2025 ජුනි 28 වන සෙනසුරාදා

විනිසුරු පුටුවක් හැරෙයිද නැද්ද කියන අභියෝගය මට තිබුණා - Imesh Sandeepa

 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 17

දැවැන්ත හඬ පෞරුෂයන් එකම වේදිකාවක් මත උරින් උර සටන් වදිනThe Voice Sri Lanka වේදිකාව උණුසුම් කරමින් පසුගිය 14 වැනි සෙනසුරාදා අවසන් මහා තරගය පැවැත්විණි. මෙවර හදසර කතාබහ තරගකරුවන් සිවු දෙනෙකුගෙන් යුත් අවසන් අදියරේ ගායන කිරුළ දිනාගත් ගායන තරුව ඉමේෂ් සංදීප සමඟයි.

ඉමේෂ් සංදීප කියන්නේ කවුද?

මගේ නම ඉමේෂ් සංදීප. මම ඉන්නේ ගම්පොළ. මම පාසල් අධ්‍යාපනය ලැබුවේ ගම්පොළ ජිනරාජ පිරිමි විද්‍යාලයෙන්. පාසල් කාලයේ හය වසරේ සිට එකොළහ වසර දක්වා මම සංගීතය විෂයක් විදිහට හැදෑරුවා.
මම මීට අවුරුදු තුනහමාරකට විතර කලින් සංගීතය හදාරන්න සහ මෝටර් කාර්මික ශිල්පියෙක් විදිහට රැකියාව කරන්න කොළඹ ආවා. කොළඹ ආවට පස්සේ තමයි මට සංගීත පිස්සුව දැඩිව දැනුණේ. ඒ අතරේදී මට සංගීතය පුහුණු වෙන්න පෞද්ගලික පුහුණුකරුවෙක් හමුවුණා. එතැනින් තමයි සංගීත ජීවිතේ පටන් ගත්තෙ.

ඔබ The Voice Sri Lanka කිරුළ දිනා ගන්නවා. ඒ අවස්ථාවේ දැනුණු හැඟීම විස්තර කළොත්?

ඇත්තටම මම හරිම සතුටින් එදා දවස ගැන මතක් කරනවා. අවසන් මහා තරගය දවසේ මගේ පළවෙනි ගායනය ඉදිරිපත් කරලා ඉවර වුණාම, මගේ පැත්තෙන් විය යුතු දේ හරියට කළා සහ වැඩේ සාර්ථකයි කියලා මගේ පුහුණුකරුටයි මටයි තෘප්තිමත් බවක් ඇතිවුණා. ඇත්තටම පොඩි බලාපොරොත්තුවක් ඇතිවුණා, “හරි මට මේ කිරුළ ගන්න පුළුවන් අවස්ථාව පනහට පනහක් වගේ තියෙනවා”‍ කියලා. ඉතින් කුසලානය අතට හම්බවෙනකොට මට මුලින්ම මතක් වුණේ මගේ පුහුණුකරුව. මම වේදිකාව උඩින් පැනලා, දුවගෙන ගිහින් ඔහුව වැළඳගත්​ෙතත් ඒ නිසාමයි. ඉතින් හරිම සතුටුයි, බලාපොරොත්තු ගොඩක් ඉටු වුණා. මම Voice Sri Lanka, Season 3 එන්න කලින් මේ ජයග්‍රහණය වෙනුවෙන් අවුරුදු දෙකහමාරක් කැපකිරීම් කරලා, පුහුණුවීම් සිදු කරලා තියෙනවා. ඇත්තටම මම මේ කුසලානය ගන්න, මේ Title එක ගන්න ගොඩක් මහන්සි වුණා. ඉතින් කුසලානය අතට ගන්නකොට මගේ ජීවිතේ ලොකු බලාපොරොත්තුවක් ඉටුවුණා කියලා දැනුණා. ඇත්තටම එදා රාත්‍රිය සහ මේ ජයග්‍රහණය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් කිව්වොත් නිවැරදියි.

ඉමේෂ් The Voice Sri Lanka තරගයට සහභාගි වුණේ කොහොමද?

The Voice Sri Lanka - Season 2 ඔස්සේ මම මේ තරගය ගැන දැනගත්තා. Season 2 ඉවරවෙලා අවුරුදු දෙකහමාරකට විතර පස්සේ තමයි The Voice Sri Lanka - Season 3ආරම්භ වුණේ. season 2 රූපවාහිනියේ දකිනකොට මම තදින්ම හිතා ගත්තා “හරි මම Season 3 එකට යනවා. මම ඒකට අයැදුම් කරනවා”‍ කියලා. අවුරුදු දෙකහමාරක් විතර ඒ වෙනුවෙන් මහන්සි වෙන අතරවාරයේ සමාජ මාධ්‍යවලින් මම දැක්කා, The Voice Sri Lanka - Season 3 තරගයට අයැදුම් කරන්න පුළුවන් කියලා. ඉතින් එහෙම දැකපු ගමන් මම මේ තරගයට online අයැදුම් කළා.

මේ තරගය ඇතුළේ ඔයාට මුහුණ දෙන්න සිදුවුණු අභියෝග මොනවාද?

මට ලොකුම අභියෝගය වෙලා තිබුණේ ‘බ්ලයින්ඩ් ඔඩිෂන්’ වටයේදී මගේ ගායනයට විනිසුරුවරුන්ගෙන් කෙනෙක් පුටුව හරවලා කැමැත්ත ප්‍රකාශ කරන එක. ‘බ්ලයින්ඩ් ඔඩිෂන්’ එකෙන් ඉදිරියට යන්න නම් විනිසුරුවරුන්ගේ එක පුටුවක් හරි මම මගේ පැත්තට දිනාගන්නම ඕනෑ. ඇත්තටම ඒක තමයි මට තිබුණු ලොකුම අභියෝගය.

ඔබ ගායන ක්ෂේත්‍රයේ මෙතෙක් ආ ගමන් මඟ ගැන කතා කරමු?

2021 වසරේ තමයි මම වෘත්තීමය වශයෙන් සංගීතය හදාරන්න පටන් ගත්තෙ. මගේ සංගීත පන්තිය පැවැත්වුණේ කොළඹ. මගේ ගම ගම්පොළ. ගම්පොළ ඉඳලා කිලෝමීටර් 125 ක් විතර එන්න ඕනෑ කොළඹ පැවැත්වෙන පන්තියට. පන්ති තියෙන්නේ පැය තුනයි. සතියට දවස් දෙකක් විතර පාන්දර තුනට විතර නැගිටලා ඇවිත් පැය තුනේ පන්තියට සහභාගි වුණා. ඒ වගේ ලොකු කැපකිරීමක් කරලා තමයි මම සංගීතය ඉගෙන ගත්තෙ. මම සංගීතයට කොච්චර ළැදියිද, කැමතිද කියනවා නම් දවසට පැය හතක් අටක් විතර අධික ලෙස පුහුණුවීම් කරනවා.

මේ ජයග්‍රහණය සඳහා ඉමේෂ්ට පවුලෙන් සහ සමාජයෙන් ලැබුණු සහයෝගය ගැනත් මතක් කරමු?

මුලදි නම් ගෙදරින් චුට්ටක් අකමැති වෙලා හිටියා. මොකද කලා ක්ෂේත්‍රයේ වැඩ කරනවා කියන්නේ, ඒක හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. ඒ දේවලු‍ත් එක්ක මම එයාලට පොරොන්දුවක් දීලා තිබුණා Voice එකට ගිහින් මම මගේම තැනක් හදාගෙන සංගීත  ක්ෂේත්‍රය ඇතුළේ ස්ථාවරයක් හදාගන්නවා කියලා. මම ඒ වෙනුවෙන් මහන්සිවෙලා වැඩ කරනවා දකිනකොට ගෙදරින් මට ලොකු සහයෝගයක් ලැබුණා.
විශේෂයෙන් මතක් කරන්න ඕනෑ මගේ මාමා, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ, විශ්‍රාමික ක්‍රිකට් ක්‍රීඩක සුරංග ලක්මාල්. එයාගෙන් මට විශාල සහයෝගයක් ලැබුණා. ඒ වගේම මම නැවතිලා ඉන්න හෝකන්දර ගෙදර මගේ ලොකු තාත්තා, ලසන්ත රංගජීව. එයා තමයි මගේ සංගීත ජීවිතයට පදනම දාලා මට අවශ්‍ය කරන සංගීත භාණ්ඩ ආදී හැමදේම අරගෙන දුන්නෙ.

ඔබට ලැබෙන රසික ප්‍රතිචාර ගැන කතා කළොත්?

මම වටා රසිකයන් පිරිසක් ඉන්නවා කියලා මම හරියටම දැනගත්තේ The Voice එකේ සජීවී තරග පටන්ගත්ත දවසේ ඉඳලා අවසන් මහා තරගය වෙනකම් Team සුපුන් ඇතුළේ මට තමයි මනාප වැඩිම ප්‍රමාණයක් හිමිවුණේ. මගේ රසික පිරිස ගැන කියනවා නම්, දුරකථන ඇමතුම් දීලා මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්, රසිකයන් මට සුබ පතනවා. “ඔයා කොහොමද එහෙම සින්දු කියන්නෙ? ඔයාගේ කටහඬ හරිම ලස්සනයි...” මේ වගේ ප්‍රශංසා සහ රසික ආදරය මට නිතරම හිමිවෙනවා. වචනවලට විතරක් සීමා නොවුණු රසික ආදරයක් මට ලැබෙනවා කියලා මේ ජයග්‍රහණයත් සමඟ ඔප්පු වුණා.

ඉමේෂ්ගේ අනාගත සැලසුම් හා බලාපොරොත්තු මොනවාද?

මෙහෙමයි. The Voice කියන ගමන් මඟ ඉවර කරලා, මම හිතාගෙන ඉන්නවා මගේම කියලා සින්දු ටිකක් කරන්න. ඒකට අවශ්‍ය වැඩ කටයුතු මේ වනවිට සිදු කරගෙන යනවා. මගේ අනාගත සැලසුම්වලට මගේ පුහුණුකරු සුපුන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඔහු නිතරම සෙවණැල්ලක් වගේ මට ශක්තියක් වෙලා ඉන්නවා. ඉතින් මගේ ආදරණීය රසිකයන්ට මම කියනවා, ඉදිරියේදී මගේම ගීත ඔස්සේ ඔබ හමුවට එනවා.

• මංගලා පවිත්‍රානි