නිසැකවම ඔබට අප අප්‍රමාණ ස්තුතියක රෝස මල් මිටක් දෝතට තිළිණ කළ යුතුමය. මක් නිසාද යත් ශ්‍රී ලාංකිකයකු වශයෙන් ලද ජන්ම උරුමයේ අභිමානය හදවතින් දරාගෙන ලාංකික සිනමාව වෙනුවෙන් කාලයක් මුළුල්ලේ ඔබ සිදු කරන සහ සිදුකළ මෙහෙවර එතරම්ම ප්‍රශංසනීය වන නිසාමය. සිලෝන් එන්ටර්ටේන්ට්මන්ට් කැනඩා නිර්මාතෘ, සිලෝන් එන්ටර්ටේන්ට්මන්ට් ප්‍රධාන විධායක අධ්‍යක්ෂ රවී සේනාධිපති යනු සැබැවින්ම සම් මස් ලේ නහර ඇට මිදුළු විනිවිද යන ආත්මීය ආලයකින් සිනමාව කෙරේ බැඳුණු සුන්දර මිනිසකු ලෙස නිර්වචනය කිරීම කිසිදු වෙසකින් අසාධාරණ නොවේ. ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වන චිත්‍රපට වසර ගණනාවක් මුළුල්ලේ ප්‍රදර්ශනයට වරම් නොලැබ ගාල් වී ඇති පසුබිමක ලංකාවේ නිෂ්පාදිත චිත්‍රපට ලංකාවේ ප්‍රදර්ශනයටත් පෙර කැනඩාවේ ප්‍රදර්ශනය කරමින් චිත්‍රපට නිෂ්පාදකයන්ට මහත් දිරියක් සපයන අතිශය සාධාරණ ප්‍රවේශයක සිට කැනඩා ප්‍රදර්ශනය සඳහා චිත්‍රපට ගෙන්වන සක්‍රීය ව්‍යවසායකයෙකු ලෙස ද රවී සේනාධිපති හඳුන්වා දීම සැබැවින්ම නිරවද්‍ය වේ.
කැනේඩියානු රාජ්‍ය ප්‍රාන්තයක නිත්‍යනුකූල ලෙස ලියාපදිංචි ආයතනයක් වන සිලෝන් එන්ටර්ටේන්ට්මන්ට් කැනඩාවේ ප්‍රමුඛ පෙළේ චිත්‍රපට බෙදා හැරීමේ ආයතනයක් ලෙස මේ වන විටත් නොහිම් ගෞරවයක් හිමි කරගෙන හමාරය. තවද සිංහල චිත්‍රපට ප්‍රධාන ධාරාවන්ට සම්බන්ධ කිරීමේ ප්‍රමුඛ ගෞරවය හිමි වන්නේ ද සිලෝන් එන්ටර්ටේන්ට්මන්ට් නිර්මාතෘවරයාට වග අපි ගෞරවයෙන් ලියා තබමු. තවද ලෝකයේ ප්‍රථම වරට ප්‍රධාන ධාරාව තුළ සිංහල භාෂාවෙන් නිම වූ සිනමාපට මුදාහැරීමට එක්වූ සහ හොලිවුඩ් ලිස්ටිංවලට සිංහල භාෂාව හා සිනමාපට එකතු කළ සමාගම වන්නේද සිලෝන් එන්ටර්ටේන්ට්මන්ට් සමාගමය. 2019 වර්ෂයේදී සමාරම්භය සනිටුහන් කළ සිලෝන් එන්ටර්ටේන්ට්මන්ට් 2022 වර්ෂයේදී ප්‍රේක්ෂක රසවින්දනය උදෙසා කතුරු මිතුරු චිත්‍රපටය තිරගත කරමින් තම මෙහෙවර ඇරඹීය. මේ වන විට සැලකිය යුතු පිරිසක් ලාංකික චිත්‍රපට කැනඩාවේ මෙන්ම තවත් රටවල්වලද බෙදා හැරීමේ කාර්යය දෙවුර දරාගෙන කටයුතු කරමින් සිටින වග අපි දනිමු. එහෙත් ගැටලුව ඇත්තේ ඒ සියලු දෙනාම ගුණාත්මක වටිනාකම රැකගෙන අවංක චේතනාවෙන් සහ තම වගකීම පිළිබඳ හෘද සාක්ෂියක් ඇති හැඟීමකින් කටයුතු කරන්නේ ද යන්න පිළිබඳවය. සියල්ල මුදල යන ඒකකය මත පමණක් තක්සේරු කරන බහුතර මානව මානසිකත්වයන්ගෙන් සපිරි සමාජයක යුතුකම වගකීම සහ මෙහෙවර මූල්‍ය යන කාරණාව සමඟ මැනවින් සම්මිශ්‍රණය කර තම කාර්යය දෙවුර දරාගත් මිනිසුන් විරල සමාජයක සැබවින්ම රවී සේනාධිපති යනු තම වගකීම නිවැරදි ලෙසම හඳුනාගත් සිනමාවට සත්‍ය වශයෙන්ම පෙම් බැඳි ව්‍යවසායකයෙකි. ඉතින් ස්තුතියේ රෝස මල් හැර ඒ වගකීම් සහගත මිනිසාගේ දෙඅතට අප අන් කුමක් තිළිණ කරන්නද?
විධායක ශ්‍රේණියේ බැංකු නිලධාරියකු ලෙස කැනඩාවේ කටයුතු කරමින් සිටියදී ලාංකික සිනමාව ප්‍රස්තුත කර ගනිමින් ඔබ ව්‍යවසායකයෙක් බවට පත් වෙනවා. නිකම්ම නිකම් ව්‍යවසායකයෙක් බවට නෙවෙයි, නිර්මාණශීලී රසවින්දනාත්මක හදවතක් දරාගත් ව්‍යවසායකයෙක් බවට පත් වෙනවා. ඇත්තටම ඒ ආදරයේ රහස කුමක්ද?
සිනමාව කෙරෙහි මගේ ආදරය මගේ පුංචි දවස්වල මතකයන් එක්කම යා වෙන දෙයක්. ඇත්තටම මම පුංචි කාලේ ඉඳන්ම චිත්‍රපට බලන්න, සිනමාව රසවිඳින්න ආසයි. නොයෙකුත් සාධාරණ හේතු මත පදිංචියට කැනඩාවට ආවත් ශ්‍රී ලංකාව කියන මා ඉපදුණු භූමිය කෙරෙහි මගේ තියෙන ආදරය සහ ගෞරවය වගේම සිනමාව කෙරෙහි මගේ තියෙන ආදරයත් කවදාවත් අංශුමාත්‍රයක්වත් අඩු වුණේ නෑ. බැංකු නිලධාරියකු වශයෙන් රැකියාව කළත් මගේ චින්තනමය වපසරිය හෝ මගේ රසවින්දනාත්මක ධාරිතාව කවදාවත් බැංකුකරණය තුළට ලඝු වුණේ නැහැ. කලාවට සහ සිනමාවට මගේ ඇති අසීමාන්තික ආදරයේ ප්‍රතිඵලයක් විදිහට තමයි සිලෝන් එන්ටර්ටේන්ට්මන්ට් නිර්මාණය වෙන්නේ. ජීවිතයේ සැනසිලිදායක ජීවිතේ නිවෙන තැන් හොයාගෙන යන මිනිසෙකුට මම හිතන්නෙ කලාව තරම් සුන්දර නවාතැනක් මේ ලෞකිකත්වය තුළ හමුවෙන්නේ නැහැ... ඒ තමයි රහස.
මේ වෙද්දි කැනඩාව, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, ඇමෙරිකාව වගේ රටවල් බොහොමයක ලංකාවේ නිෂ්පාදනය කරන ශ්‍රී ලාංකික චිත්‍රපට ගෙන්වා බෙදා හැරීම සිදු වෙනවා. මේ ප්‍රවණතාවය ඔබ දකින්නේ කොහොමද?
ලාංකික සිනමාව ගත්තම අද වෙද්දිත් එය කර්මාන්තයක් ලෙස ස්ථාපිත වී නැහැ කියන එක තමයි යථාර්ථය. චිත්‍රපටයක් නිර්මාණය කරලා වසර දහයක් හෝ ඊටත් වැඩි කාලයක් ප්‍රදර්ශනයට වරම් නොලබන අවස්ථා අප දැකලා තියෙනවා. එය ප්‍රදර්ශනයට වරම් ලබද්දී ඒ වෙනුවෙන් විශාල ධනයක් වියදම් කළ නිෂ්පාදකවරු පත් වී තිබෙන්නේ ඉතාමත් අසීරුතාවයකට. එමෙන්ම කාලයත් සමඟ ඇතැම් චිත්‍රපටයක ප්‍රස්තුතය කාලෝචිත නොවන අවස්ථා තියෙන්න පුළුවන්. තවත් ඛේදනීයම කාරණයක් වන්නේ ඇතැම් චිත්‍රපටවල රඟපාන නළු නිළියන් චිත්‍රපටය ප්‍රදර්ශනය වෙද්දී මිය ගිහින් ඉන්නත් පුළුවන්. ඇත්තටම ශ්‍රී ලංකාවේ චිත්‍රපටය ප්‍රදර්ශනයට පෙර වෙනත් රටවල හෝ එය ප්‍රදර්ශනය කර එය ජනගත කිරීමෙන් සැබැවින්ම චිත්‍රපට නිෂ්පාදකවරුන්ට සිදු වෙන්නේ විශාල සේවාවක්. ඔවුන් තවත් චිත්‍රපට නිෂ්පාදනයකට පෙළඹීමටත් එය හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම රංගන ශිල්පීන්ට සිනමාව තුළ තව තවත් අවස්ථා ලැබීමටත් එම චිත්‍රපටය ඉක්මනින් ප්‍රදර්ශනය වීම හේතුවක් වෙන්න පුළුවන්. තවත් අතකින් විදේශයන්ගේ ජීවත් වුවත් ශ්‍රී ලාංකිකත්වය ළයෙහි දරා මව්බිම සහ සිනමාව කෙරෙහි ආදරයෙන් ජීවත් වන මිනිසුන්ගේ රසවින්දනය උදෙසා එය විශාල පිටිවහලක් වෙන්න පුළුවන්. එහෙත් කවුරු කළත් ගුණාත්මක වටිනාකම් රැක ගනිමින්, අන්‍යෝන්‍ය විශ්වාසය රකිමින්, නිවැරදි ලෙස නිත්‍යනුකූල ලෙස සහ අවංකව චිත්‍රපට බෙදා හැරීම සිදු කරන ව්‍යවසායකයන්ට කිසිදු අයුරකින් අගෞරවයක් හෝ හානියක් නොවන පරිදි චිත්‍රපට බෙදා හැරීම සිදු කළ යුතුයි. නොඑසේ නම් සිදුවන්නේ අප විශාල කැපකිරීම් කරමින් ධෛර්යයකින් ගොඩනගා ගත් මේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ නාමය විදේශයන් තුළ හෑල්ලුවට සහ අගෞරවයට පත්වීමයි.
ගෞරවය සහ විශ්වාසය රැකගෙන කටයුතු කිරීම යන කාරණයේදී ඒවාට හානිදායක විදිහට කටයුතු කරන ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂවරු සහ නිෂ්පාදකවරු ඔබට හමුවී තියෙනවද?
ඒ ප්‍රශ්නයට මට උත්තර දෙන්න වෙන්නේ ඉතාමත් තෘප්තිමත් හැඟීමක් සහ ඉතාමත් කනගාටුදායක හැඟීමක් යන හැඟීම් දෙකම එකවර සිතේ දරාගෙන. ඇත්තටම ඉතාමත් ගෞරවයෙන් අප මේ කරන සේවයේ වටිනාකම මැනවින් හඳුනාගෙන අප සමඟ කටයුතු කළ සහ කරන චිත්‍රපට නිෂ්පාදකවරු සහ අධ්‍යක්ෂවරු ඉන්නවා. ඒ වගේම කලාතුරකින් වුවත් අප හිමි කරගෙන ඇති බලපත්‍රය පවා අහෝසි වේ යැයි සිතන තරමට ගැටලුකාරී ලෙසින් හැසිරෙන අධ්‍යක්ෂවරු සහ නිෂ්පාදකවරු ඉන්න බවත් කනගාටුවෙන් වුණත් කියන්න ඕනෑ. ඇත්තටම එවන් සිනමා අධ්‍යක්ෂවරු සහ නිෂ්පාදකවරු කියන්නේ සිනමා ක්ෂේත්‍රයටම පිළිලයක් විදිහටයි මම දකින්නේ. ඔවුන් ඒ අයුරින් කටයුතු කිරීම ඔස්සේ තවත් බොහෝ පිරිසකට මේ ක්ෂේත්‍රයේ ගැටලුකාරී අර්බුදකාරී තත්ත්ව ඇතිවෙන්න පුළුවන්. ඔවුන්ගේම නැවත සිනමා අධ්‍යක්ෂණයක් හෝ නිෂ්පාදනයක් රටවල්වලට බෙදා හැරීමේදී ඔවුන් නොපිළිගන්නා තත්ත්වයක් ඔවුන් විසින් ඇතිකර ගැනීමත් හරිම ඛේදනීයයි. මුදල මත පමණක් සියල්ල තක්සේරු කරන මානසිකත්වයකින් සිනමාවේ නියැලීම මම හිතන්නෙ සිනමා කර්මාන්තයේම පෞරුෂත්වයට කරන හානියක්. ඉපයීම සහ ලාභ ලැබීම කළ යුත්තේ ගුණාත්මක වටිනාකම්, ගෞරවය සහ විශ්වාසය රැකගෙන බව මගේ හැඟීමයි. ස්ථාවර පැවැත්මක් සහ මිනිසුන්ගේ ආදරය තුළ ඔවුන්ට සිනමාව හා හුස්ම ගැනීමට හැකි වන්නේ එවන් වාතාවරණයක් තුළයි.
මේ වනවිට ඔබ ලාංකික සිනමාපට බොහෝ සංඛ්‍යාවක් කැනඩාවේ ප්‍රදර්ශනය කර තිබෙනවා. ඒ තෘප්තිය ඔබට දැනෙන්නේ කොහොමද?
ඔව් ලාංකික සිනමාපට සෑහෙන සංඛ්‍යාවක් මේ වන විට කැනඩාව තුළ අති සාර්ථක ලෙස අපි බෙදා හැර තිබෙනවා. ඉසුරු ගුණතිලක අධ්‍යක්ෂණය කළ උමාලි තිලකරත්න ඇතුළු රංගවේදීන් රැසක් රංගන දායකත්වය ලබා දුන් ශේෂ චිත්‍රපටය මේ වෙද්දි කැනඩාවේ තිරගත වෙනවා. ඒ වගේම සූර්යයා, නීරා, මෝඩ තරිඳු වැනි චිත්‍රපට කිහිපයක්ම ඉදිරියේදී ප්‍රදර්ශනය වීමට නියමිතව පවතිනවා.
කැනඩා ප්‍රේක්ෂකාගාරය සමන්විත වන්නේ ශ්‍රී ලාංකික සිංහල ප්‍රේක්ෂකයන්ගෙන් විතරක්ද?
නැහැ. ශ්‍රී ලාංකික දමිළ මෙන්ම කැනඩාවේ ජීවත් වන තවත් ජාතීන් චිත්‍රපට නැරඹීමට පැමිණීම ඇත්තටම සුබදායක ලකුණක්. ඒ ප්‍රවණතාවය හරිම ධනාත්මකයි. චිත්‍රපටයක් ප්‍රදර්ශනයට පෙර අපි ඉතාමත් විධිමත් සහ ක්‍රමානුකූල ලෙස එම චිත්‍රපටය පිළිබඳව ප්‍රචාරණ කටයුතු හි නියැලෙනවා. අපේ අරමුණ වන්නේ ප්‍රදර්ශන වාර කිහිපයක් හෝ පවත්වා ප්‍රේක්ෂකයන්ගේ රසවින්දනාත්මක අවශ්‍යතා සපුරාලීමත් ශ්‍රී ලාංකික නිෂ්පාදකයන් දිරිගැන්වීම සහ ශ්‍රී ලාංකික සිනමා කර්මාන්තයේ අභිවෘද්ධියට අපෙන් විය යුතු යම් මෙහෙවරක් වෙත්නම් අංශුමාත්‍රිකව හෝ එය ඉටු කිරීමයි. විසල් ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය වීම යනු ඒ අරමුණ වෙනුවෙන් ඇති පැහැදිලිම මාවතක්.
චිත්‍රපට ප්‍රදර්ශනය වෙනුවෙන් චිත්‍රපට තෝරා ගැනීමේදී එහි ප්‍රස්තුතය සහ නිර්මාණාත්මක බව කෙරෙහි ඔබ දක්වන සැලකිල්ල කෙබඳුද?
ඇත්තටම සිනමාව කියන්නේ විශ්වීය දෙයක්. එය ජාති, ආගම්, පන්ති, කුල භේද සියල්ලන්ගෙන් වියුක්තව ඉතාමත් සියුම් සහ සංවේදී ප්‍රවේශ ඔස්සේ ජන මනසට ආමන්ත්‍රණය කරන ප්‍රබල දෘශ්‍ය මාධ්‍යයක්. සැබැවින්ම සිනමා කෘතියක ප්‍රස්තුතය, එහි නිර්මාණාත්මක බව, එහි ගලා යාම, එහි සිනමාමය රිද්මය ඇතුළු බොහෝ කාරණා කිරීමට හුඟාක්ම සංවේදී වෙනවා සහ සැලකිලිමත් වෙනවා. ඇත්තටම හුඟාක් මිනිස්සු ගෙවන්නෙ ඉතාමත් කාර්යබහුල අවිවේකී ජීවිත. ඔවුන් ප්‍රේක්ෂකාගාරයට පැමිණෙන්නේ චිත්‍රපටයක් බලලා තවත් ප්‍රශ්න හෝ පීඩාකාරී මානසිකත්වයන් දරාගෙන ප්‍රේක්ෂකාගාරයෙන් පිටවී යන්න නෙවෙයි. ඔවුන් ප්‍රේක්ෂකාගාරයට එන්නේ නරඹන චිත්‍රපටය ඔස්සේ සැහැල්ලුවක් සතුටක් රසවින්දනයක් ලබාගෙන සතුටින් එයින් පිටවී යන්න. ඉතින් ප්‍රදර්ශනය සඳහා සිනමා කෘතියක් තේරීමේදී මම මේ සියලු කාරණා කෙරෙහි හුඟාක් සංවේදී වෙනවා කිව්වොත් නිවැරදියි.
මේ සොඳුරුතා බහුතරයක් ලාංකික චිත්‍රපටය තුළ ඔබ දකිනවාද?
ඇත්තටම දැන් බොහෝ චිත්‍රපට අධ්‍යක්ෂවරු මෙන්ම තිර පිටපත් රචකයන් පවා චිත්‍රපටය නිර්මාණයට පෙර අපත් සමඟ කතා කරන අවස්ථාත් තියෙනවා. ලෝකයට සිනමා කෘතියක් ගෙන යාමේදී ඒ ප්‍රේක්ෂකාගාරය පිළිබඳ අවබෝධයෙන් ඔවුන් චිත්‍රපට නිර්මාණය කරන්නට පෙළඹීම මම හිතන්නෙ සුබවාදී දෙයක්. මෑත කාලීනව ගත්තම ප්‍රේක්ෂක රසවින්දනය තේරුම්ගත් චිත්‍රපට නිර්මාණය වීමේ ලාංකික සිනමාමය ප්‍රවණතාවයක් මම දකිනවා.
මම මෙහෙම ඇහුවොත්... ඇයි ඔබ ලංකාවේ චිත්‍රපට කැනඩාවට ගෙනත් පෙන්වන්නෙ... එහි ඍජු අරමුණ පැහැදිලි කරන්න ඔබට පුළුවන්ද?
මගේ අදහස හා අරමුණ ආධාර පිණිස වගේ බොරු ලේබල්වලට මුවාවෙලා අඩු පහසුකම් සහිත සිනමා ශාලාවන්හි වැඩි මිලට ප්‍රවේශ පත්‍ර විකුණලා අධික ලාභ ඉපයීම නෙවෙයි. තවද ප්‍රේක්ෂකයාට නිදහස් ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන චිත්‍රපටය රසවිඳීමට ඉඩ ලබාදීම තවත් කරුණක්. කිසිම විටෙක සිනමා පටයක් බලන්න කාටවත් බල කිරීමක් අප ආයතනයෙන් හෝ මම විසින් කරන්නෙ නෑ. එන නොඑන එක ඔවුන්ගේ රුචිකත්වය මත විය යුතුයි යන්න මගේ හැඟීමයි.
ඒ වනවිට නිෂ්පාදකවරුන්ට අධ්‍යක්ෂවරුන්ට සිනමා පටයක් ගැනීමට බොරු කීම, අල්ලස් දීම, විවිධ පාර්ශ්ව ඔස්සේ බලපෑම් කිරීම මගේ ප්‍රතිපත්තිය නෙවෙයි. චිත්‍රපටයක් පිළිබඳ අප කොයිතරම් ප්‍රචාරණ දියත් කළත් අවසාන තීරණය දෙන්නේ ප්‍රේක්ෂකාගාරයයි. ඇත්තටම විශාල සේවාවක් සිනමාව වෙනුවෙන් සිදු කරන අතරතුර ශ්‍රී ලාංකික සිනමා නිෂ්පාදකවරුන්ට සහ අධ්‍යක්ෂවරුන්ටත් සමස්ත සිනමා ක්ෂේත්‍රයටත් දිරියක් සහ ශක්තියක් වෙමින් අප සියලු දෙනා අතිශය සාධාරණ ලෙස මූල්‍යමය වශයෙනුත් ලාභයක් ලැබීම තමයි මගේ අරමුණ ඔස්සේ සිදුවෙන්නේ.
සිලෝන් එන්ටර්ටේන්ට්මන්ට් සමඟ ඔබ මෙතෙක් පැමිණි ගමනෙහි අතීතය සිහි කරද්දි ඔබ විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙන්නෙ කාටද?
වදනකින් හෝ මට ආශිර්වාද කළ යම් කෙනෙක් ඉන්නවනම් ඒ හැම කෙනෙකුටම මම හදවතින්ම ස්තූතියි කියනවා. ඒ වගේම මගේ ආදරණීය දෙමව්පියන්ට, මගේ ගුරුවරුන්ට සහ මේ තාක් ජීවිතය දිනවන්න උදව් කළ හැම කෙනෙකුටමත් මම ස්තූතියි කියනවා. ඒ සියල්ල අතරෙහි සිලෝන් එන්ටර්ටේන්ට්මන්ට් ආයතනයේ අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කරන මගේ ආදරණීය බිරිඳ චමරි ජයසිංහටත් මම හුඟාක් ආදරයෙන් ස්තූතියි කියනවා. ඇත්තටම ඇය මගේ ජීවිතයේ සෑම දේකදීම සෙවණැල්ලක් වගේ ඉන්න කෙනෙක්. ඇය වෘත්තිමය දන්ත ශල්‍ය වෛද්‍යවරියක් විදිහට අධික කාර්යබහුල වුණත් මගේ ආයතනයේ ප්‍රගමනයට දෙන සහයෝගය විශිෂ්ටයි. ඇයත් කලාවට සිනමාවට හුඟාක් ආදරෙයි. මගේ ජීවිතයේ හැමදේකදීම පංගුකාරියක් වුණු ඇයට මම නැවත නැවතත් ස්තූතියි කියනවා. ඒ වගේම මට දැවැන්ත මාධ්‍ය සහයෝගයක් ලබාදුන් සහ ලබා දෙන හැම මාධ්‍ය ආයතනයකටමත් මම හදවතින්ම ස්තූතියි කියනවා.
• සංජීවිකා සමරතුංග
• අන්තර්ජාලයෙන්