතා කරලා තමයි මේ තෝරා ගැනීමේ පරීක්ෂණයට සහභාගි වුණේ. මුල්ම දවසේ ඒකට සහභාගි වුණාට පස්සේ එයාලා “දන්වලා කියන්නම්” කියලා මට කිව්වා. සති දෙකකට පස්සේ අවසාන පරීක්ෂණයට ආයෙමත් මට එන්න කිව්වා. එදා චන්ද්‍රන් රත්නම් සර් එක්කයි මගේ සම්මුඛ පරීක්ෂණය කළේ. ඇත්තටම මම බය වුණා. හැබැයි මම මාව විශ්වාස කළා. ඒ පොඩි කොටසේදීම මට අඬන්න, හිනාවෙන්න, හැම සංවේදී රඟපෑමක්ම කරන්න තිබුණා. කඳුළු ගන්න ග්ලීසරින් දැම්මේ නැහැ. හැබැයි මම ඒ හැමදේම හොඳට කළා. ඒක එහෙම හොඳට කළේ කොහොමද කියලා අදටත් මම දන්නේ නැහැ. චන්ද්‍රන් රත්නම් සර්, මැඩම් දෙන්නම ගොඩක් සතුටු වුණා. එයාලා “ඔයාව තෝරගත්තා” කියලා කියද්දි මට මාර සතුටක් දැනුණා. ඊට පස්සේ මට පිටපත දුන්නා. මම ගෙදර ඉඳන් ඒ පිටපත හොඳට කියවලා ඒ චරිතය තේරුම් ගත්තා.
විදුෂිකාගේ පළමු සිනමා අත්දැකීම හොලිවුඩ් නළුවෙක් සහ ඉන්දියානු නිළියක් සමඟ විඳින්න තරම් ඔයා වාසනාවන්ත වුණා. ඒ අත්දැකීම කොහොමද?
මම රංගනයට ගොඩක් අලුත් කෙනෙක්. මට ලොකු අත්දැකීම් නැහැ. හැබැයි මට හැමෝම උදව් කළා. ජෙරම් අයන්ස් (Jeremy Irons) සර්, වරලක්ෂ්මි සරත් කුමාර් (Varalaxmi Sarathkumar) මැඩම් මුණගැහුණු පළවෙනි දවසෙ මාව ගල් ගැහුණා. මම ගොඩක් බය වුණා. “එයාල එක්ක මම රඟපාන්නේ කොහොමද?” කියලා මටම හිතුණා. හැබැයි එයාලා දෙන්නා හරිම මිත්‍රශීලීයි. “කලබල වෙන්න එපා, බය වෙන්න එපා, අපි හොඳට රගපාමු” කියලා මගේ හිත හැදුවා. මට කරන හැම කොටසක්ම කරලා ඉවර වුණාට පස්සේ ඒ දෙන්නා මාව අගය කළා. මාව දිරිමත් කළා. එයාලා ගොඩක් හොඳයි. ඇත්තටම ඒ වගේ දෙන්නෙක් එක්ක රඟපාන්න ලැබීම මගේ වාසනාවක් කියලයි අද මට හිතෙන්නේ.
එයාලා රංගනය ගැන ඔයාට කියලා දුන්න දේවල් මොනවද?
මම රංගනයට හරි අලුත්. රඟපාද්දී මම ළඟ ඉඳගෙන ඒ දෙන්නා බොහෝ දේවල් කියලා දුන්නා. ජෙරම් සර් රූගත කිරීම් කරද්දි එයාගේ දෙබස් එකපාර හරියට කරනවා. එයා ගොඩක් සරල මනුස්සයෙක්. හරිම නිහතමානියි. ඒ වගේම හරි කරුණාවන්ත ආදරණීය මනුස්සයෙක්. වරලක්ෂ්මි මැඩම් ඒ වගේම තමයි. මට බොහෝ දේවල් ඇය කියලා දුන්නා. වරලක්ෂ්මි මැඩම් මට ගොඩක් උදව් කළා. තේරෙන්නෙ නැත්නම් එයා මට කියලා දුන්නා. මම සමහර දේවල් තේරෙන්න නැතිවුණාම ඒ මැඩම් දමිළ භාෂාවෙන් අහලා ඉංග්‍රිසියට පවා පරිවර්තනය කළා. දෙබසක් හරියට කියලා ඒ කොටස රූගත කිරීම් කරලා ඉවර වුණාට පස්සේ “ඔයා විදුෂිකා සුපර්” කියලා හැම වෙලේම මාව ධෛර්යමත් කළා.
රිසානා ගැන ඔයා මීට පෙර අහලා තිබුණද?
ඔව්... හැබැයි රිසානා ගැන ගොඩක් තොරතුරු දැනගෙන හිටියේ නැහැ. ටික ටික දැනගෙන හිටියා. රිසානාගේ ජීවිතේ හරිම සංවේදී ජීවිතයක් කියලා මම අහලා තිබුණා. රිසානාගේ චරිතය ඇත්තටම මගේ ජීවිතයට ගොඩක් කිට්ටුයි. මගේ අම්මා වගේම මගේ යාළුවන්ගේ අම්මලා ගොඩක් පිටරටවල සේවය කරනවා. මගේ අම්මා සෞදිවල අවුරුදු තුනක් සේවය කළා. දැන් අම්මා අවුරුදු දෙකක ඉඳන් කුවෙට්වල ඉන්නවා. අම්මා මට රිසානා වගේ ගොඩක් කතා කිව්වා. මගේ අම්මා ඒ රටවල විඳින දුක ගැන කිව්වා. අම්මා මට මම වගේ ගැහැනු ළමයි ඒ රටවල ගෙවල්වල විඳින දුක කිව්වා. ඒ හැම දේකින්ම මම රිසානාව මවා ගත්තා. රිසානාගේ චරිතය රඟපාද්දී ඇස්වලින් කඳුළු ගන්න මට ග්ලිසරින් දාන්න ඕනෑ වුණේ නැහැ. රිසානාගේ චරිතය රඟපාද්දී මම මගේ අම්මාව මතක් කර ගන්නවා. අම්මා ඒ රටේ විඳින දුක ගැන මම හිතනවා. රිසානා වගේ බොහෝ දෙනෙක් අදටත් ඒ රටවල දුක් විඳිනවා. ඒ හැම දෙනෙක් ගැනම හිතද්දී ඉබේටම ඇස්වලට කඳුළු ආවා. සමහර වෙලාවට රිසානා මමයි කියලා ඇත්තටම මම හිතපු තැන් තිබුණා.
ඇත්ත රිසානාගේ අම්මා තාත්තා විදුෂිකාට හමුවුණාද?
නැහැ... හැබැයි මම එයාලගේ වීඩියෝ බැලුවා. එයාලගේ කතාව ඇහුවා. ඒවා බලලා මම ගොඩක් ඇඬුවා. ඒ හැම වෙලේම මට මගේ අම්මාව මතක් වුණා. රිසානා වගේ මගේ අම්මත් ඒ ගෙවල්වල ජීවත් වෙන්න දුක් විඳිනවා. එයාලා හැමෝම පව්.
විදුෂිකාගේ හැටන්වල ජීවිතය කොහොමද?
මම ඉන්නේ හැටන් කොටගල. මගේ තාත්තා ව්‍යාපාර කළා. එයා ගොඩක් දියුණු වුණා. හැබැයි අද වෙද්දී තාත්තගේ අසනීප තත්ත්වයත් එක්ක එයාගේ ව්‍යාපාර කඩා වැටිලා. මගේ අම්මාත් ඉන්නේ අසනීපයෙන්. ඒත් ජීවත් වෙන්න එයා පිටරට ගියා. මම පවුලේ එකම දරුවා. පුංචි කාලේ ඉඳන් මම ලොකු සැපක් වින්දේ නැහැ. අවුරුදු හතක් විතර මම බෝඩින් වෙලා ඉගෙන ගත්තා. පුංචි කාලේ ඉඳන් මම තනියම හැදුණු දරුවෙක්. සමහර කාලවලදී බෝඩින්වල හිටියා. සමහර කාලවල පල්ලියේ නිවාසවල හිටියා. පුංචි කලේ මම ඉගෙන ගන්න දක්ෂයි. හැබැයි අවුරුදු දෙකක් මම ඉස්කෝලේ ගියේ නැහැ. මානසිකව මම හිතින් කරදර වින්දා. පවුලේ තිබුණු, යාළුවන්ගේ තිබුණු ප්‍රශ්නත් එක්ක මම ගොඩක් දුක් වින්දා. මගේ කල්පනාව පවා අඩු වුණා. සමහර දවස්වලට මාව ක්ලාන්තය දාලා වැටුණා. ඇවිදගන්න බැරි වුණා. මාව දුර්වල වුණා. මම හරිම සංවේදී කෙනෙක්. හැබැයි මම ගොඩක් හොඳට ඉගෙන ගත්තා. ශිෂ්‍යත්ව ලැබුවා. පාසලේදී පළමු දහය අතර හිටියා. මම ඉස්කෝලේ නොගියාට කොහොම හරි විභාග හොඳට සමත් වුණා. ගුරුවරු මට උදව් කළා. මම දේශපාලන විද්‍යාව ඉගෙන ගත්තා. උසස් පෙළ හොඳට කරන්න හිතා ගත්තා. මම නාවල විවෘත විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තා. ඊට පස්සේ මම නුවර බ්‍රිතාන්‍ය කවුන්සලේ ඉගෙන ගත්තා. ඒ අතරේ තමයි මට මේ චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාව ලැබුණේ.
රිසානාගේ චරිතය රඟපෑවා. අද මොකද හිතෙන්නේ?
රිසානා වගේ අය තව ඕනෑ තරම් ඉන්නවා. ඒ චරිතය රඟපාන්න ලැබීම ගැන සතුටුයි. රිසානාගේ චරිතයට මට පුළුවන් දේ කළා කියලා අද මට හිතෙනවා. රිසානාට සාධාරණයක් වුණේ නැහැ. ඇත්තටම රිසානා පව්.
• දිශානි ජයමාලි
• ගයාන් අමරසේකර