2025 ජුලි 05 වන සෙනසුරාදා

කොට්ටං තලනවා වගේ දෙබස් කියන එක නෙවෙයි - Sriyantha Mendis

 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 34

රංගන ශිල්පියෙක් කියන්නේ කවුද?

මම හිතන්නේ රංගන ශිල්පියෙක් පිළිබඳ විග්‍රහය ටිකක් අමාරු කාරණාවක්. ගොඩ් අපාර්මන් කියන ජර්මන් ජාතික මහාචාර්යවරයා, නළුවා යනු කවුද කියන කාරණාව විග්‍රහ කරනවා. නළුවා සහ රූපණවේදියා කියලා දෙන්නෙක් ඉන්නවා. නළුවෙකුට දෙබසක් හම්බවුණාම ඒක කියලා යමක් කරන්න පුළුවන්.
රූපණ ශිල්පියෙක් කියන්නේ රංගනය පිළිබඳ හැදෑරීමකින්, රංගනය පිළිබඳ යම්කිසි අධ්‍යනයකින්, රංගනය කුමක්ද කියලා තේරුම් බේරුම් කරගත්ත කෙනෙක්. ඒක නිසාම මාත් එක්ක වැඩ කරන බොහෝ දෙනා රංගනය හදාරපු රූපණවේදීන්. ඒ නිසාම මේ නිර්මාණ කාරණාවේදී ඔවුන්ව සම්බන්ධ කර ගත්තාම මගේ ගමන යන්න පහසුවක් වුණා. ඒ නිසාම නළුවා සහ රූපණවේදියාව වෙන් කරලා හඳුනාගන්න අපිට අවස්ථාවක් ලැබෙනවා. මගේ පෞද්ගලික කල්පනාව වන්නේ, නළුවෙකුට වඩා රූපණවේදියා වවාගන්න ප්‍රමාණය වැඩියි. කොට්ටං තලනවා වගේ දෙබස් කියන එක නෙවෙයි නළුකම කියන්නේ. ඊට එහා ගිය දෙබස් තුළ තියෙන රසවත් වූ හැඟීම් ධාරාව එළියට අරගෙන ඒක ප්‍රේක්ෂකාගාරයට මුදාහැරීම තමයි නිවැරදි රූපණවේදියෙකුගේ ගතිගුණය කියලා මම විශ්වාස කරනවා.

ඔබගේ රංගන ජීවිතය තුළ, ඔබ සාර්ථක රංගන ශිල්පියෙක් කියලා දැනුණේ කවදාද?කොහොමද?

මම රංගනයට ප්‍රවේශ වෙලා අඩ සියවසක් වෙනවා. සාමාන්‍යයෙන් එච්චර කාලයක් නළු නිළියෝ වැඩ කරන්නේ නැහැ. 1975 නොවැම්බර් මාසයේ තමයි මම රංගනයට ප්‍රවිශ්ට වුණේ. මගේ ගම්පළාත රාගම. ඒ ප්‍රදේශයේ ප්‍රාදේශීය වශයෙන් තිබුණු රංග කණ්ඩායමක් එක්ක තමයි මුලින්ම රංගනයට ප්‍රවිශ්ට වුණේ. එතැන තමයි මම මුලින්ම ගොඩනැගුණු තෝතැන්න. නමුත් මෙතැනදි මට හිතුණා මේක හැදෑරිය යුතු විෂයක් කියලා. අපි මේ කතා කරන සුදර්ශි භූමියේම තමයි අපි රංගනය හදාරන්න පටන් ගත්තේ. ඒ පටන් ගත්තේ නෝබට් ජෑන් මයර් කියන ජර්මන් ජාතික මහාචාර්යවරයා යටතේ. එතකොට අපේ කණ්ඩායමේ මමත් ඇතුළුව කමල් අද්දරආරච්චි, ජයන්ත චන්ද්‍රසිරි, චිත්‍රා කුමාරි කළුබෝවිල, නෙළුම් කළුබෝවිල, ජූඩ් ශ්‍රීමාල් වැනි විශේෂිත කණ්ඩායමක් හිටියා. ඉතින් ඔවුන් සමඟ ගනුදෙනු කිරීමම විශේෂයි කියලා මට හිතුණා. රංගනය හැදෑරිය යුතු විෂයක් කියලා මට දැනෙන්න ගත්තේ ඒ කාලයේ. ඒක නිසා අපි ඔක්කොම එකතු වෙලා ‘අනේ අබ්ලික්’ කියලා යොවුන් නාට්‍යයක් නිෂ්පාදනය කළා. මේ නාට්‍යයේ රඟපෑමෙන් පස්සේ තමයි මම ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණ වුණේ.

ඔබ වේදිකාව, පුංචි තිරය සහ රිදී තිරය යන ත්‍රිත්වයම ජයගත් ප්‍රවීණයෙක්. ඒ ඒ ශානරයන් තුළදී ඔබේ රංගනය හැඩගස්වා ගත්තේ සහ ඔබව රැකගත්තේ කොහොමද?

මෙහෙමයි. මේ තුනේම හැඟීම එකයි. ඒක මම විශ්වාස කරන ධර්මතාවක්. ආදරය නම් ආදරයමනේ. වෛරය නම් වෛරය. ක්‍රෝධය නම් ක්‍රෝධය. ඒ වගේම රංගනයේදීත් හැඟීම එකයි. ඒ කියන්නේ අපේ හදවතින් අපි එළියට ගන්නා වූ හැඟීම් ධාරාව එකයි. නමුත් දැන් මේක ශානරයන් ත්‍රිත්වයක්නේ. ඒ ශානරයන් ත්‍රිත්වය තුළ මේ හැඟීම් ධාරාව මුදා හරින්නේ කොහොමද කියලා නළුවා දැනගත යුතුයි. වේදිකාවේ රඟපාන හැඩයම නෙවෙයි අපි රූපවාහිනියට ගේන්නේ. ඒ හැඩය නෙවෙයි අපි චිත්‍රපටයකට ගේන්නේ. ඒක නිසා මේ ශානරයන් ත්‍රිත්වය හඳුනා ගැනීමම මේ මාධ්‍ය තුළ ගනුදෙනු කරන්න හරිම ලේසි පහසු ක්‍රමයක් වෙනවා. මම ඒක හැදෑරුවා සහ ඒක තේරුම් ගත්තා. තේරුම් අරගෙන, මේ මේ හැඩයන්ට මේ මේ නිර්මාණ කාරණා රැඳවිය යුතුයි කියන විශ්වාසය නිසාම වේදිකාව, ටෙලිනාට්‍ය සහ චිත්‍රපට යන මාධ්‍ය තුනෙන්ම සම්මානයට පාත්‍ර වීමට අවස්ථාව ලැබුණා. ඉතින් අපි ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ අපි කලාව ඇතුළේ යම්තාක් දුරකට සාර්ථකව ගමනක් ගිහිල්ලා තියෙනවා කියන එක. ඒ ගමන ඉවර නැහැ. තවත් දුර යා යුතුයි. ඒ නිසාම තමයි 12 වෙනි කාමරේට ඉඩකඩ හදාගෙන ඉන්නේ.

දහ වෙනිදා දොරට වඩින, 12 වෙනි කාමරය ගැනත් කතා කරමු?

12 වෙනි කාමරේ. මේක විනෝදාත්මක වේදිකා නාට්‍යයක්. අනුවර්තනයක් හැටියට මෙහි පිටපත රචනා කළේ කපිල කුමාර කාලිංග. මේකේ ශිල්පීන් අට දෙනෙක් ඉන්නවා. මම ඉන්නවා. කුසුම් රේණු, අංජුලා රාජපක්ෂ, අජිත් ලොකුගේ, ජනක කුඹුකගේ, ප්‍රදීප් ඇරැව්වල, තරංග බණ්ඩාර, තාරුකී අමායා යන ශිල්පීන් රංගනයෙන් දායක වෙනවා. මෙහි සංගීතය සපයන්නේ නව පරපුරේ දක්ෂයෙක් වන රවීන් කණිෂ්ක. වේදිකා ආලෝකය සහ පසුතල සැපයුම නව පරපුරේ දක්ෂයෙක් වන චතුර දසනායක සිදු කරනවා. චන්දන බණ්ඩාරගේ අංග රචනයෙන් හැඩවෙන 12 වෙනි කාමරේ ඇත්තටම හරි සුන්දර නාට්‍යයක්. ඉතින් මම හරිම ආදරයෙන් ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා ජූලි මාසයේ 10 වෙනිදා සවස 6.45 ට එල්ෆින්ස්ටන් රඟහලේ පැවැත්වෙන 12 වෙනි කාමරේ වේදිකා නාට්‍ය රසවිඳින්න පැමිණෙන්න කියලා.

සිනමාවට ඔබගේ දායකත්වය ගැන කතා කරමු?

මම මුලින්ම රඟපෑවේ සාගරයක් මැද කියන චිත්‍රපටයේ. ඒක ගාමිණී ෆොන්සේකා මහත්මයාගේ අධ්‍යක්ෂණයක්. මේ චිත්‍රපටයේ මගේ භූමිකාව පොඩි කොටසක් වුණාට, මේක සිනමාව ගැන අධ්‍යයනය කිරීමේ මහා චාරිකාවක්.
ඊට පස්සේ මට ප්‍රධාන චරිතයක් ලැබුණේ එච්.ඩී. ප්‍රේමරත්නයන්ගේ මංගල තෑග්ග චිත්‍රපටයෙන්. එහිදී මට රඟපාන්න ලැබුණේ ප්‍රවීණයෝ රැසක් එක්ක. එහි රඟපෑවේ සනත් ගුණතිලක, ජයලත් මනෝරත්න, රවීන්ද්‍ර රන්දෙණිය සහ මම. බැචලෝස් පාටි එකක් වටා යන කතාවක් මේක. හෙට දිනයේ විවාහ වෙන්න ඉන්න යාළුවෙකුගේ බැචලොස් පාටි එකක්. ඒකට මේගොල්ලෝ වෛශ්‍යාවක් ගේනවා. වෛශ්‍යාව මේ යාළුවන්ගෙන් කෙනෙක් අතින් මිය යනවා. ඒ මිය යන්නේ මම රඟපාපු චරිතය අතින්. ඊට පස්සේ වෙන කතාව තමයි මංගල තෑග්ග චිත්‍රපටයෙන් දිගහැරුණේ. ඉතින් මේ චරිතය මම ප්‍රධාන චරිතයක් රඟපාපු මුල්ම චිත්‍රපටය විදිහට අභියෝගයක්. ඒකෙදි මාත් එක්ක රඟපෑවේ සනෝජා බිබිලේ. ඒක ඇයගේත් පළමු චිත්‍රපටය. කෙසේ වෙතත් මට අභියෝගය ජය ගන්න අවස්ථාව ලැබුණා. එහෙම තමයි සිනමාවට ප්‍රවිෂ්ට වුණේ. ඊට පස්සේ සරත් ධර්මසිරිගේ භේරුණ්ඩ පක්ෂියා චිත්‍රපටයේ රඟපෑවා.
මගේ චරිතය වෙනුවෙන් මට ඒ වසරේ හොඳම නළුවාට හිමි ජනාධිපති සම්මානය හිමි වුණා. ඊළඟට බඹර වළල්ල චිත්‍රපටයේ හොඳම නළුවා දෙවැනි ස්ථානයට හිමි සම්මානය හිමි වුණා. සිනමාවේදී සම්මානයට පාත්‍ර වුණේ ඔය අවස්ථා දෙකේදි තමයි. නමුත් සිනමාවේ තියෙන අසිරිය බොහෝ අවස්ථාවලදී අපිට නැවත නැවතත් ලැබුණා.

අඩ සියවසක රංගන චාරිකාව තුළ ඔබගේ හදවතට වැඩිපුරම දැනුණු චරිතයක් ගැන වචනයක් කතා කරමු?

දරුවෝ පස්දෙනෙක් ඉන්නකොට හොඳම දරුවා කවුද කියලා කියන්න බෑනේ. තාත්තා කෙනෙක්ගෙන් එහෙම ප්‍රශ්නයක් ඇහුවොත් තාත්තා උත්තර දෙන්නේ, දරුවෝ ඔක්කොම එකයි. දරුවෝ මම හදපු දරුවෝනේ.
ඒ කියන්නේ මම චරිතයක් නිරූපණය කරනකොට මම ඒ චරිතය හදනවා. මුලින්ම පිටපත කියවනකොට මට ඒ චරිතය පෙනෙන්න ගන්නවා. ඒ චරිතයට අදාළ ඇඳුම් පැළඳුම්, කොණ්ඩ මෝස්තරය, හැසිරීම්, මේ සියලු‍ දේ පෙනෙන්න ගන්නවා. මම දන්නේ නෑ ඒ හැකියාව කොහොම ලැබුණාද කියලා. එතකොට ඒ චරිතය හදන්නේ මම. මමයි මමයි එකතුවෙලා චරිතයක් හදනවා. එතකොට එහෙම හදපු චරිතය මෙහෙමයි කියලා දැනෙන්න ගන්නවා. එහෙම හදපු හැම චරිතයක්ම මට විශිෂ්ටයි. ඒ අතරේ කූට වගේ ඉහළට ගිය චරිත කිහිපයක් තියෙනවා. මාව බිහි කළේ පළිඟු‍, සූරසේන. මාව වැඩිවියට පත් කළේ දඬුබස්නාමානය, ආරච්චිල. මාව ශක්තිමත් කළේ බෝගල සවුන්දිරිස්. මාව නාගරික මැරයෙක් කරන්නේ ගිනිඅවි සහ ගිනිකෙළි. මිය ගියේ තව චරිතයකින් වෙන්න පුළුවන්.

මේ රංග චාරිකාවේ, හිත රිදුණු බිඳුණු තැන් නැද්ද?

එහෙමම නැහැ. මම හැමදේම සැහැල්ලු‍වෙන් විඳගන්න කෙනෙක් සහ මම ගැන විශ්වාසය තබන කෙනෙක්. මගේ ශක්තිමත්භාවය මගේ හදවතේ තියෙනවා. ඒක නිසාම මොන දේ වුණත් මම පස්සට යන්නේ නැහැ. ඒ ගැන කවියක් කියලා දුන්නා මට අරිසෙන් අහුබුදු මහත්මයා.
“පෙරමුණ ගන්නෝ - පෙරටම යන්නෝ
පස්සට යන්නෝ - පස් යට යන්නෝ...”‍

කලාවෙන් ඔබට ලැබුණු වටිනාම දේ මොකක්ද?

බිරිඳ. කෙටිම උත්තරය. එයාවත් හමුවුණේ කලාවෙන්, වේදිකාවෙන්. අසූව දශකයේදී අපි දෙන්නා රඟපානවා පණ්ඩු අභය කියලා වේදිකා නාට්‍යයක. එයා උන්මාද චිත්‍රා වෙනකොට මම දීඝගාමිණී වුණා. ඒක තමයි ඓතිහාසික ප්‍රේම වෘතාන්තය. ඒ ඉතිහාස ප්‍රේමය තවමත් ශක්තිමත්.

වර්තමානයේ අලු‍ත් සිනමාපට එක දිගට තිරගත වෙනවා. පවතින ආර්ථික තත්ත්වය සහ ජනතාවගේ කාර්යබහුල ජීවන රටාව එක්ක මේ තත්ත්වය සිනමාවට ඍණාත්මකව බලපාන්න පුළුවන්ද?

මේක පරිපාලනමය ප්‍රශ්නයක්. චිත්‍රපට සංස්ථාවේ සභාපතිගෙන් අහන්න ඕනෑ ප්‍රශ්නයක්, ඇයි මෙහෙම තිරගත වෙන්නේ කියලා.(සිනාසෙමින් දුන් උත්තරයක්)
කෙසේ වෙතත් අපිට පෙනෙන කාරණාවක් තියෙනවා. වෙනදාට වැඩිය චිත්‍රපට බලන්න පිරිස ඉන්නවා. මොනවා වුණත් ඒක සුබ ලකුණක්. පහුගිය කාලයේ අපි අර්බුදයක හිටියේ. කොරෝනා උවදුර, අරගලය, දේශපාලන ගැටලු‍, ආර්ථික අපහසුතා, මේ වගේ ප්‍රශ්න ගොඩක හිටියේ. නමුත් දැන් වෙනකොට මේ දේවල් අකාමකා ගිහින් සිනමාව කියන ඔරුව දියත් වෙන්න පටන් අරන් තියෙනවා. එතකොට අපිට වටිනාකමක් ලැබිලා තියෙනවා. නළු නිළියන් හැටියට අපිට ආඩම්බරයකුත් තියෙනවා ප්‍රේක්ෂකාගාරය තවම අපිට ආදරෙයි කියලා. මම කැමතියි අද වගේම හෙටත් චිත්‍රපටයක් එනවානම්. හෙට වගේම අනිද්දටත් අලු‍ත් චිත්‍රපටයක් එනවානම්. හැබැයි ඒ හැම චිත්‍රපටයකම අපේ ප්‍රේක්ෂකාගාරයේ ආසනයක් තියෙනවා. ඒකට හේතුව වෙන්නේ මිනිස්සු මේ වෙනස් වෙනස් හැඩතලවල චිත්‍රපට, කතාන්දර දකින්න කැමතියි.

ලංකාවේ සිනමා ප්‍රේක්ෂකයා ගැන ඔබේ අදහස මොකක්ද?

හැත්තෑව අසූව සහ හැටේ කෙළවර දශකවල අපි දකිනවා සිනමාවේ ස්වර්ණතම අවධියක්. සාමාන්‍යයෙන් සංස්කෘතිය, එහෙමත් නැත්නම් සංස්කෘතික හැඩය රැලි වගේ කියනවනේ. රැල්ල ඉහළට එනවා. ඇවිත් පහළට යනවා. නමුත් ආයෙත් ඉහළටම නගිනවා. එතකොට අර මුල තිබුණු ආකෘතිමය හැඩය නෙවෙයි දෙවැනි රැල්ලේ තියෙන්නේ. ඒක නිසා තමයි ඔබ ඔය ප්‍රශ්නය අහන්නේ.
හැත්තෑව දශකයේදී මමත් ප්‍රේක්ෂකයෙක්. සත පනස් පහට ගැලරියේ ඉඳගෙන චිත්‍රපට බලපු අය. දැන් අද ඉන්නේ වෙන තාරුණ්‍යයක් සහ වෙන කුල්තූරා සමාජයක ජීවත් වෙන ඇත්තො ටිකක්. ඒගොල්ලෝ සිංහල චිත්‍රපටත් බලනවා. ඉංග්‍රීසි චිත්‍රපටත් බලනවා. මේවා අතරේ වෙනත් කතාන්දරත් බලනවා. හැබැයි ඒ තාරුණ්‍යය. වැඩිහිටියෝ නැද්ද කියලත් හිතෙනවා තමයි. ප්‍රේක්ෂකාගාරය යුගයෙන් යුගය වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන ප්‍රේක්ෂකාගාරයට අපි කේත කරන්න ඕනෑ යමක්. ඒ කේත කරන දේ ආනන්දයෙන් ප්‍රඥාව කරා ඔසවා තැබිය යුතුයි.

අද වෙනකොට කලා ක්ෂේත්‍රයට වැඩි වශයෙන් ආධුනික තරුණ පිරිසගේ පැමිණීමක් තිබෙනවා. මේ තරුණ පිරිසට ඔබ දෙන උපදෙස මොකක්ද?

මෙහෙමයි. දැන් ඉස්සරට වඩා බොහෝ දේ වෙනස් වෙලා තියෙන්නේ. යුග යුග වෙනස් වෙමින් ආවා. මෝටර් රථ යුගවලට ආවා. හෙලිකොප්ටර් යුගවලට ආවා. මොන දේවල් වෙනස් වුණත් වසර දෙදහස් පන්සීයකට පෙර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අදටත් වෙනස් වෙලා නෑ. ඒ මොකද එහෙම වෙන්නේ. ඒක සත්‍ය නිසානේ වෙනස් වෙලා නැත්තේ. බුදුරජාණන් වහන්සේ බොරු කිව්වානම්, ජේසුතුමා බොරු කිව්වානම්, මහම්මද්තුමා බොරු කිව්වානම්, ඒවා එතැනම නතර වෙනවා මිසක් මෙච්චර කාලයකට පවතින්නේ නෑනේ. මම විශ්වාස කරන ධර්මතාවක් තමයි, සත්‍ය ප්‍රකාශ කිරීම. තරුණ පරපුරටත් අපි කියන්නේ ඇත්ත කියන්න. රංගනයේ ඇත්ත ප්‍රකාශ කරන්න. චරිතය තුළ සත්‍ය හඳුනා ගන්න. එතකොට පවතින්න ලේසියි.

• මංගලා පවිත්‍රානි
• ගයාන් අමරසේක