2025 ජුනි 28 වන සෙනසුරාදා

කොළඹ හතේ තොරණ කොළඹ 7ට නෙවෙයි - ලංකාවටම අද - Chamika Hathlahawaththa

 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 19

චාමික... අපිට ඔයාගේ අලු‍ත් වේදිකා නාට්‍ය ගැන කියන්න?

ඔව්... ඒ වේදිකා නාට්‍යයේ නම “කොළඹ හතේ තොරණ”‍යි. ඇත්තටම මේ විනෝදජනක, සජීවීමය, සංගීත සංදර්ශන ආකෘතියක් තියෙන පොඩි වේදිකා නාට්‍යයමය අත්දැකීමක්. මේකෙන් අපි නූතන තොරණක් පෙන්නුම් කරනවා. ඒ කියන්නේ අලු‍ත් විදිහේ තොරණක්. මේක ප්‍රේමය මූලික කරගෙන පෙන්වන වේදිකා නාට්‍යයක්. ඒ නිසා මෙය සුවිශේෂී වේදිකා නාට්‍යයක් වේවි.

කොළඹ හතේ තොරණට රංගනයෙන් දායක වෙන්නේ කවුද?

මේ වේදිකා නාට්‍යයට රංගනයෙන් අට දෙනෙක් සම්බන්ධ වෙනවා. නිපුනි ශාරදා, ජෙනට් ඇන්තනී, අකලංක ප්‍රභාෂ්වර, පසන් රණවීර, තිළිණි ජයමාලි, සුදර්ශන ක්‍රිෂාන්ත, හේෂාන් කුරුප්පු, චානුක සංදීප් සම්බන්ධ වෙලා ඉන්නවා. අලු‍තින් වේදිකා නාට්‍යයක් කරද්දි වර්තමානයේ වේදිකා නාට්‍යවල ඉන්න තරුණ නළු නිළියන් තෝරාගන්න මම අදහස් කළා. මම නම් ටිකක් තරුණ විය පහු කරපු කෙනෙක්. නමුත් වේදිකා නාට්‍ය කරද්දි අපි හැමවිටම තරුණ වෙන්න කැමතියි. ඉතින් ඒ නිසා මෙවර තරුණ පිරිසක් එක්ක  වැඩ කරන්න මට ඕනෑ වුණා. ලංකාවේ වේදිකා නාට්‍යවල වැඩ කරන තරුණම පිරිස එක් කරගන්න ලැබීම සතුටක්.

“කොළඹ හතේ තොරණ”‍ට එක්වන මේ රංගන ශිල්පීන් ශිල්පිනියන් වෙනත් නිර්මාණවලටත් මේ වෙද්දී රංගනයෙන් දායක වෙනවා. මේ පිරිස එක් කරගෙන පුහුණුවීම්වල නියැලෙන්නේ කොහොමද?

බොහෝ විට අපි සතියේ දිනවල රෑ හතේ සිට රෑ දොළහ වෙනතුරු පුහුණුවීම් කරනවා. මගේ රැකියාවත්, කලා කටයුතුත් සමබරව කරගෙන තමයි මේ නිර්මාණවලට දායක වෙන්නෙ. ඒ වගේම නළු නිළියනුත් ඔවුන්ගේ අනෙකුත් වැඩ කටයුතුත් සමබරව කරගෙන යන අතරේ අපි රෑ පුහුණුවීම් කරනවා. ඇත්තටම මේක ටිකක් වෙහෙසකර අත්දැකීමක්. ගිය ඉරිදා උදේ දහයේ සිට රාත්‍රී දහය වෙනතුරු අපි පුහුණුවීම් කළා. වෙහෙසකර අත්දැකීමක් වුණත් මේක විනෝදජනකයි. හැමෝම හරිම උනන්දුවෙන් පුහුණුවීම්වලට සහභාගි වෙනවා. අපි දින දෙකක නේවාසික පුහුණුවීම් තුනක් පමණ කළා. ඒ විදිහට සැලසුම් කරගෙන අපි මේ වේදිකා නාට්‍ය පුහුණුවීම් කරනවා.

රංගනයට අමතරව කොළඹ හතේ තොරණට සම්බන්ධ අනිත් පිරිස කවුද?

“කොළඹ හතේ තොරණ”‍ වේදිකා නාට්‍යයේ පිටපත සහ අධ්‍යක්ෂණය මගෙයි. රංග වින්‍යාසය කරන්නේ දේවාංගනී දිසානායක. රංග වස්ත්‍ර නිර්මාණය යශේන් එදිරිසූරියගෙන්. වේදිකා පරිපාලනය සහ කළමනාකරණය කරන්නේ සඳුන් ලක්ෂාන්. කොළඹ හතේ තොරණ වේදිකා නාට්‍යයේ සංගීත නිර්මාණය ළහිරු මාලිංග. ඒ වගේම කොළඹ හතේ තොරණ වේදිකා නාට්‍ය නිෂ්පාදනය කරන්නේ ජනාධිපති නීතිඥ යූ.ආර්. සිල්වා මහතා.

මේ චානකගේ කී වැනි වේදිකා නාට්‍යද?

මේ මගේ හය වැනි වේදිකා නාට්‍යයි. මීට පෙර මම දිගු වේදිකා නාට්‍ය පහක් කරලා තියෙනවා. ළමා නාට්‍ය දොළහක්, කෙටි නාට්‍ය අටක්, පාසල් නාට්‍ය දාසයක් නිර්මාණ කරලා තියෙනවා. මම කළ වේදිකා නාට්‍ය පහම රාජ්‍ය නාට්‍ය උළෙලවල අවසාන වට නියෝජනය කරලා සම්මානය දිනාගෙන තියෙනවා. ඒ අතරේ අන්තර්ජාතික උළෙල නියෝජනය කරලා තියෙනවා.

“කොළඹ හතේ තොරණ” වේදිකාගත වෙන්නේ?

“කොළඹ හතේ තොරණ” ජූලි මස 12 වැනිදා සහ 13 වැනිදා සවස හතට කොළඹ ලයනල් වෙන්ට් රඟහලේදී වේදිකාගත වෙනවා. ඊට අමතරව මේ වෙද්දී තවත් දර්ශන කිහිපයකටම ආරාධනා ලැබෙමින් තියෙනවා. ඒ ගැන අපි මේ දිනවල කතා කරමින් පවතිනවා. ඉතින් මේ සුවිශේෂී තොරණ දකින්න එදාට එන්න කියලා මම ආරාධනා කරනවා.

• දිශානි ජයමාලි