2025 ජුලි 12 වන සෙනසුරාදා

Ai අවතාරයි ‘වර්චුවල්’ බුවාලයි

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 16

ඔන්න මචෝ! Y Trend එකෙන් අද අරන් ආවා සුපිරිම Trend එකක් ගැන කතාවක්! මේක දැන් සමාජ මාධ්‍ය ඇතුළු මුළු ලෝකය පුරාම අලු‍ත්ම “සීන් කෝන්”‍ එකක් බවට පත්වෙලා. සීන් එක තමයි AI Avatar සහ Virtual Influencers කියන අමුතුම කට්ටිය. මේක බැලූ බැල්මට සාමාන්‍ය දෙයක් වගේ පෙනුණත්, ඇතුළෙන් හරිම ආතල් වැඩ ගොඩක් තියෙනවා සුදෝ.

දැන් තැන් අන්තර්ජාල AI බුවාලා හැමතැනම! සිරාවටම මේක එකපාර සුදු තාත්තිලාට සුදු අම්මිලාට තේරුම් ගන්න පුළුවන් ආතල් එකක් නෙවෙයි. අපි මීට කලිනුත් මේ වගේ දේවල් දැකලා තියෙනවා. ඒත් වස්තු AI සීන් එකේ විශේෂත්වයක් තියෙනවා.
අපි වැඩේ මුලින්ම සරලව තේරුම් ගන්න බලමු. දැන් බලන්න සුදෝ! Tik Tok, Instagram, YouTube වගේ තැන්වල අර ලස්සනට පෙනෙන, කතා කරන, සමහර වෙලාවට නටන “මිනිස්සු”‍ වගේ චරිත දකින්න ලැබෙනවනේ! එයාලා ඇඳුම් මෝස්තර කරනවා, Product Ad කරනවා, සින්දු කියනවා, ඒ වගේම අපේ ප්‍රශ්නවලට උත්තර පවා දෙනවා. ඇත්තටම මචෝ, මේ තමා AI Avatar සහ Virtual Influencers ලා.

සමාජ මාධ්‍ය අවකාශය පුරාම “හොල්මන්”‍ කරන ආකර්ෂණීය අලු‍ත්ම “සෙට් එකක්”‍ බවට මෙයාලා පත්වෙලා ඉවරයි. එයාලා ටිකෙන් ටික අපේ එදිනෙදා ජීවිතයට රිංගනවා කියන එක බොරු නෙවෙයි. දැනට AI Video වගේ ඒවායින් අපේ අය ආතල් ගත්තට අනාගතයේ මේ සෙට් එක තමයි ලෝකය ආක්‍රමණය කරන්න බලාගෙන ඉන්නේ. ඇත්තටම මචෝ මේ චරිත අපේ ජීවිතයේ කොටස් බවට පත්වෙන්න හරිම ළඟයි.

කොහෙන්ද මේක පටන් ගත්තේ? කියන කතාවත් නොකියා ඉන්න බෑ. ඒ නිසා ටිකක් ඉතිහාසය පැත්තට ඔළුව දාලා බලන්න ඕනෑ ඔක්කෝටම කලියෙන්. මේ AI Avatar සීන් එක දවසින් දෙකෙන් නැගලා ආපු එකක් නෙවෙයි සුදෝ. මේක පිටුපස පොඩි ඉතිහාසයක් තියෙනවා. මුලින්ම ඔය "Avatar" සංකල්පය ආවේ games වලින්. අර පරිගණක ක්‍රීඩාවලදි අපි Play කරන චරිතෙටත් අපි Avatar කියනවනේ. ඊට පස්සේ Animation Industry එකේදීත් මේ වගේ පරිගණකයෙන් හදපු චරිත හදාගන්න පටන් ගත්තා. ඒ කාලේ ඔය ”‍ෂ්‍රෙක්”‍ (Shrek) වගේ කාටූන් හැදුවේ ලොකු තාක්ෂණයක්, ලොකු දැනුමක් එක්ක. ඒත් ඒක මිනිසුන්ට ලේසි වුණේ නෑ.

දැන් වෙද්දි AI තාක්ෂණය දියුණුවෙලා, "Generative AI" කියන අලු‍ත්ම සීන් එක ආවට පස්සේ තමයි මේ වැඩේට අලු‍ත් පණක් ලැබුණේ. මේ මාස කිහිපයේ සහ පසුගිය අවුරුදු දෙක තුනේ තමයි මේ AI Avatar සහ Virtual Influencers කියන Trend එක මෙච්චරම නැගලා යන්න පටන් අරගෙන තියෙන්නෙ. මේක දැන් සරල වැඩක් වෙලා තිබුණත් ඉතිහාසය පුරා සිද්ධ වුණු පරීක්ෂණ සහ ගොඩක් මිනිස්සු කරපු කැපවීම්වල ප්‍රතිඵලයක් විදියට තමයි මේ වගේ දියුණු තාක්ෂණයක් නිර්මාණය වුණේ. හැම දේකින්ම ආතල් ගන්න සමහර අයට නම් ඒ කෑල්ල අමතක වෙනවා නිතරම.

ඇයි මේ Trend එක මෙච්චරම ජනප්‍රිය වෙන්නේ? ඔන්න මචෝ මේක තමා සිරාම ප්‍රශ්නය. ඒත් මචෝ ඕකට උත්තරේ ලේසියි. පරණ කාලේ game චරිතයක් හරි, Animation එකක් හරි හදන්න Graphics දන්න, ඒවාට පහසුකම් තිබුණු කට්ටියට විතරයි පුළුවන් වුණේ. ඒත් දැන් AI නිසා කිසිම skills නැති කෙනෙක්ට පවා පුළුවන්, තමන්ටම කියලා ලස්සනAI Avatar කෙනෙක් හදාගන්න. ඕකට තියෙන්නේ AI Tool එකකට අපිට ඕනෑ විදිහ කියන්න විතරයි!

ඒ වගේම, මේ Virtual Influencers ලා හැම වෙලාවෙම පරිපූර්ණයි. එයාලා වයසට යන්නේ නැහැ, ලෙඩ වෙන්නේ නැහැ, රණ්ඩු වෙන්නේ නැහැ. එයාලා හැමදාම ලස්සනට, Trend එකට ඉන්නවා. ඒකත් තරුණ තරුණියන්ට හරිම ආකර්ෂණීයයි. ඒ වගේම, එයාලා ඕනෑම වෙලාවක ඉන්නවා. අපි ඇහුවොත් උත්තර දෙනවා. ඒකත් එයාලා ජනප්‍රිය වෙන්න ලොකු හේතුවක්.

ලෝකයම කතා කරන AI බුවාලා ඉන්නවා කියලා කිව්වනේ. දැන් අපි බලමු මේ ලෝකයේ ජනප්‍රිය වෙලා ඉන්න AI Avatar සහ Virtual Influencers කිහිප දෙනෙක් කවුද කියලා. ඔන්න කට්ටියගේ නම් ගම් එක්ක විස්තර ඔක්කොම අපි දානවා. සුදාලා කැමති නම් අන්තර්ජාලය පැත්තෙ ගිහිල්ලා මේ අය ගැන Search පාරක් එහෙම දාලා බලන්න. මේක කොච්චර ආතල් දියුණු සීන් එකක්ද කියලා එතකොට ඔයාලට තේරෙයි.

ලිල් මිකේලා (Lil Miquela): මෙයා තමයි මේ සීන් එකේ මුල්ම සහ සුපිරිම කෙල්ල. වයස අවුරුදු 19 ක බ්‍රසීල-ඇමෙරිකානු කෙල්ලෙක් වගේ පෙනෙන මෙයා සමාජ මාධ්‍යයේ හරි ජනප්‍රියයි. Instagram එකේ මිලියන ගණනක් Followers ලා ඉන්නවා. Calvin Klein, Prada වගේ ලොකුම Brand එක්ක වැඩ කරලා තියෙනවා, සිංදු කියනවා. හරියටම Celebrityකෙනෙක් වගේ!

ඉම්මා (Imma): මෙයා ජපානයේ හදපු Virtual Model කෙනෙක්. රෝස පාට කොණ්ඩයක් එක්ක, හරිම යථාර්ථවාදී පෙනුමක් තියෙනවා. Pop Culture එක නියෝජනය කරලා, Adidas, IKEA වගේ Brand එක්ක මෙයා වැඩ කරලා තියෙනවා.
ෂුඩූ ග්‍රෑම් (Shudu Gram): මෙයා හඳුන්වන්නේ “ලෝකයේ පළමු Digital Supermodel" විදිහට. පුදුමාකාර, පරිපූර්ණ පෙනුමක් තියෙනවා. Rihanna ගේ Fenty Beauty වගේ ලොකු Make-up Brand වලටත් මේ චරිතය පෙනී ඉඳලා තියෙනවා.
නොක්ස් ෆ්‍රොස්ට් (Knox Frost): මේ ලෝකයේ ඉන්න ප්‍රසිද්ධම පිරිමි Virtual Influencer කෙනෙක් තමයි Knox. මානසික සෞඛ්‍ය ගැන, ආත්ම විශ්වාසය ගැන කතා කරන මෙයා ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) එක්කත් වැඩ කරලා තියෙනවා මචෝ.

දැන් ඉතින් සුදු අම්මිලාට සුදු තාත්තිලාට තේරෙන්න ඕනෑ මේක කොච්චර බරපතළ සීන් කෝන් එකක්ද කියලා. තාම ඉතින් සිංහලෙන් කතා කරන කට්ටිය එච්චර නැති හින්දා, අපේ පැංචෝ පැංචියෝ මේ ගැන එච්චර දන්නේ නැතුව ඇති. හෙට අනිද්දාට එහෙම කතා කරන අය ආවට පස්සේ අපේ අයත් මේක පස්සේ දුවන්න පටන් ගනියි.

හැබැයි ඉතින් වස්තු හැම දේකම දෙපැත්තක් තියෙනවා! ඉතින් දැන් අපි බලමු මේකෙන් අපිට හොඳ සහ නරක මොනවද වෙන්නේ කියලා.

මුලින්ම හොඳ පැත්ත ගැන අදහසක් ගමුකෝ. පළවෙනි දේ තමා අලු‍ත් රැකියා අවස්ථා නිර්මාණය වෙනවා. AI Avatar හදන අයට, එයාලව කළමනාකරණය කරන අයට, ඒ වගේම එයාලා වෙනුවෙන් අලු‍ත් අන්තර්ගතයන් හදන අයට අලු‍ත් රැකියා ලැබෙනවා. ඊළඟට වෙළෙඳ දැන්වීම්වලට, අලු‍ත් Brand වලට දැන් සැබෑ මිනිසුන්ට වඩා අඩු වියදමකින්, ඉක්මනින්, ඕනෑම වෙලාවක දැන්වීම් හදාගන්න පුළුවන්. ඒ වගේම, Virtual Influencers ලා Brand එකට ගැලපෙන විදිහට හදාගන්නත් පුළුවන්.
තව තියෙන සුපිරිම දෙයක් තමයි නිර්මාණශීලීත්වයට නිදහස සම්බන්ධව තියෙන අවස්ථාව. මචෝ කෙනෙක්ට ඕනෑම විදිහක චරිතයක් හදලා, තමන්ගේ නිර්මාණශීලී අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් මේ සීන් එක නිසා. සමාජ ප්‍රශ්න ගැන කතා කරන්න මේක හොඳ තුරුම්පුවක්. Knox Frost වගේ Virtual Influencers ලා මානසික සෞඛ්‍ය වගේ වැදගත් සමාජ ප්‍රශ්න ගැන දැනටමත් කතා කරන බව අපි සුදාලට කිව්වා.

ඊළඟට ඉතින් හොඳ වගේම තමයි ඕනෑම දේක නරක පැත්තකුත් තියෙනවා කිව්වනේ. අපි බලමු මේ සීන් එකේ අවාසි මොනවද කියලා. ඇත්තටම මචෝ මේක “අසත්‍ය”‍ ලෝකයක්. මේ AI Avatar ලා හරිම පරිපූර්ණ නිසා, සැබෑ මිනිසුන්ට තමන්ගේ පෙනුම ගැන, ජීවිතය ගැන අනවශ්‍ය පීඩනයක් ඇතිවෙන්න පුළුවන්. දැනටමත් ඔය Make up නම් විකාරරූපී විලාසිතා ආදිය නිසා මිනිස්සු අතර ලොකු පීඩනයක් නිර්මාණය වෙලා තියෙනවා. AI සීන් එක හෙට අනිද්දාට ඒක තවත් වැඩි කරන්න අවස්ථාවක් තියෙනවා මචෝ.

අනිත් පැත්ත තමා සැබෑ Models ලාට, Influencers ලාට රැකියා අහිමිවීමේ අවදානමක් මතුවීම. ඒක දැම්ම නෙවෙයි අනාගතයේදී සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. ඊළඟට මේ AI Avatar ලා පාවිච්චි කරලා බොරු ප්‍රචාර, වැරදි තොරතුරු පැතිරවීමේ අවදානමක් තියෙනවා. මොකද මෙතැන නියාමනයක් හරි වගවීමක් හරි පැහැදිලිව හඳුනාගන්න බෑ. මේ හා සම්බන්ධ නිසි ප්‍රතිපත්ති, නීතිමය රාමු ලෝකය තුළ සකස් වෙලත් නෑ. ඒ නිසාම සදාචාරාත්මක ගැටලු‍ එහෙමත් නිර්මාණය වෙන්න පුළුවන්. “අතාත්වික”‍ කෙනෙක්ව අපිට කොච්චර දුරට විශ්වාස කරන්න පුළුවන්ද? එයාලා කරන දේවල්වලට වග කියන්නේ කවුද? වගේ සදාචාරාත්මක ප්‍රශ්නත් මතු වෙනවා.

දැන් ඒ කතාව ටිකක් අමතක කරමු. ටිකක් හිතපන්කෝ සුදෝ! දැන්ම මේ තරම් දියුණු නම්, අනාගතයේදී කොහොම වෙයිද? මේ AI Avatar සහ Virtual Influencers කියන සීන් එක අනාගතයේදී තවත් දියුණු වෙනවා. අපි අනාගත ලෝකය පිළිබඳ උපකල්පනය කරලා මේ සීන් දෙක අනාගතයේ ටිකක් සිතින් මවාගමු. AI වලින් නෙවෙයි මචෝ අපේ මනසින් ටිකක් ඒක මවාගමු. සිරාවටම මේ සීන් එක Game changer එකක් වේවි.

අනාගතයේදී මේ AI හොල්මන් ටික තවත් සැබෑ මිනිසුන්ට සමාන වෙනවා. සමහර විට අපිට හඳුනාගන්නත් බැරි වෙයි කවුද සැබෑ කෙනා, කවුද AI කෙනා කියලා. මේ නිසා Gaming, Education, Healthcare, Filming වගේ ක්ෂේත්‍රවලටත් AI Avatar ලා රිංගයි. එයාලා ඒවායේ රජ වෙයි. සමහර විට අනාගතයේදී ඔයාටම කියලා AI මිත්‍රයෙක්, AI ගුරුවරයෙක්, AI පුහුණුකරුවෙක් හදාගන්නත් පුළුවන් වෙයි. එයාලා ඔයාගේ හැඟීම් තේරුම් අරන් ඔයාට උදව් කරයි.

ඇත්තටම මචෝ, මේක ලෝකයේ Creative field එකම වෙනස් කරන, Game Changer සීන් එකක්! ආයෙ ඒකේ දෙකක් නෑ. AI Video වගේම මේ AI Avatar සීන් එකත් Trend වෙලා වේගයෙන් ජනප්‍රිය වෙමින් යනවා. කොහොම වුණත් වෙනස් වන ලෝකයේ වෙනසට පිටුපාලා අපිට යන්න බෑ. එහෙම වුණොතින් පරිණාමයේ දී ඩයිනෝසිරස්ලට වුණු දේ තමයි අපිට වෙන්නෙ. හැබැයි තාක්ෂණය සහ අලු‍ත් දේවල් එක්ක යාවත්කාලීන වෙද්දී සදාචාර සම්මුති අමතක කරන්නේ නැතුව, මනුෂ්‍යත්වයත් ආරක්ෂා කරගෙන ඒ වැඩ කරන්න අපි පරිස්සම් වෙන්න ඕනෑ. එහෙනම් සුදෝ ජය වේවා!

• චමිඳු නිසල්