2025 ජුලි 12 වන සෙනසුරාදා

මිනිස්සුන්ට දැනෙන ලස්සන චිත්‍රපටයක අධ්‍යක්ෂවරිය වෙන්න මම ආසයි - Sharmila Dharmarasa

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 39

ආහ්... අහම්බකාරක කොතෙක් නම් සොඳුරුදැයි හිතෙන තැන් ඔබට හමුවීද? නිශ්‍චිතයන්ට වඩා නොකියාම සපැමිණෙන අහම්බයන් හිත හිරිවට්ටන අරුම රසය ඔබ විඳ ඇත්ද? අසෙනි වැහි තරමටම සුන්දර අහම්බ ජීවිතයේ කැන්වසය මත වරෙක සිත්තම් කරලන චිත්‍ර ජීවිතය පහුරු ගාන තරමටම මනරම් වග ඔබට දැනී ඇත්ද? ඇත්තය... හිත රිදවන කොනිත්තන අහම්බකාරකද ඇති වග ඇත්තය. ඒත් මේ අහම්බය කොතෙක් නම් සොඳුරු වෙත්ද?
ඇය දවසක මෙසේ කීවාය.

I have directed some of Sri Lanka's Biggest Reality Shows and TV Shows. I actually never planned to join the media. It was an accident. I studied to be a doctor. But unfortunately the year  I passed out, Rajiv Ghandhi was killed so of all the Sri Lankans Who studied medicine at that time none of us got any quotas to enter Medical Colleges. So I decided to do visual communications, Because I was passionate about film and cinema. Today as I stand as the director of programming at Derana. I feel really proud, Because I have maintained this positions for the last 20 years and being the only women, Who has done it in media. The biggest achievement so far is definitely making Derana the number one TV channel in Sri Lanka and I'm really proud to be a part of the team that made it happen.
Whenever I sit down with my team to discuss a concept I always tell them we have to be unique we need to have our own identity in doing it. My dream was always to get into feature films. I've just started working on one and I'm hoping to do it in the next year or two.

වෛද්‍යවරියක වීමේ සිහිනය මඟහැරුණු හිස්තැන ශ්‍රී ලාංකික ටෙලිවිෂන් කලාවට නිර්මාණශීලී සහ ආදරණීය මාධ්‍යවේදිනියක් තිළිණ කළාය.

Director Derana Media Network 
Head of Programming at TV Derana.

TV දෙරණ වැඩසටහන් අධ්‍යක්ෂවරිය ලෙස ඇය දෙවුර දරන වගකීම් සම්භාරය සුවිශේෂී වන්නේ ඇය කිසිවිටෙක එම වගකීම් හුදෙක් රැකියාව තුළම පමණක් ලඝු නොකළ නවමු චින්තන ධාරාවන් ඔස්සේ නවතාවයන් සොයා ගිය සහ අදටත් සොයා යන්නට වෙහෙසෙන සොඳුරු මාධ්‍ය හිතවතියක් වන නිසාමය. විසි වසරක් පූර්ණ මාධ්‍ය සක්මනේ පොදු සහ වර්ෂා වැනි ආකර්ෂණීය මුද්‍රා සනිටුහන් කළ ඇය ප්‍රබල ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයක් වන රූපවාහිනිය කොන්දේසි විරහිත ළෙන්ගතුකමකින් ප්‍රේක්ෂකයන්ට සමීප කරලනු පිණිස නවමු රූපවාහිනී සංකල්ප සොයා ගිය අධ්‍යක්ෂවරියකි.
ඇය ශර්මිලා ධර්මරාසා ය.

සුන්දර අහම්බයක්... ඒ අහම්බය ගැන ශර්මිලාට දැන් දැනෙන හැඟීම - සතුට කොයි වගේද?

ඒ අහම්බයට මම හුඟාක්ම කැමතියි සහ ඇත්තටම ආදරෙයි. මම ඉන්දියාවේ ගියේ වෛද්‍යවරියක් වෙන්න. ඒත් ඒ හීනය මඟහැරුණා. ඒත් ඒ අහිමිවීම මට දුන්න දේවල් කොච්චරද කියලා හිතෙද්දි පුදුමාකාර සතුටක් මට දැනෙනවා. රූපවාහිනී කලාව, ටෙලිනාට්‍ය, සිනමාව කියන්නෙ මට මගේ ජීවිතයෙන් පිටස්තර දේවල් නෙවෙයි. ජීවිතයත් එක්කම බැඳුණු දේවල්.

සිනමාවට ඇයි එච්චරම ආදරේ?

ඒක පුංචි කාලයේ ඉඳන් මගේ හිතේ තිබුණු ආසාවක්. පුංචි කාලයේ මම චිත්‍රපට බැලුවා. චිත්‍රපටයක් බලලා මම පුදුම වින්දනයක් ලැබුවේ. ඉන්දියාවේ ඉගෙන ගන්න ගියත් චිත්‍රපට ගැන මගේ හිතේ තිබුණු ආසාව කැමැත්ත කවදාවත් හිතින් අයින් වුණේ නැහැ.

ඉන්දියාව කියන්නේ හුඟාක් සංස්කෘතික ප්‍රවාහයන්, හුඟාක් භාෂාවන් සහ හරිම ශාස්ත්‍රීය කලාවන්ගේ අක්මුල් විහිදුණු අපූරු පොළොවක් සහ ඉතිහාසයක් ඇති රටක්. ඉන්දියාවේ ගෙවූ අතීතයට ඇත්තටම ඔබ කැමතිද?

ඔව්. ඒ ජීවිතය හරි වෙනස්. ශාස්ත්‍රීය සංගීතය, සාම්ප්‍රදායික නැටුම්, සිනමාව වගේම නවතාවය මුහු වුණු, හැම කලා ශානරයක්ම හා ශාස්ත්‍රීය හැම කලා ශානරයක්ම ඉන්දියාවේ තියෙනවා. කලාවෙන් සංගීතයෙන් දුරස් නොවූ මිනිසුන් බහුතරයක් ඉන්න රටක් ඒ. ඒ රටේ සිනමාව ගත්තොත් සිනමාව කර්මාන්තයක් විදිහට ගොඩනැගෙන්න ඉන්දියානු ප්‍රේක්ෂකාගාරය විශාල පිටිවහලක් වූ බවට නිසැකයි. ඇත්තටම ඉන්දියානුවන් කලාවට සංගීතයට සිනමාවට ආදරෙයි. ඒ වගේම ලංකාවෙත් හදවතින්ම කලාවට සිනමාවට ආදරය කරන මිනිසුන් ඉන්නවා. රටක කලාවට යහපත් පැවැත්මක් පවතින්න නම් ඒ රටෙහි ප්‍රේක්ෂකාගාරයේ රසවින්දනය සහ ආදරයත් ඊට ප්‍රබලම සහ මූලිකම හේතුවක් වග මම විශ්වාස කරනවා. කලාව කියන්නේ හරිම සියුම් සංවේදී මාධ්‍යයක්. ජීවිතය නිවන සැනසිලිදායක නවාතැනක්.

සිනමාව යනු කුමක්දැයි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හඳුනාගත් ලාංකික සිනමාවේදීන්ගේ සහ සිනමා නිර්මාණයන්ගේ අඩුවක් හිස්තැනක් ඔබ දකිනවාද?

මේ වෙද්දි සිනමාවේ යම් ප්‍රබෝධයක් ඇතිවී තියෙන වග අපට දනවන්න උත්සාහ කරන පසුබිමක් තියෙනවා. ඇත්තටම සිනමාව කියන්නේ මිනිසුන්ගේ ඇස් දෙකට විතරක් නෙවෙයි, හදවතටම, ඉන් එහා ආත්මයටම කතා කරන ළයාන්විත මාධ්‍යයක්. එහෙම සිනමා නිර්මාණ බිහිවීමේ අඩුවක් දකින්න තියෙනවා. කවර හෝ හේතූන් මත එවන් වාතාවරණයක් දකින්න තියෙනවනම් කර්මාන්තයක් විදිහට ගොඩනැගුණු සිනමාවක්, මිනිසුන්ගේ හදවතටම ආමන්ත්‍රණය කරන සිනමාවක් අපි තවදුරටත් ප්‍රාර්ථනා කරමු.

ශර්මිලා ධර්මරාසා... සිනමාවට මේ  තරම් ආදරය කරන ඔබ සිනමා අධ්‍යක්ෂවරියක් විදිහට කවදා හෝ සිනමාවට තෑග්ගක් දෙන්න කැමතිද?

ඒක මගේ හීන අතර ලස්සනම හීනයක්. ඇත්තටම ඒ වෙනුවෙන් මම මේ දවස්වල සූදානම් වෙනවා. මම ආසයි මම ආදරෙයි සිනමා අධ්‍යක්ෂවරියක් කියන භූමිකාවට. ඒක මොන තරම් සතුටක්ද? ලස්සන, මිනිසුන්ට දැනෙන චිත්‍රපටයක අධ්‍යක්ෂවරිය වෙන්න මම හරි ආසයි. ඒ හීනය හැබෑකර ගැනීම වෙනුවෙන් ධනාත්මකව හා සුබවාදීව හිතන අවංකවම මට ළෙන්ගතු පිරිසක් ඉන්නවා. ජීවිතයේ හමුවූ එවන් හැම කෙනෙකුටම සහ ජීවිතයට ආදරය සහ ආශිර්වාදය එක් කරන හැම කෙනෙකුටම මම ආදරෙයි සහ ස්තූතියි කියනවා.

• සංජීවිකා සමරතුංග
• ජයමාල් චන්ද්‍රසිරි